“හෙලෝ... මිස්ට විජේමාන්න.”
ඒ රැව් දෙන සීනුමය හඬ ඇය ගලවා ගත්තේය.
“ඔහ්... මිසිස් එතල්...” යි කියමින් ඔහු ආලින්දය වෙත ඇවිද ගියේය. එහෙත් ඔහුගේ සිතට සහනයක් නොදැනිණ. සිය දරුවා එතල්ගේ භාරයේ තබන්නේ ද නැතහොත් කැටිව යන්නේදැයි ඔහු හිසට වධ දෙමින් කල්පනා කළේය.
“කවුද ඒ?”
අමාලි සැනසුම් සුසුමක් හෙළන්නට ඉක්මන් වූවා වැඩිය.
“ඒ තමා... ඒ තමා” යි කී කොලුවා තමා ද්වේෂ කරන ගැහැනියට සරිලන නම සොයාගන්නට වෙහෙසුණ්ය.
“කවුද අෂේන්?”
ඇගේ කුහුල වැඩෙයි.
“ඒ.... ඒ... ඒ... තමා බිග් බොස්...”
දෙබැම ඉහළ නංවා දෑස අයා ගත් යුවතිය “බිග් බොස්?” යි පුනරුච්චාරණය කළාය.
පරිගණක ක්රීඩාවක දුෂ්ටයාගේ නම එතල්ට කදිමට සරිලන බව අෂේන් සතුටින් සිතුවේය.
“ඉතිං.... බිග් බොස් මොකටද ආවෙ?”
ගෘහ මූලිකයා රැකියාව සඳහා පිටත්ව යෑමෙන් පසු තමාට නිදහසේ මේ නිවෙස තුළ ගත කළ හැකි බව සිතූ අමාලි කනස්සල්ලෙන් ප්‍රශ්න කළාය.
“එයා... එයා එන්නෙ මාව බලා ගන්නනේ...”
යුවතියගේ නොදන්නාකම විමතියෙන් ද නොරිස්සුමින් ඉවසූ කොලුවා දත් බුරුසුව අතින් ගත්තේය.
“අයියෝ” යි සංවේගය පළකළ අමාලි “එහෙනං ඉතිං මට යන්න තමා වෙන්නේ...” යි කොඳුළාය.
“කොහෙද?”
“කොහේ යන්නද මංදා අෂේන්. මට යන්න තැනකුත් නෑ...”
“ඇයි? ඔයාගේ ගෙදර...”
ඇය සෝබර මඳහසක් පෑවාය.
“මාව ගෙදරින් එළෙව්වනේ අෂේන්...”
ඔහු මහත් කනගාටුවෙන් දෑස හකුළා ගත්තේය.
“ඉතිං අපි තාත්තට කියමුකෝ.” යි ඔහු යෝජනා කළේ ඇයට පිහිට විය යුතු බව හඟිමිනි.
“එපා එපා... අපි පස්සෙ කියමුකෝ.” දැං තාත්තා වැඩට යනවනේ. මට ඉතිං දවස තිස්සෙම හැංගි මුත්තං කරන්න බැරියැයි. අර දැං ආපු එක්කෙනා එක්ක.”
ඒ කතාව කොලුවාගේ සිත් ගත්තේය. හැංගි මුත්තං සෙල්ලමට ඔහු ප්‍රිය කරයි. තමාගේ තාවකාලික බාරකාරිය සමඟ හැංගිමුත්තං කිරීම ද සහායක ක්රීඩිකාව ලෙස හද බැඳි යුවතියක එක්ව සිටීම ද කදිමය.
අමාලි නාන කාමරයෙන් පිටව ගියේ හඬ නොනැඟෙන සේ පයැඟිලි අගින් ඇවිදිමිනි.
“අෂේන්”
ඒ උච්ච ස්වරය ඇය පමණක් නොව අෂේන් ද කලඹාලයි.
“දත් මැද්ද ද?”
නාන කාමරයට එබුණු දිගටි මුහුණක තියුණු දෑස බැබළිණ.
දත් බුරුසුව අතේ තිබියදීම ඔහු “නෑ” යි උත්තර දුන්නේ නොමනාපයෙනි.
“මෙච්චර වෙලා මොනාද කළේ බාත්රූම් එක අස්සේ රිංගගෙන? ඔයාගේ තාත්තා කීවේ ලොකු ඉලන්දාරියෙක් වගේ දොරත් ලොක් කර ගෙන හිටියා කියලා.. මා එක්ක නම් ඒ සෙල්ලම් හරි යන්නෙ නෑ අෂේන්. ඔයා දන්නවනේ මං...”
ඇය කියන්නට තැත් කළ යමක් වී නම් වහා සම්පූර්ණ කරන්නට තරම් වන වාර ගණනක් අසා පුරුදු බැවින් ඔහු “හොඳට හොඳයි. නරකට නරකයි.” හඬ ගෑවේය.
“අන්න හරි... හ්ම්... දැං දත් මදින්න.”
