
* හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා ඩිප්ලෝමාවක්
* හතරේ පන්තියේදි ඊ-පොතකුත් ලියලා
* ලොව ළාබාලම විද්‍යා ප්රබන්ධකයා
* ඉගෙනගන්නේ පහේ පන්තියේ ලෝක වාර්තා පහක් තියලා
කඩවත නගර සීමාවේ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් වැටී ඇති මාවත දිව යන්නේ අප සොයමින් යන පුංචි පාසල අසලින් ය. ප්‍රධාන නගරයට ආසන්න වුවද සූරිය ප්‍රදීප පාසල තවමත් අයත් වන්නේ දුෂ්කර පාසල් අතරටය. පාසලට පැමිණෙන්නේ කිසිදු පාසලකට දරුවන් ඇතුළු කරන්නටවත් හැකියාවක් නැති මවුපියන්ගේ දරුවන් පමණි. ගමේ පුංචි පාසල බබළවන්නට දෝ මේ විදුහලට ‘සූරිය ප්‍රදීප පාසල‘ නමින් ලස්සන නමක්ද යොදා තිබිණි.
වැසී යෑමට ඔන්න මෙන්න කියා තිබෙන දරුවන් අතළොස්සක් පමණක් ඉගෙනුම ලබන මේ පුංචි ඉස්කෝලේ අද බැබළෙන තරුවක් වි සිටින්නේ පුංචි පුතෙකි.
ඔහු ඉන්ද්‍රජිත් ප්‍රභාස්වර කරුණානායක. වයස අවුරුදු දහයකි. ප්‍රභාස්වර පුංචි පුතු ඉගෙන ගන්නේ සූරිය ප්‍රදීප පාසලේ පහ ශ්‍රේණියේය. ගමේ පුංචි පාසලේ සිට එළඹෙන ශිෂ්‍යත්ව විභාගයටත් මුහුණ දෙන්නට මේ පුංචි පුතු සූදානම් ය. ශිෂ්‍යත්ව විභාගය සඳහා පහ ශ්‍රේණියේ දරුවකු සුදානම් වීම අද සාමාන්‍ය දෙයකි. එහෙත් මේ කතාවේදි අපට ප්‍රභාස්වර පුතු නම් සුවිශේෂය.
ප්‍රභාස්වර පුතු දුටු හැටියේම මට ඔහු දැක පුරුදු බවක් මතකයට නැඟණි. වසර දෙක තුනකට පෙර මා රූපවාහිනියේ දුටු එක්තරා දසුනක් මතකයට නැඟෙයි. මීට කලකට පෙර දිනෙක පුංචි තිරයේ අවුරුදු තුනක පුංචි පුතෙක් ලෝක සිතියමේ සියලු රටවල් එක හඬින් පවසන අයුරු අප බලා සිටියේ විමතියෙනි. කිසිවෙක් ඔහුගේ සහායට නොසිටියහ. ලෝක සිතියමේ රටවල් එකිනෙක පෙන්වමින් මේ බ්‍රසීලය, මේ නවසීලන්තය, මේ ආර්ජන්ටිනාව, මේ ඩෙන්මාර්කය ආදි වශයෙන් ඉතා චතුර ලෙස එදා ඔහු සිය හැකියාවන් පෙන්වීය.
එදා ඒ පුංචි පුතුගේ සංසාරගත අපූරු හැකියාව බැලූවෝ පුදුමයට පත් වූහ. තවත් වරෙක ප්‍රභාස්වර පුතු ආවර්තිතා වගුවේ සියලු මූලද්‍රව්‍ය සිය මතකයෙන් පවසන අයුරු රටක් පුදුමයට පත් කරමින් රූපවාහිනි නාළිකාවන්හිද විකාශය වූයේ ඊට පසුවය. දරුවකු පළමු වැනි පන්තියේදි එවන් හැකියාවක් පෙන්වීම අතිශයින්ම විරල කරුණකි. මගේ මතකයේ සිටි පොඩ්ඩා දැන් මා ඉදිරියේය. පුංචි පුතුගේ හැකියා හරි පුදුමය. ඒ හැකියා එකිනෙකට වෙනස්ය. විදුහල්පතිවරුන් ගුරුවරුන් මවිත කරමින් ප්‍රභාස්වර සිය පාසලේ නම ලෝක වාර්තා පහකටත් එක් කළේ ගමටත් රටටත් කීර්තියක් අත් කර දෙමිනි.
