බිය පහවීම | Page 3 | සිළුමිණ

බිය පහවීම

‘මොකාද මේ වැඩේ කෙරුවෙ?’ බාලජී ඇඳේ ඉඳගෙනම කෑගහන්ඩ පටන් ගත්තා. මිනිහ හිටියෙ හොඳටම බයවෙලා. ගැහි ගැහි. වෙවුල වෙවුලා.

‘ඉස්සරවෙලා ඇඳෙන් බැහැල ළිඳෙන් ගොඩට එන්ඩකො. ඉන්පස්සෙ බැරියැ කවුද වැඩේ කෙරුවෙ කියල හොයාගන්ඩ’ අහල පහළ අය කිව්වා.

ඒ උදවිය අතර හැංගිලා හිටිය මං බාලජීගෙං මෙහෙම ඇහුවා.

‘මේ මොකද වෙලා තියෙන්නෙ? ඔහොම බෙරිහන් දෙන්නෙ නැතුව ඇයි ඔයා බාලජී දෙවියන්ගෙ උදව්වෙන් ගොඩට එන්නෙ නැත්තෙ? ඇයි බාලජී දෙවියන්ට කන්නලව් කරන්නෙ නැත්තෙ? හැමදාම උදේ වරුවෙ පැය තුනකුයි හවස් වරුවෙ පැය තුනකුයි බාලජී දෙවියන්ට කන්නලව් කෙරුව ඔයාට මතක නැද්ද?’

එදායින් පස්සෙ බාලජී තමන්ගෙ ඒ දීර්ඝ කන්නලව්ව නවත්තල දැම්මා. මට විතරක් නෙමේ අනිත් අයටත් ඒක ප්‍රහේලිකාවක් වුණා. මිනිහ ඒ ළිඳෙන් නාන එකත් නවත්තල දැම්මා. හැමදාම උදේට සේවක පූජකයෙක් ගෙන්නගෙන පුංචි දේව කන්නලව්වකිං විතරක් සෑහීමකට පත් වුණා.

‘බාලජී මොකද වුණේ?’ මං දවසක් ඇහුවා.

‘එදා මං බයවුණේ නෑ කියල මං ඔය ළමයට කිව්වෙ බොරුවක්. එදා රෑ ළිඳේදි මං හිතල මතල කෑගැහුවෙ නෑ. බයටමයි එහෙම කෑගැහුණෙ’

ඇත්තටම ඒක ඔහු හිතල මතල කරපු දෙයක් නෙමේ. ආදිම මිනිහ බයවෙලා කෑගහපු කෑගැහිල්ල තමයි ඒ! ඒ කෑගැහිල්ල එන්ඩ ඇත්තෙත් ඔහුගෙ අවිඥානයෙ ගැඹුරුම පත්ලෙන්.

‘එහෙම බෙරිහන් දෙනකොට මට තේරුණා මං අන්තිම බය මිනිහෙක් කියලා. මං දෙයියන්ට උදේ හවා කන්නලව් කෙරුවෙත් ඒ බයටනෙ. ඒකයිනෙ දෙයියන්ගෙ පිහිට ආක්‍ෂාව ඉල්ලුවෙත්’ මිනිහ කිව්වා. මං අහගෙන හිටියා.

‘ඔය ළමය ඒ සේරම නැතිකරල දැම්මා. ඒක නොකෙරුව නං මං තාමත් ඒව කරකර ඉන්නවා. මං මගෙ මුළු ජීවිත කාලෙම අහල පහළ අයට වද දුන්නා. ඔය ළමය ඒක නොකළ නං මං තාමත් ඒ අයට වද දෙනවා. මං දන්නව මං බයයි කියලා. ඒක පිළිගන්න එක හොඳයි කියල මට දැනෙනවා. මගෙ මුළු ජීවිතේම තේරුමක් නැතුව ගෙවිල ගියා’

අවසාන වතාවට මං ඒ නගරෙට ගියේ වෙලා තිබුණු පොරොන්දුවක් ඉෂ්ට කරන්ඩයි. අපේ ආච්චි මැරුණු දවසට මං ඒ නගරෙට එනව කියල උන්දැට පොරොන්දු වෙලා තිබුණ. ඒ වෙලාවෙ මං පරණ මිනිස්සු හම්බවෙන්ඩත් එක්ක ඒ නගරෙ පොඩි රවුමක් ගියා. ඒ යද්දි මට බාලජී මුණගැහුණ. මිනිහ සම්පූර්ණයෙන් ම වෙනස් පුද්ගලයෙක් බවට පත්වෙලයි හිටියෙ. මං ඇහුව මොකද මේ වෙලා තියෙන්නෙ’ කියල‍ා.