දත් බුරුසුවට දත් බෙහෙත් එක් කරගන්නවා වෙනුවට ඔහු හිස නඟා ඇය දෙස බැලුවේය.
“බැ...”
ඇගේ මුහුණ තවත් දික් වූවා මෙනි. ඇය ඉතා පහසුවෙන් ඔහු වෙත ළං වූවාය. වේවැලක් මෙන් සිහින් සිරුරට දොරක පටු හෝ පුළුල් බව කොහෙත්ම අදාළ නැත. ඇය ඕනෑවට වඩා උස්වූ අතර ඕනෑවට වඩා ඍජු වූවාය. කිනම් මොහොතක හෝ ඇගේ ඍජු උස් සිරුර කැඩී දෙකඩ වන බව අෂේන් සිතයි. ඔහු එබන්දක් ප්‍රාර්ථනා කළේය.
“දත් මැදලා තමා ඕනෑම කෙනෙක් මූණ හෝදන්නෙ. යම්.. කෝ ඉක්මන් කරන්න.”
“ඉතිං මං ඊයෙත් දත් මැද්දනේ...”
ඇය විමසිලිමත් බැල්මක් හෙළුවාය. මේ කුඩා කොල්ලා එන්නේ මොකාටදැයි අසන ඒ බැල්මෙන් ඔහු පිනා ගියේය.
එහෙත් ඒ ප්රීතියට දීර්ඝායුෂ නොතිබිණ. මෙතෙක් වේලා කේඩෑරි තට්ටමට තදව තිබූ යමක් පෙරට ගත් කල ඔහුගේ දෙතොල’තර සියුම් සිනාපොද අතුරුදහන්ව ගියේය.
“ලස්සනයි නේද? හරි හයියයි පුංචි වුණාට. ඕනම කෙනෙක්ගෙ පිට පුපුරයි දෙක වදින කොට”
ඇය තමා වැනිම සිහින් දිගු වේවැල අගය කරද්දී ඔහු සුපුරුදු පරිදි විලාප නැගුවේය.
සැඟව සිටින්නට අහුමුල්ලක් සොයන අමාලි ඒ විලාපයෙන් තිගැස්සුණාය. ඇය කොතෙක් කැලඹුණේදැයි කිවහොත් ඇඳ සමීපයෙහි වූ අලංකාර විදුලිපහන බිම පතිත විය. මහත් වරදකාරි බවකින් වෙළී ගිය යුවතිය “අයියෝ” යි මිමිනුවාය.
වෙනත් ඕනෑම දවසක් මෙන් උණුසුම් හා වියළි වුවද ඇය නොසන්සුන් කරන මේ දවස කුහුල්බරය සංකාකූලය. තමාට නොවැටහෙන යම් කිසිවක් සිදුවන බවට ජනිත වන හැඟීම ඉවසා සිටීම පහසු නැත. ඇය ඔහු දෙස විමසිලිමත් බැල්මක් හෙළුවාය. ඒ කුඩා සිරුරේ සැඟවගත් අභිරහසක් ඇත්දැයි පිරික්සා බලන්නාක් මෙනි
“අෂේන්?”
ඔහු තමාගේ දෑස මඟ හරින බව වැටහී ගියෙන් ඇය උස් හඬින් කෑගෑවාය.
අෂේන් හෙළුවේ උදාසීන බැල්මකි. තමාට ඊට වඩා හයියෙන් බෙරිහන් දෙන්නට පිළිවන් වග සිතුවා විනා මේ බාරිකාරිය නොඉවසිල්ලෙන් නළියන්නේ මක්නිසාදැයි දැනගන්නට නොවෙහෙසුණේය. ඇය සමඟ ගෙවන දවස මුළුල්ලේ ඔහු අසහනයෙන් ද අසන්තෝෂයෙන් ද පීඩා විඳියි. ඔහුගේ පියා පවා ඒ බව දැන සිටියි. වෙනදා මෙන් තමාගේ තුරුලට නොඑන පුත්‍රයා දකින නලින්ගේ දෙනෙත වේදනාවෙන් අඳුරු වෙයි.
“එතල් ආන්ටි ඔයාට හරි ආදරෙයි පුතා. එයා එක්ක රණ්ඩු කරන්න එපා. එයා මට උදව්වක්නෙ කරන්නෙ ඔයාව බලාගෙන” යි පහදා දුන්නද අෂේන් මුණින් අතට හැරී දෑස තදකොට වසා ගන්නවා විනා “හ්ම්” හඬක් හෝ පිට නොකරන කල ඔහු හූල්ලා වැටෙයි.
“ළමයා දුක් විඳිනවා” යි නොසිතා සිටින්නට හෙතෙම අපොහොසත් වෙයි.
නලින්ගේ දුක් විඳින ළමයා මේ මධ්යහ්නයේදී නම් ඕනෑම විදියක පහසුවෙන් දැකගත හැකි ඇට්ටරයෙකුගේ ස්වභාවය පළ කරයි.
“මොකක්ද අෂේන් ඔයාගේ ප්ලෑන් එක?”
