
ග්‍රාම නිලධාරී වසම් 44කට නිවාස
“මම හිතුවෙ මගේ දරුවෝ තුන්දෙනත් එක්ක මහා පස්කන්දකට යටවෙලා මැරෙන්න වෙයි කියලා. ඒත් කුමන හෝ දෙයකින් ජීවත් වෙන්න වාසනාව තිබුණා. දවසක් අනෝරා වැස්ස වෙලාවේ මගේ පුංචි කටුමැටි ගහපු ගේ කාමරේ දරුවෝ තුන්දෙනත් එක්ක පණ ගැහි ගැහී හිටියා. එකපාරට පොල්අතුවලින් වට කරලා තිබුණු පැත්තේ ඉවුරේ මහා පස් කණ්ඩියක් කඩාගෙන අපේ පුංචි පැල්පත විනාශ වෙලා ගියා. මහා පස් කන්ද මගේ කොන්ද උඩ. අතේ හිටිය පුංචිම දියණිය මගේ පපුවටයි පොළොවටයි හිර නොවී ඔසවාගෙන හිටියේ ඇඟේ තිබුණ හයියටත් වඩා හිතේ තිබුණු සෙනෙහසටයි. එදා දවස අපේ පවුලේ තීරණාත්මක දවසක් වුණා. පැදුරේ හිටපු අපි පැදුරෙනුත් බිමට ඇද වැටුණා. ජීවිතයක් ගැන හීන මවපු අපිට අද රාජ මාලිගාවක් වගේ නිවසක් ලැබිලා තියෙනවා. කහවත්ත පොලීසියේ ස්ථානාධිපති රොහාන් ඕලුගල මහත්තයාටයි ගේ හදන්න උදව් කරපු හැමෝටමයි අපි ගන්න හුස්මක් හුස්මක් ගානේ පින් සිද්ධ වෙනවා” යි පැල්මඩුල්ල දිප්පිටිගල පදිංචි කේ.බී.එන්. ලාල් ප්‍රේමකුමාර (44) මහතා අප සමඟ පැවසීය.
ශ්‍රී ලංකා පොලීසියේ 152 වැනි පොලිස් දිනය වෙනුවෙන් කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 44 ක එක් නිවස බැගින් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියරේ නිවාස 20 ක් මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇත. “සංකල්පයට යථාර්ථයක්” මැයෙන් ශ්‍රී ලංකා පොලීසියේ කාර්යභාරයෙන් ඔබ්බට ගොස් හිසට සෙවණක් නැති අනාරක්ෂිත පවුල් එක් වසමකින් එක් පවුල බැගින් මේ සඳහා තෝරාගෙන තිබේ. මෙම නිවාස ජනවාරි 19 වනදා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ ප්‍රතිලාභීන්ට භාර දෙනු ලැබීය. මේ සඳහා මුල් කටයුතු කළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක ගෞතම ශ්රීපාදස්ථානාධිපති අතිගරු බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
දිප්පිටිගල වසමේ කේ. බීි. එන්. ලාල් ප්‍රේමකුමාර මහතා ද මෙහි නිවාසලාභියෙකි. ඔහුට අප හා පැවසිමට බොහෝ දේ විය.
“මට ඉන්නේ ගැහැනු දරුවන් තුන්දෙනෙක්. දිප්පිටිගල විද්‍යාලයේ ඉගෙනුම ලබන දිළිණි චතුරිකා 11 වසරේ, තිළිණි සඳුනිකා 10 වසරේ, සජිනි දිනූෂිකා 4 වසරේ. දරුවෝ තුන්දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු, ආහාර පාන ඇරුනම මම දවසේ කුලියක් කරලා ගන්න මුදලින් වෙනත් දෙයක් කරන්න බැහැ. බිරියටත් හැකියාවක් නැහැ. අපි කාපු වේල් ගාණට වඩා නොකා හිටපු වේල් ගාන වැඩි ඇති. ඒත් මම උත්සාහ කළේ කොහොම හරි තාත්තා කෙනෙක් හැටියට දරුවන්ට යුතුකම් ඉෂ්ට කරන්න. මේ අතර අත්වැඩට ගිය මම මේසන් වැඩට හුරු වුණා. ඊට පස්සේ කොළඹ පැත්තේ වැඩවලට ගිහිල්ලා ගෙදර ඕනෑ එපාකම් පිරිමහ ගත්තා. දැනට වසර කිහිපයකට පෙර පලංචියක් පල්ලට වැටී මම ඉන්නේ අසනීප තත්වයෙන්. මේ අතර තමයි සිවිල් ආරක්ෂක කමිටුවේ නිලධාරීන් අපේ ගෙදරට ඇවිල්ලා අපේ ගේ හදලා දෙනවා කියලා කිව්වා. අපි කවදාවත් හිතුවේ නැහැ මෙහෙම වාසනාවක් අපිට තියෙයි කියලා.”