‘එදා වෙච්චි අර බෙරිහන් දීම හින්ද මං සම්පූර්ණයෙන් ම වෙනස්වුණා’ ඔහු කිව්වා. ‘මං බයෙං ජීවත් වෙච්ච යුගේ ඉවරයි. මගෙ බයට මංම වගකියාගන්ඩ ඕනෑ. මං ඉපදිලා තියෙන්නෙ බයෙන්. ඒත් ටිකෙන් ටික තේරුන් බේරුම් වැඩෙද්දි මගෙ බයගතිය ඇරුණා. මං දේවාලෙ පූජකයවත් අයින් කෙරුවා. ඒ මොකද කියනව නං මගෙ දේව කන්නලව්ව දෙවියන්ට ඇහෙන්නෙ නැත්තං දවසකට දේවාල තිහක වැඩ කරන සේවක පූජකයගෙ කන්නලව්ව ඇහෙන්නෙ කොහොමද? මිනිහ යාතිකා කරන්නෙ රුපියල් දෙකකට. ඒ හින්ද මං මිනිහව අයින් කෙරුවා. දැන් මං සැනසිල්ලෙ ඉන්නවා. දෙවියො ඉන්නවද නැද්ද කියල කරදර වෙන්ඩ ඕනැ නෑ. ඉන්න එක නැති එක උන්නාන්සෙගෙ වැඩක් . ඇයි මං ඒ ගැන කරදර වෙන්නෙ? මං හරි නැවුම් තිරිහං මිනිහෙක් හැටියටයි මට දැං දැනෙන්නෙ. මට ඔයාව බලන්ඩ එන්ඩ ඕනැකමක් තිබුණට ඒක කරගන්ඩ බැරුව ගියා . දැං මං හුගක් මහලුයි. එදා අර දඟකාරකම කෙරුවට මට ඔයාට ස්තුති කරන්ඩ ඕනෑ. ඔයා ඒක නොකළ නං මං අර වැඩේ දිගටම කරකර ඉඳල මැරිල යයි. ඒව මහ තේරුමක් නැති වැඩ. දැං මං මැරෙන්නෙ සම්පූර්ණයෙන්ම නිදහස් මිනිහෙක් විදිහට’

බාලජී ඔහුගෙ නිවසටත් මාව එක්කගෙන ගියා. මං ඉස්සරත් ඒ ගෙදරට ගිහිං තියෙනවා. එදා තිබිච්ච ආගමික පොත්පත් මෙදා තිබුණෙ නෑ. ‘මං දැන් කොහොමත් ඒවට ආස නෑ’ ඔහු කිව්වා.

ඉන්දියාවෙ හැම පෝසතකුගෙම ගෙදර පුංචි දේවාලයක් තියෙනවා. ඒත් ඒ හැම පෝසතකුටම දෙවියන් වෙනුවෙන් වෙන් කරන්ඩ කාලයක් නෑ. සල්ලි හොයන එක ඊට වැඩිය වටිනවා. පූජකයෙක් සල්ලිවලට ගන්ඩ පුළුවනි. මිනිහ කොච්චර රැවටිලිකාරයෙක් ද කියනව නං මිනිහ තමාවම රවට්ට ගන්නවා. දෙවියො මැරිල ගිහින්. ඒ හින්ද ඔහු වෙළඳපොළෙන් දෙවියෙක් මිලදී ගන්නවා. ඒක නොදන්න දෙවියකුගෙ හැඩහුරුව නෙළපු ගලක්. මිනිහ පොසත් වෙන්ඩ වෙන්ඩ දෙවියන්ගෙ මිල ඉහළ යනවා. මිල වැඩි වුණත් නැතත් ඒක පාරිභෝගික භාණ්ඩයක් විතරයි. ඒ තියා පූජකයත් පඩි ලබන සේවකයෙක්. ඔහුට සල්ලි එක්ක මිසක් දෙවියො එක්ක කරන්ඩ වැඩක් නෑ. පූජකයො දේවාලෙන් දේවාලෙට දුවනව මං දැකල තියෙනවා. දේවාල විස්සක වැඩ කරන්ඩ පුළුවං වෙච්චි පූජකය පෝසතෙක්.

මේ මුළුමහත් ක්‍රියාවලියම විකාරූපියි. ඒක හරියට ඔබේ ආදරවන්තයට හෝ ආදරවන්තියට ආදරය කරන්ඩ සේවකයෙක් සේවිකාවක් යොදනව වගේ වැඩක්. ආදරේ වෙනුවෙන් මිඩංගු කරන කාලෙත් සල්ලි හොයන්ඩ බලය හොයන්ඩ වැයකරන්ඩ පුළුවන්නෙ. ආදර ක්‍රීඩාවත් සේවකකාරකයකු මාර්ගයෙන් කරවගන්ඩ පුළුවන්. ඉතින් ගැහැනිය බුද්ධිමත් නං ඇයටත් සේවිකාවක් යෙදවිය හැකියි.

ලබන සතියට

Comments