එතල් මහත් වුවමනාවෙන් ප්‍රශ්න කළාය. ඉනික්බිති ඔහුගේ පිළිතුර ශ්රවණය කරන්නට මෙන් මඳක් ඉදිරියට නැමුණාය.
“මොකක්ද?”
උත්තරයක් වෙනුවට ඔහු ප්රශ්නයක් ම නැඟුවේය. මේ කෙසඟ ගැහැනිය සමඟ ගත වන කාලය කිසිදා හමාර නොවෙන්නක් බවක් ඔහුට හැඟිණ. තමාගේ සිත්ගත් තැනැත්තිය මේ ගෙදර කොතනක සැඟවී සිටින්නේදැයි සිතා බලන්නට ඔහු කැමත්තේය. කාමරයට දිව ගොස් බිඳුන බඳුනට වගකිව යුත්තේ තමා බව හැඟවෙන අයුරින් කළ රංගනය යළි යළි සිහි කරමින් ඔහු ප්‍රීති විය.
“අෂේන්?”
එතල් බෙරිහන් දුන්නේ මේ කුඩා කොලුවා මේ ලෝකයේ සියලු බඳුන් බිඳ දැමූ කලෙක මෙනි.
“වැ.. වැටුණා...” යි ඔහු තැතනුවේය.
“බින්දා නේද? අයියෝ අපරාදේ...”
ඇය මුළු හදින්ම කනගාටු වූවාය. ළමයා මෙන් ම මේ ගෘහයේ සියලු බඩු භාණ්ඩ ද නිරුපද්රැතව බාරදීම තමාගේ වගකීම බව සිතන බැවින් ඇගේ ළතැවුල අධිකය.
“බි.. බිඳුණා...” යි අෂේන් ද පිළිගත්තේය.
“ඔයාට මොකද අෂේන් වෙලා තියෙන්නේ? අනේ මට නම් තේරෙන්නෙ නෑ.. ඔයා මහ නරක ළමයෙක්.” යි ඇය එක එල්ලේ දෝෂාරෝපණය කළාය.
ඔහු තැති ගත්තේ ඇගේ කෝපය හා අප්රසාදය පිළිබඳ නොවේ. ඇගේ තියුණු දෙනෙතින් සැඟව හිඳින්නට අමාලි සමත් වනු ඇත්දැයි ඔහු බියෙන් ද නොඉවසිල්ලෙන් ද කල්පනා කළේය.
“ඔතන ඔහොම උඩ බලාගෙන ඉඳල හරියන්නෙ නෑනෙ. යන්න ගිහිං කොස්ස අරන් එන්න.”
ඒ නියෝගයට අවනත නොවූ කොලුවා පළමුව දෙනෙත හකුළා ගත්තේය. දෙවනුව දෙතොල විදා මහ හඬින් “බෑ... බෑ” යි කෑගෑවේය.
දෙකන් රිදුම් දුන්නෙන් එතල් බෙහෙවින් කිපුණාය.
“ඇයි බැරි? අනිත් එක ඔච්චර හයියෙන් කෑගහන්න ඕනද...?
ඇගේ හඬ ඔහුගේ බෙරිහන් දීමෙන් ගිලී ගියේය. ඔහු නොනවත්වා බෙරිහන් දුන්නේය. සයිරන් නලාවක් වැනි මේ ළමයා නවත්වන්නට වෑයම් නොකළ එතල් කොස්ස සොයා ගියාය. ඇය වේගයෙන් ඇවිද ගියේ ඇගේ ම කෙසඟ දෙපයට වධ හිංසා කිරීමේ අභිප්රායෙන් මෙනි. ඇය කොතෙක් වේගවත් වුවද පිරිමි ළමයා වෙතද කෘතවේදී බැල්මක් හෙළමින් කාමරයෙන් පිටව යන්නට අමාලි සමත් වූවාය.
“බලමු... ලන්ච්වලට මොනාද තියෙන්නෙ කියලා”
රහස් පරීක්ෂක භූමිකාව අත්හළ ගැහැනිය මුළුතැන්ගෙය වෙත හැරුණාය.
“යමු...”
අෂේන් අතීරණයෙන් පසුවන අයුරු දුටු ඇය වහා අණ කළාය.
“මට බඩගිනි නෑ...”
සැබැවින් ම ඔහු පෙළන්නේ පිපාසයයි.
විටින් විට ගිරිය කඩාගෙන කෑ ගැසීම හේතු කොටගෙන ඔහුට අධික පිපාසයක් දැනිණ.
“ඒ වුණාට මට බඩගිනියි. ඔයාටත් ඉතිං බඩගිනි නැතිවෙන්න බෑ නේ. දැං කී සැරයක් නම් විලාප දුන්නද... අහල පහල මිනිස්සු වන් වන් නයින් නොගැසුවා පුදුමයි! දන්නවා ඇති බෙරිහන් දෙන මෝඩයෙක් මේ ගෙදර ඉන්නවා කියලා.”
ලබන සතියට...