මග හැරෙන මං පෙත් | සිළුමිණ

මග හැරෙන මං පෙත්

අපි සිනමාපට හැඳින්වීම පිණිස විවිධ යෙදුම් භාවිත කිරීමට පුරුදුව සිටිමු. බොහෝවිට අප භාවිත කරන යෙදුම චිත්‍රපට යන්නයි. විටෙක අපි බයිස්කෝප් යන වදනද භාවිත කරමු. තවත් විටෙක අපි සිනමාපට යන්නද භාවිත කිරීමට නොපැකිලෙමු. එහෙත් අප යම් සිනමා නිර්මාණයකට සිනමා කාව්‍යය යන්න භාවිත කරන්නේ එතරම් නිර්ලෝභීව නොවේ. යම් සිනමා පටයක් සිනමා කාව්‍යයක් ලෙස හඳුන්වන්නට අප පෙලඹෙන්නේ එය සැබැවින්ම අප හදවත් ආලෝලනයට ලක් කරනා මහඟු නිර්මාණයක් වන විටක පමණි.

සිනමා කර්මාන්තය මුළුමනින්ම අර්බුදයට ගොස් ඇති අප රටෙහි එවන් සිනමා කාව්‍යයන් විඳින්නට අපට අවස්ථාව ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. ලංකාවේ සිනමා ක්ෂේත්‍රයෙහි ස්වකීය සළකුණ තබන්නට සමත් තරුණ සිනමාකරුවෝ බොහෝ දෙනෙක් තම ප්‍රථම සිනමාපටය ප්‍රදර්ශනයට දරනා දැවැන්ත ව්‍යායාමයෙන්ම වියපත් වෙමින් සිටිති.

සැබැවින්ම ලංකාවෙහි අද දවසේ කරන්නට ඇති හොඳම සිනමා නිර්මාණය අන් කිසිවක් නොව සිනමාපටයක් තනන්නට දරනා උත්සාහයම තිරයට ගෙන ඒම යයි කීම අසාධාරණ නොවේ. කෙසේ වෙතත් මේ සටහනෙහි අරමුණ ලාංකීය සිනමා කර්මාන්තයේ අර්බුදය සාකච්ඡා කිරීම නොවේ. අප හදවත සසල කරනා වෙනත් දෙසක නිර්මාණයක පිලිබඳ වදන් කිහිපයක් සටහන් කිරීමටය.

මේ සිනමා කාව්‍යයෙහි නම ‘ඩිපාචර්ස්’ යන්නයි. එකී නිර්මාණය සමස්තයක් ලෙස ගත් කල ඒ නම ‘වියෝවී යන්නන්ට උපකාර කරන්නා’ යනුවෙන් දක්වන්නට පුළුවන. 2008 වසරේදී ජපානයෙහි නිෂ්පාදිත මේ නිර්මාණය විවිධ සම්මානයන්ට පාත්‍රවෙමින් එහි කූටප්‍රාප්තියට ළඟා වන්නේ 2009 වසරේදී හොඳම විදෙස් භාෂිත සිනමා නිර්මාණය ලෙස ඇකඩමි සම්මානයට පාත්‍ර වෙමිනි.

මෙහි ප්‍රධාන රංගධරයා වන මසාහිරෝ මොටෝකි ඉන්දීය සංචාරයක් අතරතුර දකිනා හින්දු අවමංගල්‍යයක් ඇසුරින් ඉන් දස වසරකට පසු ඩිපාර්චර්ස් තිරපිටපත කුන්ඩෝ කොයාමා විසින් රචනා කරනු ලබන්නේ ජපන් සමජය එක්තරා ආකාරයක කම්පනයකට පත් කරමිනි. මේ අපූර්ව සිනමාකාව්‍යය යනු ජපන් සමාජය සහ එහි පවත්නා ඇතැම් යල්පිනූ අදහස් සියුම් විචාරයට ලක් කරනා අතරම මනුෂය සබඳතාවන්හි අසිරිය මෙන්ම එහි සංකීර්ණත්වයද මොනවට ග්‍රහණය කරගත්තකි. කුල භේදය මෙන්ම වෘත්තීන්හී උස් පහත් බව පිළිබඳව තවමත් සැලකිලි දක්වන අප සමාජයටද මේ සිනමා නිර්මාණය දනවන කම්පනය සුලුපටු නොවේ.

මෙහි කථා නායකයා කුඩා කල සිය පියා විසින් හැර දමන ලදුව මව ඇසුරේ වැඩුණ තරුණයෙකි. චෙලෝ වාදකයකු ලෙස සංගීත දිවියෙහි සාර්ථකත්වය සොයනා ඔහුගේ සිහින බිඳ වැටෙන්නේ ඔහු බැඳී සිටි කණ්ඩායම ආර්ථික පාඩු හමුවෙහි විසුරුවා හැරීමත් සමගිනි. දිවි සටනෙහි අතරමං වන ඔහුට ඉතිරි වන එකම විකල්පය අගනගරය හැරදමා නැවත දුර පිහිටි ගම්මානය වෙත පසුබැසීමයි.

නාගරික දිවියෙහි සියලු පහසුකම් හැර දමා නැවත ගම කරා යාමට සිය සැමියා ගන්නා තීරණය ඔහුගේ තරුණ බිරිය අනුමත කරනා අවස්ථාව ප්‍රේමය පිළිබඳ ඉසියුම් ප්‍රකාශනයක් ලෙස මෙහි ඉස්මතු වෙයි. එහෙත් ගමට යාම සහ එහි ජීවිතය ඇරඹීම යනු කෙසේවත් පහසු කාර්යයක් නොවේ.

