![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/07/05/sil-07-07-ja-pura-1.jpg?itok=dJUuXy-h)
මට ඕන වුණේ දරුවන් වෙනුවෙන් ලස්සන ලෝකයක් හදන්න
ඔහු රෝහල් වාට්ටුවේ අපූරු ඩිස්නිලන්තයක් මැව්වේය. පූලා, ටෙඩී බෙයාර්ලා පමණක් නොව සෙසමි වීදියත් මේ ළමා වාට්ටුවේ මැවුණේ එසේය. ඔහු ඒ සියල්ල කළේ සිය පෞද්ගලික ධනය නොමසුරුව වියදම් කරමිනි.
ජයවර්ධනපුර මහ රෝහල කවදත් අතිශය කාර්ය බහුලය. රෝගීන් රැගත් වාහන එහා මෙහා යන්නේ වේගයෙනි. රෝහල් කාර්ය මණ්ඩලයද සුපුරුදු පරිදි කාර්ය ශූරය. ඔවුහු නොපිරිහෙළා සිය සේවය ඉටු කරන්නට ලක ලැහැස්තිව සිටිති. පාන්දර සිට ගවු ගණන් දුර ගෙවමින් සායන කරා පැමිණි රෝගීන් තවමත් පෝලිම් වල පෙළ ගැසීය. ඔවුන් නොඉවසිල්ලෙන් තම වාරය පැමිණෙන තුරු බලා සිටින්නේ හැකි ඉක්මනින් ප්‍රතිකාර ගෙන නිවෙස් කරා යාමේ අපේක්ෂාවෙනි.
අප ද ජයවර්ධනපුර රෝහල කරා ඇදුණේ මෙවන් ජනාකීර්ණ වූ මෙහොතකය. රෝහල් බිමේ සිටින දහසකුත් දෙනා අතරින් මම ද යායුතු තැන සෙවූයෙමි. රෝහලක ඇති කටුක, රළු දසුන් අතරින් මගේ සිත දිව යන්නේ රෝහලක් තුළ නොදකින අපූරු සුන්දරත්වයක් සොයාය.
“මම උදේ හතට ඇවිත් වැඩ පටන් ගන්නවා. වැඩ කරන වෙලාවට දුරකතනයක්වත් ළඟ තියා ගන්නේ නැහැ. ඒ නිසා ආරක්ෂක අංශවලට මම දැනුම් දීලා තියන්නම්. ඔයාලා කෙළින්ම රෝහලේ ළමා වාට්ටුවට එන්න.” ජයවර්ධනපුර රෝහලේ ළමා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රෝහාන් ඇලෝසියස් මහතා පැවසූ වදන් යළිත් සිහිපත් වෙයි. ඔහු පැවසු පරිදිම අවේලාවේ රෝහලට පිවිසි අපට ආරක්ෂක අංශවලින් කිසිදු බාධාවක් ඇති නොවීය. මමත් ඡායාරූප ශිල්පි කැලුම් ත් රොහල් කොරිඩෝව දිගේ ජයවර්ධනපුර රෝහලේ ළමා වාට්ටුව සොයා ගියෙමි.
මිකි මවුස්ලා, සින්ඩරෙල්ලා, බෙලා, පීටර් පෑන්ලා, ස්නෝ වයිට්ලා, පූ ලා සියල්ලම ඩිස්නිලන්තයෙන් මෙහි ගොඩ බැස සිටිති. අප සිටියේ අපූරු ඩිස්නිලන්තයේ දොරටුව අභියසය. සුපුරුදු සාම්ප්‍රදායික රෝහල් බිමක නොදකින අපූරු සුන්දරත්වයක් කැටි වුණු මේ ළමා ලෝකයට අපි ත් ගොඩ වැදුණෙමු. රෝහලක වාට්ටුවක් පරයමින් සාම්ප්‍රදායිකත්වයෙන් එහා ගිය සුන්දර ළමා ලොවක් අප දෙනෙක් අභියසය. ඒ ළමා ලෝකයේ පුංචි එවුන් පමණක් නොව ඔවුන්ගේ ආරක්ෂකයින් වු වෙද හෙද පිරිස්ද මේ ලස්සන ලොව තවත් ලස්සන කරන්නට වෙහෙසෙති. මහාචාර්ය රොහාන් ඇලෝසියස්, ඒ ළමා ලොවේ මැවුම්කරුය.
