එක්දහස් නවසිය හතළිස් හතේ වර්ෂයේ මගේ පියා වන අමරදාස දිසානායක මුල් ගුරුන්නාන්සේ බිංගිරිය ප්‍රදේශයේ තාරණ - උඩවෙල රජයේ මිශ්‍ර පාඨශාලාවේ මුල්ගුරුවරයා වශයෙන් සේවය කළ අතර මගේ මවද එම පාසලේම උපගුරුවරියක ලෙස සේවය කළාය. ඒ වනවිට එම පාසලේම අකුරු කරමින් සිටි මගේ වයස අවුරුදු නවයකි. එවකට මුළු දිවයිනට සිටියේ සුදු ජාතිකයකු වූ එච්.ඩබ්ලිව්. හවුස් නමැති අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පමණි. එකල අද මෙන් පළාත් බදව අධ්‍යාපන අධ්‍යක්ෂවරු නොසිටියහ.
මගේ පියා ගුරුවරයකු ලෙස මුල් පත්වීම ලද දිනයේ සිටම වර්ෂ ගණාවක් තම උපන් ගම් ප්‍රදේශයෙන් බැහැරව දිවයිනේ විවිධ දුෂ්කර ප්‍රදේශවල පාසල් ගණනාවක සේවය කළේය. මේ නිසා ගුරු සේවයේ අවසාන කාල පරිච්ඡේදයේදී වත් උපන්ගම ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉහත කී අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත යැවීමට අභියාචනා ලිපියක් ලියුවේය. එම ලිපිය ඔහු තම මේසයේ පසෙකින් තැබුවේය.
එකල මගේ පියා තමන්ට අයත් එළ ගවයින් කිහිප දෙනෙක් රැක බලා ගැනීමට ඔහුගේ සහෝදරයාට බාරදී තිබිණ. එම හරකුන්ට හොඳට තණකොළ කපා දී දිනපතා පුන්නක්කු දී හරකුන් කෙසඟ නොවන සේ රැක බලා ගන්නා ලෙස දන්වා එදින තවත් ලිපියක් ද ලියා මේසයේ පසෙකින් තැබුවේ තම සහෝදරයාට තැපැල් කර යැවීම සඳහාය.
කෙසේ හෝ තැපෑලට යැවීමේදී මේ ලිපි දෙකේ ලියුම් කවර මාරුවී යවා තිබූ අතර තම හරක් හොඳින් රැකබලා ගන්නා ලෙස දන්වා යැවූ ලිපිය අධ්‍යාපන අධ්‍යක්ෂ හවුස් මහතාට ලැබුණු අතර ස්ථාන මාරුවක් ඉල්ලා යැවූ අභියාචනා ලිපිය ලැබී තිබුණේ අපේ බාප්පාටය. එම අභියාචනා ලිපියද රැගෙන හනික පියා හමුවීමට අප ගෙදරට පැමිණි බාප්පා අභියාචනා ලිපිය පෙන්වා මේ ගැන විමසීමේදී සිදුවූ අත්වැරැද්ද පියාට අවබෝධ විය.
දින කිහිපයකට පසු හරක් රැක බලා ගන්නා ලෙස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ලැබී තිබූ ලිපිය නිසා වහාම නිදහසට කරුණු විමසා අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මගේ පියා වෙත ලිපියක් එවා තිබූ අතර එය අත්වැරදීමකින් සිදු වූ සිදුවීමක් බැව් අධ්‍යාපන අධ්‍යක්ෂ හවුස් මහතා වෙත ඊට සමාව අයදමින් දන්වා යැවීමට මගේ පියාට සිදුවිය.
විශ්‍රාමලත් ආචාර්ය ඩී.එන්. දිසානායක
බිංගිරිය