ප්‍රභාස්වර වෙනුවෙන් ගමේ පාසලත් ටිකෙන් ටික වෙනස් වන්නට විය. විදුහල්පතිතුමා සැම විටම සිතුවේ සිය පාසලේ පුංචි හපනා වෙනුවෙන් පුංචි පාසල වෙනස් කරන ආකාරයයි. සියලු දේ ගමේ දරුවන්ගේ යහපත වෙනුවෙන් සිදු වන්නට විය. ලොවක් ජය ගත් මේ පුතා වෙනුවෙන්ම ගමේ පාසලත්, ගමේ දරුවෝත් අලුත් පාසලට හැඩ ගැසෙන්නට වූහ.
පාසලක් දරුවන් වෙනස් කිරීම සාමාන්‍ය දෙයක් වුවත් දරුවකු විසින් පාසලක් වෙනස් කරනු ලැබූ කතාව නම් අපට අලුත් දෙයකි. පාසල අලුත් කළ කතාව අප සමඟ පැවැසුවේ විදුහල්පති ප්‍රසාද් කිනිගම මහතාය.
“ප්‍රභාස්වර ශිෂ්‍යයා කියන්නේ රටම අගය කළ යුතු දරුවෙක්. අද ලෝකයක්ම මේ දරුවා ගැන කතා කරනවා. ඒ දරුවා අපේ මේ පුංචි පාසලේ දරුවෙක් නිසා අන් හැමෝටම වඩා අපි ඔහු ගැන ආඩම්බර වෙනවා. අපේ පාසල වැහෙන්න ගිය පාසලක්. බොහෝම අමාරුවෙන් තමයි වසරක් පාසා මේ පාසලට දරුවන් එකතු කර ගන්නේ. ඒත් මම විදුහල්පති වුණාට පස්සේ මට අවශ්‍ය වුණා මෙම පාසල අපූරු පාසලක් කරන්න. ඒ වගේම ආදරය මේ පාසලේ වැපිරීමට.
දවසක් ලස්සන සිද්ධියක් වුණා. හැම අවුරුද්දේම අපේ පාසලට පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු වෙන කොට මවුපිය රැස්වීමක් තියෙනවා. ඒදා මවුපිය රැස්වීමේ දී මම කිව්වා මගේ හීනය ජපන් කතාවක එන‘කෝබේගේ‘ අපූරු පාසල් සංකල්පය මෙහි ඇති කිරීමයි කියලා. මගේ කතාවෙන් පස්සේ එක්තරා පියෙක් මාව හමුවෙන්න ආවා. ඇවිත් කිව්වා මට හරිම ආසයි සර්ගේ කතාවට. මම මේ පාසලේ එක වසරට ඉල්ලුම්පත් දැම්මේ දැමිය යුතු නිසයි. මේ පාසලට එවන්න හිතාගෙන දැම්මා නෙමෙයි. ඒත් මම අද සර්ගේ කතාවෙන් පස්සේ හිතාගත්තා මගේ දරුවා මේ පාසලට ඇතුළත් කළ යුතුයි කියා. එහෙම කියලා මේ තාත්තා මගෙන් තවත් ඉල්ලිමක් කළා.