“මේ දොස්තර ධීරා දේවරාජි. මේ දොස්තර ඉන්ද්‍රචාපා. මේ දොස්තර ශිරාස් රාසික්. මේ ඉන්නේ දොස්තර රිද්මි රණතුංග. මේ ඉන්නේ දොස්තර කුමුදුණි අත්තනායක. අර එහා පැත්තේ ඉන්නේ දොස්තර සමිද්ධි ගුණරත්න. මේ දොස්තර නවෝද කුමාරසිංහ. මේ දොස්තර බිමාලි උර්මිලා.” මහාචාර්ය රෝහාන් ඇලෝසියස් සිය හවුල්කාර වෛද්‍යවරුන් අපට හඳුන්වා දෙයි. විවිධ ජාති ආගම්වලින් යුතු වෛද්‍යවරුන් වුවද ඔවුන්ගේ අරමුණ එකකි. සැවොම සෑදී පැහැදී එකා මෙන් වෙහෙසෙන්නේ දරුවන්ගේ යහපත වෙනුවෙනි.
රෝහල් වාට්ටුවක මැවුණු මේ අපූරු ළමා ලෝකයේ නිර්මාතෘවරයා මහාචාර්ය ඇලෝසියස් මහතාය. මහාචාර්යවරයා කිසිම භේදයකින් තොරව සිය වෛද්‍ය හෙද හා අනෙක් මණ්ඩලය සමඟින් දරුවන් වෙනුවෙන් අපූරු ගමනක් යන්නේය. එය අන් රෝහල්වලටද ආදර්ශයකි.
රෝහල් පරිසරයේ මැවුණු මේ සුන්දර ළමා ලොව, රෝගී දරුවන්ට ඖෂධවලින් කෙරෙනවාට වඩා මනස සුවපත් කරන ස්ථානයකි.
මහාචාර්ය ඇලෝසියස් මේ රෝහල් වාට්ටුව බාර ගත්තේ 2007 වසරේදීය. එකල මෙතැනද සුපුරුදු පරීදි ජයවර්ධනපුර රෝහල් සංකීර්ණයේ තවත් එක් වාට්ටුවක් පමණක් විය. එහෙත් දරුවන් සුවපත් කිරීම වෙනුවෙන් සිය ජිවිතයම කැපකර සිටින මේ වෛද්‍යවරයාට ඇවැසි වූයේ මෙහි පැමිණෙන දරුවන්ට ඖෂධ ප්‍රතිකාරයට වඩා මානසික සුවයක් අත්පත් කර දීමටය. ඔහු මුදලේ වටිනාකම තුට්ටුවකටවත් මායිම් නොකරන්නේය. ඇති තරම් මුදල් වියදම් කළේ දරුවන්ගේ සිත් ඇදගන්නා ප්‍රියමනාප පෙනුමක් වාට්ටුවට දෙමින් දරුවන්ගේ ගත සුවපත් කරන වටපිටාවක් සැකසීමටය. මාසේ අන්තිම ලබන වැටුප ඔහු වැය කළේ අසරණ රෝගි දරුවන් වෙනුවෙන් ළමා ලොවක් තනන්නටය. ඒ අරමුණෙන් හෙතෙම රෝහල් බලධාරීන්ගේ ද අවසරය ඇතිව රෝහල් වාට්ටුවේ අපූරු ඩිස්නිලන්තයක් මැව්වේය. පූලා, ටෙඩී බෙයාර්ලා පමණක් නොව සෙසමි වීදියත් මේ ළමා වාට්ටුවේ මැවුණේ එසේය. ඔහු ඒ සියල්ල කළේ සිය පෞද්ගලික් ධනය නොමසුරුව වියදම් කරමිනි.
රුපියලට දෙකට අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගන්නා ඇතැම් වෛද්‍යවරුන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ තිබියදී දරුවන් වෙනුවෙන් මිනිසත්කම උපරීමයෙන් දායාද කළ මේ අපූරු වෛද්‍යවරයාගේ සේවය ලොවක් තරමට වටින්නේ එහෙයිනි.
