
සමන් එදිරිමුනි විසින් ලියන ලද ‘සුළඟ නුඹ සහ මම’ කෘතියක් ලෙසින් මේ 18 වැනි දා හවස 3ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී එළි දැක්වේ.
ටෙලි කිහිපයක් ලියන අතරවාරයේ සමන් එදිරිමුනි පොතකටත් අතගහලා. මොකක්ද මේ වෙන්නේ?
තරුණයා පත්තරේට අවුරුදු 10කට විතර කලින් ලියපු නව කතාවක් මේක. විශාල ඉල්ලුමක් තිබුණා ඒ කාලෙ ඉඳලම සුළඟ නුඹ සහ මම පොතක් මුද්‍රණය කරන්න කියලා. ඉතින් කොහොම හරි මේ පාර තමයි පොතක් විදිහට ඒක එළිදක්වන්න පුළුවන් වුණේ. මගේ මිත්‍ර සාගර පෙරේරා සහ තරිඳු ඩී. මල්විල කියන මල්ලිලා දෙන්න නැති නම් ඒක මේ පාරත් පොතක් වෙන්නෙ නෑ. මොකද මට දැන් ඇත්තටම පොතක් මුද්‍රණය කර බෙදා හරිනවා වගේ වැඩකට කාලයක් නෑ. ඒ වගේම මං ඒ ක්‍රමවේදය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.
අවුරුදු 10කට පෙර ලියපු නවකතාවකට එදා වගේම අදත් පිළිගැනීම, ඉල්ලුම, ඒ ආදරය තියෙයි කියලා ඔබ හිතනවද?
හිතන්න නම් ගියේ නෑ. හැබැයි පේන්න තිබුණා. මටත් ඒක පුදුමයක්. මාත් මේ දවස් ටිකේ ඇත්තටම කල්පනා කරනවා ඒ පාඨක උද්දාමය සහ ආදරය ගැන.
ඔබ මෑත කාලයේ ටෙලි තිර කතා රචකයෙකු විදිහට තමයි බොහෝ දෙනෙක් හඳුනාගත්තේ.
පාසලෙන් පිට වෙලා රස්සා හොයමින් ඉන්න කාලේ හිතේ ආසාවට පත්තරේකට ලිව්වා. ඊට පස්සෙ එතැනින් අයින් වුණේ ආයේ ජීවිතේටවත් පත්තරවල ලියන්නෙ නෑ කියලා. නමුත් ඊට වඩා පත්තර කෙරුවාව වෙනස් කියලා තේරුම් ගත්තේ කාංචන දසනායක එක්ක තරුණයා පත්තරේ වැඩ කරන්න ගත්තට පස්සෙ. ඔහු තමයි මාව බීජයක් විදිහට හරිම තැන පැළ කරන්නෙ. රංජිත් ආනන්ද ජයසිංහ තමයි මාව ඔහුට හඳුන්වා දෙන්නෙ. එතැන ඉඳලා නවකතා ලියමින් ඉද්දී මාව ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයේ රේඩියෝ නාට්‍ය ලියන්න යොමු කරන්නෙත් කාංචන අයියා. එතැනින් පස්සෙ දිගටම මම රේඩියෝ නාට්‍ය ලිව්වා. පස්සෙ මං රූපවාහිනි මාධ්‍යකට සම්බන්ධ වී ටෙලි නාට්‍ය ලියන්න ගත්තා. මං මගේ හිතට දැනෙන දේ ලියනවා. ගීතත් 30ක් 35ක් ලියලා තියෙනවා. සමාජය වෙනස් කරන්න හෝ ආණ්ඩු වෙනස් කරන්න, පරම්පරා වෙනස් කරන්න හිතාගෙන නිර්මාණ කරන්නෙ නෑ. මගේ එකම අරමුණ නිර්මාණයකදී වින්දනය කියන එක. වින්දනයක් නැති නිර්මාණ කරන්න මගේ කිසිම අදහසක් නෑ.
ඔබගේ නිර්මාණ බොහෝමයක විෂය වෙලා තියෙන්නේ ආදරය. වෙන මාතෘකාවලට කැමති නැද්ද? නැති නම් ඔබ ලියන්න දන්නේ ආදරය ගැන විතරද?
ජීවිතයේ සංවේදී ඕනෑම දෙයක් ලියන්න පුළුවන්. ආදරය ගැන ලියන්න මං තවම ආසයි. තවම මං ආදරය ගැන ලියලා ඉවර කරලා නෑ කියලයි මට හිතේනනෙ. තරුණම නැති වුණාට මට තාම 38යි. තාම යොවුන් ආදරය ගැන මතකයන් තියෙනවා. ඒ නිසා ආදරය ගැන ලියනවා. ජීවිතේ යම් කාලයකදී ලියන එක රස්සාව නොවන දවසක මං වෙනත් ඉසව් සොයා යාවි.