මම පරිගණක ඉංජිනේරුවරයෙක්. මගේ දරුවා අපූරු හැකියා තියෙන දරුවෙක් කියලා අවුරුදු තුනේදි ලෝක සිතියමේ සියලු රටවල් පෙන්වපු හැටි වීඩියෝ කළ පටයක් මට පෙන්වුවා. එදා මගේ ගුරු ජිවිතයේ විශාල අභියෝගයක් ඇති වුණා කියලා මට දැනුණා. මට තේරුණා මේ පාසලේ පහසුකම් අනුව මෙවැනි දරුවෙකුට මොනවද කරන්න පුළුවන් කියලා. ඒත් මම අඩිය ආපස්සට ගත්තේ නැහැ. මේ දරුවා මේ පාසලට ආභරණයක් වෙයි කියලා හිතාගෙන මම මේ දරුවා වෙනුවෙන් මේ පාසල වෙනස් කරන්න අධිෂ්ඨාන කර ගත්තා” විදුහල්පතිතුමා පැවැසිය.
කුඩා දරුවකු විසින් පාසලක් ඉදිරියට ගෙන යෑමේ වෑයම ඇරැඹෙන්නේ එසේය.
දිනක් ප්‍රභාස්වර පුතුගේ පෙර පාසලේ ප්‍රදර්ශනයක් විය. අනෙකුත් දරුවන් පුංචි පුංචි නිමැවුම් කරද්දි ප්‍රභාස්වර ප්‍රදර්ශනය වෙනුවෙන් දුරේක්ෂයක් හා ස්පීකරයක් සාදා ඉදිරිපත් කළේය. අනතුරුව සාමාන්‍ය පෙළ දරුවෙකුගේ දැනුමින් මේ පුංචි පුතු දුරේක්ෂයේ ක්‍රියාකාරිත්වය අපූරුවට පැහැදිලි කළේ අසා සිටින්නන් මවිතයට පත් කරවමිනි.
“මම හිතුවා මේ දරුවා ඉදිරියට ගෙන යන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පාසලේ චෙස් ක්‍රිඩාව ආරම්භ කිරීම කියලා. ඒත් චෙස් ගුරුවරයෙකුට විශාල වියදමක් යන නිසා මම මගේ ගෝලයකු ගෙන්න ගෙන මේ පාසලේ චෙස් ආරම්භ කළා. මේ දරුවව ඒවට යොමු කළා. ඉන් පස්සේ මොහු අපේ පාසල නියෝජනය කරමින් අන්තර්ජාතික චෙස් තරගාවලි දෙකක් දිනලා පාසලට කීර්තියක් ගෙනාවා. අද ප්‍රභාස්වර එක්ක චෙස් අදින්න මේ පළාතේ කිසි කෙනෙකුට බැහැ”
විදුහල්පතිවරයා තම පාසලේ දීප්තිමත් සිසුවාගේ හැකියාව අගය කරන්නේ එලෙසිනි. අද මේ පුංචි පුතාගේ චෙස් ජයග්‍රහණය චෙස් භාර ආචාර්යවරයාටද අභියෝගයකි. විටක මේ දරුවාට චෙස් ඉගැන්වීමද තරමක් අභියෝගයකි. පාසල් අවසානයට පෙර පෙළ පොත් දෙන විට දින දෙකෙන් තුනෙන් පොත් සියල්ල කියවා හමාර කරන්නට මේ පුතු අතිදක්ෂය. ඔහුට යළිත් කියා දෙන්නට ගුරුවරයාට දෙයක් ඉතුරුව නැත. පාසල් නිවාඩුව ආරම්භ වන විට ඉන්ද්‍රජිත් තමන්ට වඩා ඉදිරි වසර පන්තිවල පෙළපොත්ද කියවන්නට පටන් ගනියි. දින ගණන් පන්ති පාඩු වුවද පැමිණි එක් දිනක ඔහු ඒ සියල්ල ග්‍රහණය කරගන්නේ පාඩුවක් නොවන්නටය.