“ 2007 දි මම බාර ගන්න කොට මේ වාට්ටුව තිබුණේ සාමාන්‍ය වාට්ටුවක් විදියට. මට ඕන වුණා මේ වාට්ටුවට එන දරුවන්ට ප්‍රතිකාරයෙන් පමණක් නොව මානසිකවත් හැකි ඉක්මනින් සුවපත් වෙන පරිදි රෝහල් පරිසරය සකසන්න. දරුවන්ගේ රෝග සුවවෙන්න පිරිසුදු වාට්ටුවක් වගේම හොඳ පරිසරයකුත් අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වුණේ හැම දරුවෙකුම ඉක්මනින් සුවපත් කර නිවෙසට පිටත් කර හරින්නයි. මේ වාට්ටුව ලස්සන කරන්න පටන් ගත්තේ ඒ අනුවයි. එය බොහෝ වියදම් යන වැඩක් බව තේරුණා. අපි වාට්ටුවට පිවිසෙන දොරටුවේ සිට ඇතුළත දක්වාම වෙනස්ම විදියකට සකස් කළා. දරුවන් වෙනුවෙන් ලස්සන ලෝකයක්, ඒ වගේම මේ වාට්ටුවට එන දරුවන්ට අර්ථවත්ව කාලය ගත කරන්න පුළුවන් ආකාරයට සකස් කළා. දරුවන්ගේ රෝහල් වාට්ටුවෙන් එපිට වත්ත අලංකාර ලෙස සකස් කර සමනල උයනක් සැදුවා. එහි දරුවන්ට ක්‍රීඩා කරන්න සෙල්ලම් පිට්ටනියක් සකස් කළා. වාට්ටුව ඇතුළත අලංකාර කරමින් මාළු ටැංකියක් දැම්මා, දරුවන්ගේ මානසික සුවය පතා. එයට ගොඩාක් අයත් උදවු කළා. අද ඇඳට වෙලා අසනීපයෙන් සිටින දරුවන්ට කියවන්න පුස්තකාලයක් තියෙනවා. ඒ පුස්තකාලයේ තියෙන්නේ ඉංග්‍රීසි පොත්පත්. ඒ වගේම රෝගීව ඇඳට වැටුණු දරුවන්ට චිත්‍ර අඳින්න පහසුකම් ඇති කළා. මේ දරුවන්ගේ චිත්‍ර වෙනුවෙන් අපි බිත්ති පුවරුවක් සකස් කර හොඳම චිත්රවලට තෑගි දුන්නා.” මහාචාර්ය ඇලෝසියස් පවසන්නේය.
මින් නොනැවතුණු මහාචාර්යවරයා දරුවන් වෙනුවෙන් කරන විවිධ සත්කාර වැඩ සටහන්වලදීද සිය ශ්‍රමයෙන් හා මුදලින් දායකත්වය සපයන්නේය.
ගිලන්ව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරෙන දරුවෝ අද රෝගී සයන මතට වී කල් නොගෙවති.
රෝගී සයනයේ සිටින දරුවන් අතරින් බොහොමයකගේ මුහුණු රෝගී බව යටපත් කරමින් සිනා රැල්ලකින් එළිය වෙයි. කොතරම් රෝගී වුවද මේ දරුවෝ ප්රබෝධමත්ය. සමහරෙක් ඇඳට වී චිත්‍ර අඳිති. හොඳට ඇන්ඳහොත් තමන්ගේ චිත්‍රය රෝහල් නිර්මාණ පුවරුවට එක්වන බව ඔවුහු දනිති. තවත් අය ඇඳට වී ඉංග්‍රීසි පොතපත කියවති. ඒ ලොකු දොස්තර අංකල් ගේ කැපවීමෙන් මේ දරුවන් ශාරීරිකවත්, මානසිකවත් සුවය ලබන අයුරුය.
