සිංහල සමා­ජ­යට ලෝක ඉති­හා­සය පහ­සු­වෙන් හැදෑ­රී­මට මඟ කියන අත් පොතක් | Page 5 | සිළුමිණ

සිංහල සමා­ජ­යට ලෝක ඉති­හා­සය පහ­සු­වෙන් හැදෑ­රී­මට මඟ කියන අත් පොතක්

WORLD HISTORY

- ලෝක ඉති­හා­සය

කර්තෘ : කලා­කීර්ති ආචාර්ය එඩ්වින් ආරි­ය­දාස

ප්‍රකා­ශක : එම්.ඩී.ගුණ­සේන සහ සමා­ගම

ජී. එම්. ට්‍රෙව්ලි­යන් නමැති ඉති­හා­ස­ඥයා සඳ­හන් කරන පරිදි ඉති­හ­සය යනු තනි විෂ­යක් නොවේ. එය විෂ­ය­යන් ගණ­නා­ව­කින් සැදුම් ලත් මහා ගෘහ­යකි. එමෙන්ම මහා­චාර්ය ඊනි­යාර් සඳ­හන් කළ පරිදි එය සමාජ ක්‍රමවල මතක සට­හ­නක් වේ. එය අතී­තයේ විසූ ශ්‍රේෂ්ඨ මිනි­සුන් හා ලොව හැර­වුම් ලක්ෂ්‍ය කැටි­කොට වර්ත­මා­නය ඉගෙ­නී­මට අපට ලබා දුන් ස්වර්ණ­මය ද්වාර­යක් බඳු ය.

ඉති­හා­සය යනු ඉතා සංකීර්ණ වූ ද, විචිත්‍ර වූ ද විෂ­ය­යකි. ලෝක ඉති­හා­සය සරල සුගම ලෙස කැටි කළ ග්‍රන්ථ වල හිඟ­කම හා ශ්‍රී ලංකා­වේදී නම් සිංහල භාෂා­වෙන් පළවූ ග්‍රන්ථ මෑත යුගයේ නොමැති වීම මෙරට පාඨක ප්‍රජා­වට මෙම විෂය අධ්‍ය­ය­න­යේදී තිබූ ප්‍රමුඛ දුෂ්ක­ර­තා­වයි. යුරෝපා ඉති­හා­සය, රෝම ඉති­හා­සය, ග්‍රීසියේ කතාව, ඉන්දි­යානු ඉති­හා­සය ආදී විවිධ ශිෂ්ටා­චාර කේන්ද්‍රගත පොත පත පළවී තිබුණ ද, ඒවා වත්මන් යුගයේ දක්නට නොලැ­බීම හේතු­වෙන් පාඨ­ක­යන්ට ඒ යුග­යන් පිළි­බඳ ඉති­හා­සය කියැ­වී­මට මඟක් නොවීය.

කලා­කීර්ති ආචාර්ය එඩ්වින් ආරි­ය­දාස සූරීන් විසින් සැකසූ “ලෝක ඉති­හා­සය“ නම් හුරු­බු­හුටි ග්‍රන්ථය එම පාඨක පියා­සය සංසි­ඳු­වී­මේලා එළි­දැක්වූ දියුණු කෘති­යක් බැව් සඳ­හන් කළ යුතුය. මේ ග්‍රන්ථය හරහා මානව ශිෂ්ටා­චා­රයේ මුල සිට 21 වැනි සිය­වසේ මුල් වර්ෂ 18 දක්වාම, එනම් 2018 වසර දක්වා ම විද්‍යා­නු­කූල ලෙස පෙළ­ගස්වා තිබීම හේතු­වෙන් තොර­තුරු අධ්‍ය­ය­න­යේදී පාඨ­ක­යාට සුවි­ශේෂී වර­ප්‍ර­සාද රැසක් හිමි­වී­මට මඟ පාදා ඇත.