“පුතා ඉපදිලා මාස 8න් අකුරු කියවන්නට පටන් ගත්තා. මාස 4න් වචන උච්චාරණය කරන්නටත් පටන් ගත්තා. අපිට හරි පුදුම හිතුණා. සමහර දවස්වලට පුතා භාවනා කරනවා. පුතාට මොනවා හරි කියලා දෙන්න ඕනෑ එක් වරයි. එක පාරෙන්ම එයා හැම දේම ග්‍රහණය කරගන්නවා. මම හැමදාම හවසට පුතාත් එක්ක එයාගේ අම්මා එක්කගෙන එන්න යනවා. ඒ යද්දි පුතා මගෙන් ආවර්තිතා වගුව ගැන අහනවා. මම එයාට ටිකෙන් ටික ඒවායේ නම් කියලා දුන්නා. එතකොට පුතා පළමු වසර. එක දවසක් එයා නොනවත්වාම මේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය කියාගෙන ගියා. හැමෝටම පුදුමයි. විදුහල්පතිතුමායි මමයි බැලුවා මේ වගේ දරුවකු එහෙම කියන ලෝක වාර්තාවක් මීට කලින් කවුරු හරි පිහිටුවලා තියෙනවාද කියලා. ඉන්දියාවේ දරුවෙක් තමයි වාර්තාවක් තබා තිබුණේ. ඒත් අපේ දරුවා ඊට වඩා බාල නිසා අපි දරුවා වෙනුවෙන් ලෝක වාර්තාවක් සඳහා ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඒ 2015 දි.
අන්තිමේදි අපේ දරුවා ඒ ලෝක වර්තාවට තේරුණා වගේම අඩුම කාලයකින් ආවර්තිතා වගුව කියවන ලෝක වාර්තාවත් පුතාට හිමි වුණා. එක පිට ලෝක වාර්තා දෙකක්ම පුතාට හිමි වුණා. පුතාට අංක එකේ සිට බින්දු සියයක ඉලක්කමක් දක්වා එක දිගට නොනවත්වාම ගණින්න පුළුවන්. දරුවා ඒ විදියට ගණින්න පටන් ගත්තහම අපි බැලුවා, මේ සම්බන්ධයෙන් මීට කලින් ලෝක වාර්තා පිහිටුවා තියෙනවද කියලා.
එහෙම වාර්තාවක් තියලා තිබුණේ නැහැ කියලා දැක්කහම විදුහල්පතිතුමා අපිත් එකතු වෙලා ඒ ලෝක වාර්තවටත් ඉල්ලුම් පතක් දැම්මා. අන්තිමේ එයත් ලෝක වාර්තාවක් අතරට එක්වුණා” ප්‍රභාස්වරගේ පියා කාමින්ද කරුණානායකය සිය පුතුගේ හැකියාව හා දක්ෂකම් ගැන පවසන්නේ අපමණ සතුටුනි. පරිගණක ඉංජිනේරුවකු වන කාමින්ද හා හා වරලත් ගණකාධිකාරවරියක වන ඔහුගේ බිරිය සිය පුතුගේ ඉදිරි ගමනට නොමඳ සහායක් දෙති.
වරෙක මේ පුංචි පුතාට පොතක් ලියන්නට සිත් විය. පෙර පාසලේ දුරේක්ෂයක් නිපදවූ මේ පුංචි ප්‍රභාස්වර නොපෙනෙන ලෝකයේ ග්‍රහ වස්තූන් අපූරුවට උගත්තේය. එය ඔහුගේ විනෝදාංශයක් වන්නට විය. අන්තර්ජාලයේ ඉංග්‍රිසි වැඩසටහන් නිරීක්ෂණය කරන ඔහු කියන දේ එක්වරම ග්‍රහණය කර මකත තියා ගත්තේය. පාසල් පළමු වසර වන විට ආතර් සී ක්ලාක් මහතගේ පොත් පත් සියල්ල ප්‍රභාස්වර කියවා අවසන්ය.