අවසන තරුණ සැමියා හට තෝරා ගැනීමට සිදුවන රැකියාව ජපන් සමාජයෙහි ගර්හාවෙන් සලකනු ලබන්නකි. ඒ අවසන් කටයුතු පිණිස මළසිරුරු පිළියෙල කිරීමේ කාර්යයයි. සැමියා සිය බිරියට රහසින් එය තෝරා ගත්තද පසුව ඒ හෙළිවූ විට ඇය ඔහු හැරදමා යයි. එහෙත් නැවත ඇය ඔහු වෙත පැමිණෙන්නේ ඔහු දිවියෙහි තවත් අසීරුතම අවස්ථාවක පසුවන විටය. ඒ තමන් හැරදා ගිය පියාගේ මිනිය බාරගැනීමට ඔහුට සිදුවන අවස්ථාවෙහිදීය. කතාව අවසානය කරා ළඟා වන්නේ පුත්‍රයා සිය පියාගේ ආදරයෙහි ගැඹුර වටහා ගැනීමත් තරුණ බිරිය සිය සැමියාගේ වෘත්තිය ගෞරවයෙන් පිළිගන්නට සූදානම් වන අවස්ථා සමූහයක් අතරිනි. සිය පියාගේ මිනිය සැකසීමට පැමිණෙන වෘත්තිකයන් එය කරනා රළු ආකාරය හමුවෙහි පුත්‍රයා ඊට ඉදිරිපත් වන විට ඔහු පසෙක හිඳ ඔහු එකී වෘත්තියෙහි නිරතවන්නෙක් බව පැමිණ සිටිනා වෘත්තිකයන් හට පවසන්නී තරුණ බිරිය ය.

මේ සිනමා නිර්මාණය මනුෂ්‍ය වටිනාකම් කෙරේ බර තබනා අඥාන පිළිවෙත් තියුණු විවේචනාත්මක දෘෂ්ටියකින් බැහැර කරයි. එහි සිටිනා සෑම චරිතයකටම වෙන් වෙන් කතාවන් තිබේ. ඒ සෑම කතාවක්ම අපට මනුෂ්‍යත්වය කියා දෙන පාඩමකි. ආදරය යනු සමාජ සම්මතයන් ඉක්මවා යන අසිරිමත් බැඳීමක් බවත් ජීවිතය යනු පහසුවෙන් හැරදා කලකිරීමට පත්විය යුතු කතරක් නොවන බවත් අපට පවසන සිනමාකරුවා පිය පුතු සෙනෙහස මෙහි අරුත් ගන්වන ආකාරය අතිශය සංවේදී බව පැවසිය යුතුය.

අධ්‍යාපනය දරුණු වධක භූමියක් බවට පත්ව ඇති අප රටෙහි අති බහුතරයකගේ සිහිනය යොමු වනුයේ ඉංජිනේරු, වෛද්‍ය ආදී වරප්‍රසාදිත රැකියා වෙත පමණි. එකී සිහිනයෙහි සිරකරුවන් වන වැඩිහිටියන් මෙන්ම ඒ සිහින හඹායන දරුවන්ද පාසැල, ටියුෂන් කඩපිල, සරසවිය සහ තවත් බොහෝ වේදිකාවන්හි සැරිසරා අවසන බෙහෙවින් විඩාබර ගොදුරු ලෙස හති අරිති.

ජීවිතය යනු උසස් යයි සම්මත වෘත්තියක් බවත්, තත්ත්වය යනු අතැති ක්‍රෙඩිට් කාඩ් සංඛ්‍යාවෙන් නිරූපණය වන්නක් බවත් පිලිගැනෙනා (නො)දියුණු සමාජයක ඛේදය නිරූපණය කිරීමට අපට සිනමාවක් නොමැති තත්වයක් තුළ ඩිපාචර්ස් සිනමා කාව්‍යය අපට අහිමි කවුළුව වෙනත් කලාපයක සිට විවර කරයි.

ජීවිතයෙහි ගැඹුර දකින්නට අසමත් වන පරපුරක් ඉන්පසුව බිහිවන සෑම පරපුරකම පදනම් බිඳ හෙළයි. සියල්ල මතුපිටින් අතගාන්නට උගන්නා සමාජයක් මනුෂ්‍යත්වයේ අගය නොදකියි.

එහෙයින්ම අතැති පිරිත් නූල, ගෙල සරසන කුරුසය ආදී වශයෙන් තම තම විශ්වාස අනුව ආගමික සංකේත අභරණ බවට පත්කරගන්නා ඒ සැනින්ම තම ශාස්තෘන්ගේ වදන් අමතක කර දමනා මිනිසුන් සහිත සමාජය බැඳීම වෙනුවට බෙදීම කෙරේ එක හෙලා පක්ෂපාතී වෙති. අද දවසෙහි ලෝකය පුරා සෑම අතකින්ම අපට දක්නට ලැබෙනා අර්බුදයෙහි එක් මුහුණුවරක් එබඳුය.

ඉදින් මේ සියල්ල මැද ජපාන සිනමාකරුවා අපට අතිශය සංවේදී රූප පෙලක් හරහා ජීවිතයෙහි අසිරිය මේ යයි බලන්නට බල කරයි. චැප්ලින් ගේ හාස්‍යෝත්පාදක සිනමාවෙහි කිමිද සිනහවෙන් ජීවිතය විනිවිදින රසිකයා හට ඩිපාචර්ස් සිනමා කාව්‍යය තෙත් වූ දෑසින් ප්‍රේමය වටහා ගන්නට ඇරයුම් කරයි. ඉදින් අප එවන් අත්දැකීමක් කෙසේ මඟ හැර යන්නද.

 

Comments