“සර් එක්ක උදේ 7 ට අපි වැඩ ආරම්භ කරන්නේ දරුවන් වෙනුවෙන් සෙත්පතා යාඥා කර. මේ හැමදේම සකස් වුණේ සර්ගේ වියදමින්. අපිත් හැකි විදියට සර්ට උදවු වුණා. ළමා උද්‍යානය මාසයක් තුළ ඉඳිකළා. අද මේ වත්තේ සමනලුන් පිරිලා. දරුවෝ සමනලුන් පස්සේ දුවනවා බලන් ඉන්න ආසයි. අපි දරුවන් වෙනුවෙන් පොඩි පුස්තකාලයක් දැම්මා. ගොඩාක් පොත් සර් දරුවන් වෙනුවෙන් පිටරටින් පවා ගෙන්වුවා. සමහර දරුවන් ටිකට් කපා ගෙනයන විට ආසාවට ඒවත් ගෙදර අරගෙන යනවා. අපි මුකුත්ම කියන්නේ නැහැ. නත්තලට, අවුරුද්දට, ළමා දිනයට දරුවෝ මේ වාට්ටුවේ ගොඩාක් විනෝද වෙනවා. ඒ අයට අපි තෑගි විතරක් නෙමේ අපිට දෙන්න පුළුවන් උපරීමයෙන් ආදරයත් ලබා දෙනවා.” වෛද්‍ය ඉන්ද්‍රචාපා පැවසුවාය.
මුළු වාට්ටුවම රෝගී දරුවන්ගේ දෙඅතින් වර්ණවත් වූ චිත්රවලින් විසිතුරු වී ඇති අන්දම එහි ගිය අපි දුටුවෙමු. රෝහලේ පළමු වාට්ටුව ඔවුන්ගේ සුරතලා වූ පූ බෙයාර් සංකල්පයෙන් විසිතුරු වී ඇත. හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙනෙන දරුවන්ගේ වාට්ටුව සෙසමි වීදියේ සිතුවමින් අලංකාර වී ඇත්තේය. මේ අන්දමට රෝහලේ ළමා වාට්ටුවේ වාට්ටු හතරක් ළමා සිත් ඇද ගන්නා අන්දමින් විසිතුරු වී ඇත.
රෝහලේ සයනයක් මතට වී චිත්‍රයක් සිතුවම් කරන ඇය විද්‍යාලංකාර බාලිකා විදුහලේ 6 වැනි වසර අභිෂ්කාය.
“අසනීප වුණත් මම ගොඩාක් ආසාවෙන් මේ දවස් ටික හිටියේ. සෙල්ලම් කළා. පුස්තකලයෙන් පොත් අරගෙන කියෙව්වා. ඒ වගේම දැන් ලස්සනට චිත්‍රත් අදිනවා. ලොකු දොස්තර අංකල් වගේම අනිකුත් දොස්තර ඇන්ටිලා අංකල්ලත් අපිට හරීම ආදරෙයි. මම දැන් චිත්‍ර ගොඩාක් ඇන්දා. අපි අසනීපයෙන් ආවත් මෙහෙදි අමාරු දැනෙන්නේ නැහැ.” ඇය පවසන්නීය.
“ලොකු දොස්තර මහත්තයට දරුවන් ගැන හොඳ මතකයක් තියෙනවා. වෛද්‍ය ප්‍රතිකාරවලට වඩා සර්ට ඕන දරුවන්ව සතුටින් තියලා සුව කරන්නයි. මේ හැම දේම සර් කළේ සර්ගේ වියදමින්. දරුවන්ගේ වාට්ටුවේ අනිත් පැත්තේ සර් දරුවන්ට ඉගෙන ගන්න ගමේ තියෙන ආකාරයට ලස්සන මැටි ගෙයක් හැදුවා. ගැමි ගෙදරක තිබිය යුතු සියලුම දේ එහි තියෙනවා. දරුවො ඒ සෙල්ලම් ගෙදරට වෙලා සෙල්ලම් බත් ඉව්වා. ඒත් පසුගිය අධික වර්ෂාව නිසා ඒක විනාශ වුණා. සර් සකස් කළ සමනල් වත්තට දරුවන් හරීම ආසයි. පුංචි එවුන් සමනලුන් පස්සේ දුව පැන ඇවිදින කොට බේතක් පවා පොවා ගන්න පහසුයි.” රෝහලේ සෞඛ්‍ය කළමනාකාරිණී චූලකාන්ති මහත්මිය පවසන්නීය.