“මේ වන විට ලෝකයේ ළාබාලම ප්රබන්ධකයා සිටියේ බ්‍රසීලයේ. නමුත් මීට කලින් ලොව කිසිම දරුවෙක් විද්‍යා ප්‍රබන්ධයක් ලියා නැහැ. ප්‍රභාස්වර විද්‍යා ප්‍රබන්ධයක් ලිව්වා. අපි එයත් ලෝක වාර්තාවකට එක් කළා. ලොව ළාබාලම විද්‍යා ප්රබන්ධකයා ලෙස. ඒ එක වසරේදි. ඒ කාලයේම ප්‍රභාස්වර පුතා කවි පොතකුත් ලිව්වා. එයටත් ලොව ළාබාලම කාව්‍ය රචකයා ලෙස ලෝක වාර්තාවක් හිමි වුණා. ඒ කියන්නේ පුංචි කාලයේම ලෝක වාර්තා පහක් තැබුවා. ඊට පස්සේ මේ දරුවා දෙක වසරේදි පොතක් ලිව්වා. හතර වසරේදි ඊ පොතක් ලිව්වා” විදුහල්පති කිනිගම මහතා වැඩි දුරටත් පැවැසීය.
“පුතා සෛල ගැන ඉගෙන ගන්න හරිම ආසයි.” තාත්තා ආඩම්බරයෙන් පවසන්නේ සිය පුතුගේ අපූරු හැකියා ගැනය. අප පුතා දැනටමත් උසස් පෙළ ජිව විද්‍යා පොත් කියවනවා. ඒ ගැන ඉගෙනගන්න එයාට තියෙන්නේ ලොකු ආසාවක්. එයා ඔන්ලයින් ඔස්සේ පසුගිය දවස්වල හාවඩ් විශ්වවිද්‍යාලය මඟින් කරන සෛල ජීව විද්‍යා ඩිප්ලොමා පාඨමාලාව හැදෑරුවා. ඒ වගේම අපේ පුතා හරිම ආසයි පිට සක්වළ ජිවින් ගැන අධ්‍යානය කරන්න. පුතා ඒවායේ ස්වරූපය, ග්‍රහලෝකවල පිහිටීම මෙන්ම ඒවායේ ස්කන්ධයන් ගැන ප්‍රායෝගිකව හැදෑරීම් කරනවා තනිවම”
විදුහල්පතිවරයා දරුවාගේ දක්ෂකම් හා ඔහුගේ හෙට දවස පිළිබඳ අප හා පැවැසුවේ මෙලෙසිනි.
“මේ වගේ දරුවෙකුට ශිෂ්‍යත්වය ලිවීම ඔරොත්තු නොදෙන දෙයක්. එයාගේ දැනුම ගොඩාක් පුළුල් නිසා ශිෂ්‍යත්ව වගේ ප්‍රශ්න පත්රයකට පිළිතුරු ලියන්න අමාරුයි. ඒත් මේ දරුවා අපි විභාගයට තියනවා. ඒ වගේම ලබන වසරේදි හෝ ඊළඟ වසරෙදි පෞද්ගලික අපේක්ෂකයකු ලෙස මේ දරුවා සාමාන්‍ය පෙළ විභාගයට වාඩි කරවනවා. අදටත් මේ ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ විෂයයන් ගැන හොඳ දැනුමකින් ඉන්නේ. සමහර විට ශිෂ්‍යත්වයෙන් පස්සේ මේ දරුවා අන්තර්ජාතික විභාගවලට පමණක් පෙනී සිටින්නත් පුළුවන්. ඉදිරියේදී මේ දරුවා ආචාර්ය උපාධියකට ද පෙනී සිටීමට නියමිතයි.”
සියල්ලෝම දැන් බලා සිටින්නේ ප්‍රභාස්වරගේ හෙට දවස ගැනය. ප්‍රභාස්වරගේ ලෝකය පුළුල්ය. පන්ති කාමරයේ දැනුම ඉක්මවා ගොස් සිටින ඔහු දැන් අලුත් දැනුම සොයයි. හැම විටම ලෝකය පිළිබඳ තොරතුරු සොයයි. දැන් ප්‍රභාස්වර ගමේ පාසලේ ඉගෙන ගනිමින් සිය හැකියා තවත් ඔප මට්ටම් කර ගන්නවා පමණක් නොව, සිය පාසලේ නාමය ලොවට රැගෙන යයි.
සේයාරූ- කැලුම් ලියනගේ