මේ ලෝක ඉති­හාස ග්‍රන්ථයේ සිදු­වීම් පෙළ­ගස්වා ඇති ආකා­රය නිසා­වෙන් පරි­ශී­ල­ක­යාට අවශ්‍ය තොර­තුරු පහ­සු­වෙන් සොයා ගැනී­මට මංපෙත් විවර කර දී ඇත. දුර­ක­ථන නාමා­ව­ලි­යක් පෙර­ළ­මින් තොර­තුරු සොයා යන පරි­ද්දෙන්, ලෝක ඉති­හා­සයේ සිදු­වීම් සුපැ­හැ­දිලි ක්‍රම­වේ­ද­යක් යටතේ පිටු අතර සොයා යෑමට තරම් පහ­සු­කම් මෙහි අන්ත­ර්ගත ය. පෞරා­ණික ලෝකය, මධ්‍ය­කා­ලීන යුගය හා පහ­ලො­ස්වන සිය­වසේ සිට නූතන යුගය දක්වා පරි­ච්ඡේද නව­යක් (09) යටතේ ලෝක ඉති­හා­සයේ වැද­ගත් සිදු­වීම් මැන­වින් පෙළ ගස්වා ඇති ග්‍රන්ථ සක­සු­වා­ණන්, ඒ සෑම පරි­ච්ඡේ­ද­යක් ම බලය හා දේශ­පා­ල­නය, යුද්ධය හා සාමය, සමා­ජය හා සංස්කෘ­තිය, ගවේෂණය හා අධි­රාජ්‍ය, වෙ‍ෙළ­ඳාම හා කර්මාන්ත, විද්‍යාව හා තාක්ෂ­ණය, ආගම් - විශ්වාස හා චින්ත­නය යන උප කොටස් හතක් (07) යටතේ ක්‍රමා­නු­කූල ලෙස වර්ගී­ක­ර­ණය කර ඉදි­රි­පත් කරයි. මේ හේතු­වෙන් ඒ ඒ සිය­වසේ මානව සමා­ජයේ ලැබූ ජය­ග්‍ර­හණ, පසු­බැ­සීම්, සොයා ගැනීම්, රාජ්‍යයේ ස්වභා­වය, දියු­ණුව හා පරි­හා­නිය කොතෙක්ද යන්න පාඨ­ක­යාට ම ස්වයංව අව­බෝධ කර ගැනී­මට තරම් රුකුල් දෙයි.

ඉති­හා­සය වැනි විෂ­ය­යන් උගෙ­නී­මේදී බොහෝ පාඨ­ක­යන්ට දැනෙන අඩු­පා­ඩු­වක් වන්නේ ඒ ඒ යුග වල සිද්ධීන් මූර්ති­මත් වන ඡායා­රූප, සිතු­වම් හෝ සිති­යම් දැක ගැනී­මට ඇති නොහැ­කි­යා­වයි. එබැ­වින් බොහෝ සිදු­වීම් හා පුද්ගල චරිත පාඨක මනස තුළ පරි­ක­ල්පිත රූප ලෙස ඔවු­නො­වුන්ට අන­න්‍යව ධාර­ණය කර ගැනී­මට සිදුවී තිබිණි. එහෙත් මේ ලෝක ඉති­හාස ග්‍රන්ථයේ ඉදි­රි­පත් කර­න්නාවූ සිදු­වීම් වලට අදාළ වෛවර්ණ සිතු­වම්, ඡායා­රූප හා සිති­යම් හරහා ඉති­හා­ස­ගත වාර්තා සර්ව සම්පූර්ණ ලෙස අව­බෝධ කර ගැනී­මට පාඨ­ක­යාට මඟ එළි­කර දී ඇත. එම­ඟින් ග්‍රන්ථයේ වාච්‍යා­ර්ථය තව තවත් තීව්‍ර කර දී තිබේ.

සිංහල පරි­ව­ර්ත­කයා හා පාඨ­කයා ද එකසේ මුහුණ දෙන අභි­යෝ­ග­යක් වන්නේ කිසි­යම් භාෂා­ව­කින් එළි­දක්වා ඇති පුද්ගල, ස්ථාන, සිද්ධි හෝ යෙදුම් ප්‍රකා­ශිත අක්ෂර කියැ­වීමේ ස්වරූ­පය හා එය උච්චා­ර­ණ­යේදී ජනිත වන හඬ ස්වරූ­පය එකි­නෙ­කට වෙනස් වීමයි. එ් දෝශය නිදොස් ව ඉදි­රි­පත් කළ හැක්කේ ලොව විවිධ භාෂා පිළිබඳ පුළුල් අව­බෝ­ධ­යක් හා විවිධ සමා­ජ­යන්හි භාෂා යෙදුම් පිළි­බඳ පෘථූල දැනු­මක් සහිත වූව­කුට ම පමණි. මේ ග්‍රන්ථය තුළදී එඩ්වින් ආරි­ය­දාස සූරීන් මේ අභි­යෝ­ගය නම් ඉතා අග්‍ර­ගණ්‍ය ලෙස ජය ගෙන ඇති බව නම් කිව­ම­නාය. එය ඔහුගේ පළල් දැනු­මට පිදිය යුතු සම්මා­න­යකි. ඒ හේතු­වෙන් මේ පොතේ ඉදි­රි­පත් කෙරෙන ලෝක ඉති­හා­සයේ අවස්ථා ඉතා නිර­වද්‍ය මෙන්ම විශ්වා­ස­නීය වන බවට ද සහ­ති­ක­යක් ලබා දිය හැකිය.