ඔහුගේ වැඩිමහල් දියණිය දිළිණි චතුරිකා මධුවන්තිය.
“මම මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. ජීවිත කාලයම අපේ පුංචි නිවහනේ විදුලි බල්බයක් දැන්වුනේ නැහැ. කුප්පි ලාම්පුවෙන් පාඩම් කරලා තමයි මේ ගමන ආවේ. අඩු තරමේ පාඩම් කරන්නවත් ගෙදර ඉඩක් තිබුනේ නැහැ. අතපය දිගහැරලා නිදාගන්නත් ඉඩ මදි. වැස්ස දවසේ ගෙට පස් කන්ද කඩාගෙන එනකොට තාත්තා නොහිටියා නම් අපි කට්ටියම ඒ පස් ගොඩට යටවෙලා. දැන් ඒ අසුන්දර අතීතය හරිම සුන්දරයි කියලා හිතෙනවා. අපිට කහවත්ත පොලීසියෙන් ලස්සන ගෙයක් හදලා දුන්නා. නංගිලා දෙන්නත් එක්ක හොඳට ඉගෙන ගෙන අහිංසක අම්මා තාත්තාට සලකන්නත්, අපට ගේ හදා දුන්නු සියලු දෙනාගේම ගෞරවය ආරක්‍ෂා කරගෙන රටට වැඩදායී පුද්ගලයින් වීමයි මගේ බලාපොරොත්තුව.”
නිවාස ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූ කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා “මීට වසර දෙකකට පෙර සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස් ස්ථානාධිපතිවරුන් රත්නපුරයට කැඳවා අපේ පොලිස්පතිතුමාගේ අදහස ඉදිරිපත් කළා. පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා ප්රජාවත් එක්ක බොහොම ළඟින් ඇසුරු කරපු කෙනෙක් නිසා ඔහුගේ ඉදිරි දැක්ම පිළිබඳ මම හොඳ අවබෝධයකින් හිටියා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපිට දැනුම් දුන්නා 152 වැනි පොලිස් දිනය වෙනුවෙන් එක පොලිස් ස්ථානයකින් දුප්පත් පවුලක් සඳහා නිවසක් හදලා දීමේ අදහසක් පොලිස්පතිතුමාට තිබෙන බව. ඒ අනුව රැස්වීම ඉවර වෙලා මම ආපහු එන ගමන් මගේ රියදුරු දැනට විශ්‍රාමික පොලිස් සැරයන් විමලචන්ද්‍රට කිව්වා අපි වසම් 44ම එක නිවස බැගින් හදමු කියලා. ඔහු එක හෙලාම කිව්වේ “අනේ සර් වාසනාවන්. කොහොම හරි කරමු කියලායි.