මහාචාර්ය ඇලෝසියස් මහතාගේ දැන් වෑයම වාට්ටුවේ පුස්තකාලය තවත් වර්ධනය කිරීමය. ඔහු මේ වනවිටත් ඒ කාර්යයට අත ගසා ඇති අතර පරිත්‍යාගශීලින්ට ඒ සඳහා පොත් දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ හැකියාව ඇති බව ඔහු පවසන්නේය.
මහාචාර්ය රොහාන් ඇලෝසියස් මහතාගේ සමනල් වත්තේ බොහෝ ඉදිකිරීම් කර ඇත්තේ උපස්ථායක සුභාෂ් විරාජ් ය.
“මම මේ රෝහලට ඇවිත් අවුරුදු 35 ක් වෙනවා. සර් මේ රෝහලට ආවේ 1988 දී. සර් එනකොට මෙහි තිබූ පරිසරය දරුවන්ට සුන්දර වුණේ නැහැ. සාමාන්‍ය රෝහල් පරිසරයට දරුවන් ගොඩාක් බයයි. සර් ආවාට පස්සේ සර්ගේ වියදමින් මේ වාට්ටුව අලංකාර කළා. සමනල්ලු ගෙන්වා ගන්න අවශ්‍ය ගස් පවා සර්ගේ පෞද්ගලික වියදමින් ගෙනත් හිටෙව්වා. එදා දරුවන්ට සෙල්ලම් කරන්න පවා තැනක් තිබුණේ නැහැ. ඒත් අද මේ වාට්ටුවට ආපු දරුවෙකුට හිතෙන්නේ නැහැ අසනිප වෙලා රෝහලකට ආවා කියලා. මේ වාට්ටුවට එන දරුවන්ගේ දෙමවුපියන්ටත් එහෙමයි” සුභාෂ් පවසන්නේය.
උදේ 7 ට රෝහල් වාට්ටුවට එන මහාචාර්ය ඇලෝසියස් මහතා විටෙක දරුවන්ගේ රෝග පරීක්ෂාවෙන් අනතුරුව දරුවන් සමඟම කාලය ගත කරන්නේ දරුවන්ගේ නිර්මාණයන්ට පණ පොවන්නටය. ලස්සන චිත්‍ර රෝහල් වාට්ටුවේ සැරසිල්ලක් වන්නේය. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කාරුණික වදන් දරුවන් සුවපත් වීමට තවත් හේතුවකි.
අපට රෝහල් වාට්වුවෙන් නික්මීමට කාලය පැමිණ ඇත. මේ කාර්ය බහුල මහාචාර්යවරයාට අප සමඟ දොඩමළු වෙමින් සිටීමට කාලය ඉඩක් ඉතුරු කර නැත. ඔහු දරුවන් වෙනුවෙන්ම වෙන්වු ලොවකළ සිය කාලය වැය කරන්නේ ය. ඔහු සමඟ සිටින හෙද, වෙද කාර්ය මණ්ඩලයද එසේමය. ජයවර්ධනපුර රෝහලේ ඉදිවූ මේ සුරංගනා ලොවින් නික්මුණු අපි රෝහල් කොරිඩෝවට පිවිසියෙමු. පුංචි දරුවෙකු සිය මවගේ අතේ එල්ලි අඬමින් යයි.
“ඇයි මේ බෙහෙත් විදලද?” මම විමසුවෙමි.
“බලන්නකෝ වාට්ටුවෙන් යන්න බැහැ කියලයි මේ අඬන්නේ. තව ටිකක් ඉන්න ඕනලු සමනල්ලු අල්ලන්න.” මව එසේ පවසමින් දරුවාගේ අත වැරෙන් ගෙන අප පසු කරමින් රෝහලෙන් නික්මුණාය. එහෙත් දරුවාගේ සිත තවමත් සැරි සරන්නේ ඒ සුන්දර ඩිස්නිලන්තයේය.
සේයාරූ - කැලුම් ලියනගේ