අපගේ ඉති­හාස කතාව ඇතු­ළත් මහා­වං­ශය ඇතුළු වංශ කතා ග්‍රන්ථ මෙන්ම ලෝක ඉති­හාස ග්‍රන්ථ වලද ඇති පොදු එක් ලක්ෂ­ණ­යක් වේ. එය නම් ඒ සියල්ල භාවි­ත­යට තර­මක් අප­හසු ‘මහා ග්‍රන්ථ‘ බවයි. එහෙත් ආරි­ය­දා­ස­යන් සැකසූ ලෝක ඉති­හාස ග්‍රන්ථය ඉතා හුරු­බු­හුටි ප්‍රමා­ණයේ වීම පාඨ­නයේ පහ­සු­වද, සිත් ගන්නා සුලු බවද ජනිත කර ඇත. ඒ තුළින් ආක­ර්ෂ­ණීය මෙන්ම හෘද­යං­ගම බවක් ද ප්‍රකට කර­වයි.

ශත­වර්ෂ ගණ­කා­වක් පුරා දිව ගිය මානව ඉති­හා­ස­යක්, ශිෂ්ටා­චාර රාශි­යක සිදු­වීම්වලින් පොහො­සත් ලෝක ඉති­හා­ස­යක් හුරු­බු­හුටි ග්‍රන්ථ­ය­කට කැටි කිරීම මේ කතු­ව­ර­යාගේ සංකීර්ණ භූමි­කාව මොන­වට විදහා පාන්නකි. මෙවැනි ව්‍යායා­ම­වල ඇති වෙහෙ­ස­කර බව නිසා­වෙන්ම අද යුගයේ එවැනි සාර ග්‍රන්ථ­ක­ර­ණ­ය­කට ලේඛ­කයන් අත තැබීම දුලබ ය. එහෙත් මානව සමා­ජය කෙරේ අත්‍යන්ත අව­ශ්‍ය­තා­වක් ලෙස මෙය හඳුනා ගනි­මින්, කාලීන සමාජ අව­ශ්‍ය­තා­වක් සැපි­රීම පිළි­බඳ කතු­වර එඩ්වින් ආරි­ය­දාස මහ­තාට ආචා­රය පුද කළ යුතුය.

මේ ග්‍රන්ථය එළි­දැ­ක්වී­මේලා තවත් ප්‍රශං­සාව හිමි­විය යුතු පාර්ශ්ව කිහි­ප­යක් සිටිත්. ඔවුන් වන්නේ ඉතා රම­ණීය ලෙස මෙහි පිටු සැක­සීම් කළ ශිල්පී­න්ටත්, ආක­ර්ෂ­ණීය නිමා­ව­කින් යුතු කංචුක නිර්මා­ණ­යක් කළ ශිල්පි­යාට හා පොතේ පෙළ සංවි­ධා­නය කර­මින්, මුද්‍රණ ශිල්පයේ ගුණා­ත්මක ප්‍රමි­තීන් හා භෞතික ගති ලක්ෂණ ඒ තුළට ගොනු කර­මින් පොත ප්‍රකාශ කළ එම්.ඩී. ගුණ­සේන සමා­ග­ම­ටත් ය.

මෙම ග්‍රන්ථයේ වෙහෙ­ස­කර ක්‍රියා­න්වි­තය පිළි­බඳ මෙහි කතු­වර එඩ්වින් ආරි­ය­දා­ස­යෝ මෙසේ ප්‍රකාශ කළහ. “මාගේ 97 වසක දිවිය තුළ මා ලියූ පොත පත අත­රින් බැරෑ­රුම් හා වෙහෙ­ස­කර වූ ව්‍යායා­මය වූයේ මේ පොත අව­සන් කිරී­මයි. මෙහි වූ පළමු දුෂ්ක­ර­තා­ව වූයේ පරි­ව­ර්තන දුෂ්ක­රතා ය. මෙහි එන ඇතැම් වච­න­යක නිවැ­රදි උච්චා­ර­ණය තහ­වුරු කර ගැනීම උදෙසා ශබ්ද කෝෂ කිහි­ප­යක් ම පෙරළා බැලී­මට මට සිදු විය. මා හට අවශ්‍ය වූයේ සිංහල සමා­ජ­යට ලෝක ඉති­හා­සය පහ­සු­වෙන් හැදෑ­රී­මට මඟ කියන අත්පොතක් ප්‍රදා­නය කිරී­මයි. අපේ දරු පර­පු­රට ලෝකය අතැ­ඹු­ලක් කිරී­මයි...“

 

උපුල් ගල­ප්පත්ති

 

Comments