ඒ අනුව මම පොලිසිය නිලධාරීන්ට මේ බව දැනුම් දුන්නා. ඒ අය එක හෙළාම වැඩසටහන අනුමත කළා. පළමුවෙන්ම සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීන් සමඟ සෑම වසමකම මහජනතාව දැනුවත් කළා. ඔවුන්ගේ ආධාර උපකාර ඇතිව නිවාස ව්‍යාපෘතිය වැඩ අරම්භ කළත් සමහර නිවාස ඉදිකර ගැනීම ඉතාම අසීරු වුණා. මේ කාලය තුළ මම හරිම අමිහිරි අත්දැකීම් වලට මුහුණ දුන්නා. නමුත් මගේ පොලිස් නිලධාරීන් තම රාජකාරියට එහා ගොස් තමන්ගේ ගෙදර වැඩ කරනවා වාගේ මේ අහිංසක මිනිසුන්ගේ නිවාස ඉදිකිරීමට උදව් කළා. කැපවුණා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අමතක නොවන සිද්ධි ගොඩක් තිබෙනවා. ගමේ අයත් එක්ක මගේ නිලධාරීන් නිවෙසක වැඩ කරන වෙලාවක එහි දරුවන් පාසල් ගිහින් ඇවිත් දවල්ට කෑමට යමක් නැතිව තැන් තැන්වල වැටී සිටියා. අපේ නිලධාරියා අසා තිබෙනවා. ගෙදර වැඩ කරපු බාසුන්නැහැගෙන් බත් කන්නේ නැද්ද කියලා. එයා ගෙදරින් කෑම ගෙනවිල්ලයි තිබුණේ. ඔහු මගේ නිලධාරියාට කියා තිබෙනවා. කොහොමද සර් අපි බත් කන්නේ අර ළමයින්ට දවල්ට කන්න ගෙදර මුකුත්ම නැතිව. ඊට හේතුව වෙලා තිබුනේ ගෙහිමියා කුලී වැඩට නොගොස් ගේ හදා ගැනීම සඳහා නතර වීමයි. සැණෙකින් ක්‍රියාත්මක වූ මගේ නිලධාරියා අතේ තිබුණු මුදල් වලට එවලේම දරුවන්ට කෑම ගෙනත් දීලා තිබුණා. හවස එම නිලධාරියා මට මේ පණිවිඩය දුන්නාම මම දැඩි වේදනාවකට පත් වුණා. ඒ ගමන්ම මගේ අතේ තිබුණු රුපියල් තුන්දහස් පන්සීයක මුදල ඔහුටම දීලා ගෙදරට බඩු ගෙනිහින් දීලා එන්න කියලා කිව්වා. මේ වගේ ඉතා සංවේදී අවස්ථාවලට අපි මුහුණ දුන්නා. මේ එක සිද්ධියක් විතරයි.
ව්‍යාපෘතිය අරඹා ටික කාලයක් යද්දී සමහර ගෙවල් හැදුණා. ගෙහිමියන්ගේ ද, උනන්දුව අඩු නිසා සමහර වැඩ අතර මැද නතර වුණා. මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ගෞතම ශ්රීපාදස්ථානාධිපති අතිගරු බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේත්, කහවත්තේ සේනින්ද නාහිමිපාණන් වහන්සේත්, අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලත් දැක්වූ සහයෝගය හා ආශිර්වාදය මට අමතක කරන්න බැහැ. ඒ වගේම පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා මේ වැඩ සටහන බොහොම ඉහළින් අගය කළා. ඒක මට ලොකු ශක්තියක්. පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමා ප්‍රමුඛ සියලුම මගේ ඉහළ නිලධාරීන් මට ලබාදුන් සහයෝගය අගය කරනවා. ඒ වගේම මගේ පොලිසියේ සියළුම නිලධාරීන් කළ කැපකිරීම් හෙලූ දහඩිය වල ප්‍රතිඵල තමයි මේ ඉදිවුණු නිවාස. කහවත්ත සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීන් ඇතුළු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන.
මෙම නිවාස ව්‍යාපෘතිය අතර මග නතර වී තිබුණු අවස්ථාවේ ඉතා හොඳින් නැවත ආරම්භ කිරීම සඳහා මට විශාල ශක්තියක් වුණේ කහවත්ත එක්සත් වෙළඳ සංගමයේ සභාපති කරුණාදාස වීරසිංහ, කපිල ප්‍රියන්ත රුද්‍රිගූ, චතුර කොඩිතුවක්කු, යන මහත්වරුන් කහවත්ත සහ පැල්මඩුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ පූර්ණ අනුග්‍රහය ලබාගෙන ව්‍යාපෘතිය පළමු අදියර නිමා කිරීම සඳහා දායක වුණා. මාත් සමඟ පොලිස් පරීක්ෂක රණසිංහ මහතා මෙම වැඩ කටයුතු වෙනුවෙන් දැක්වූ අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරනවා.
ඉදිකිරීම් නිම කළ ග්‍රාම නිලධාරී වසම් 20 ක නිවාස පසුගිදා පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනුග්‍රාහකභවතුන් ගේ සහභාගීත්වයෙන් නිවෙස් හිමියන් වෙත භාර දෙනු ලැබිණ.
ඡායාරූප කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි