
කලාවැවේ සිට තිසා වැවට ජලය ගෙන යන්නට ධාතුසේන රජ සමයේ ඉදි කළ පුරාණ යෝධ ඇළ යනු පරිසර හිතකාමී වාරි ව්‍යාපෘතියක් සඳහා හොඳ උදාහරණයකි. වසර එක්දහස් පන්සියයකට පෙර නිමවූ මේ යෝධ ඇළ නිම්නයේ මිනිස් ජීවිතවල අසිරිය දකිමින්, ඔවුන්ගේ ජන ජීවිතය, සංස්කෘතික බැඳීම්, පාරිසරික සබඳතා සහ නව ප්රවණතා සාකච්ඡා කෙරෙන සංචාරක ලිපි පෙළක පෙර කොටස් පසුගිය සිළුමිණේ පළ විය. මේ සතියේ පළවන්නේ එහි අවසාන ලිපියයි.
කොළඹ සිට අනුරාධපුරය හරහා කන්කසන්තුරයට ඇදෙන දුම්රිය මාර්ගය ශ්‍රාවස්තිවත්ත ඉසව්වේදී යෝධ ඇළට ඉහළින් ගමන් කරයි. එය පසුකර මීටර කිහිපයක් ඉදිරියට යනවිට යෝධ ඇළ හරහා ගමන් කරන්නේ පාදෙණිය සිට අනුරාධපුරය දක්වා විහිදෙන ඒ-28 මාර්ගයයි.
“ඉස්සර යෝධ ඇල කලඑළි කරන්නේ මැදින් මාසෙ පැන්නහම. වෙසක් පොසොන් කාලෙට අනුරාධපුරේට එන සෙනඟට බොන්න, නාන්න ඕනකරන වතුර යෝධ ඇළ දිගේ එවල තිසා වැව පුරවනවා… දැනටත් අනුරාධපුරේට වතුර දෙන්නේ තිසාවැවෙන්..” දශක හතක යෝධ ඇළ මතකය ආවර්ජනය කරමින් මොහොතා මාමා පැවැසූ වදන් යළි මතකයට නැඟෙන්නේ ශ්‍රාවස්තිවත්ත ඉසව්වේදී යෝධ ඇළ බැම්ම වල් කපා, රොන් මඩ ඉවත් කරමින් තිබෙනු දුටු නිසාය.
එහෙත් උඳුවප් මාසය රජරට ඉසව්වට ඊසාන දිග මෝසම බලපැවැත්වෙන කාලයයි. ඉල් මාසය අගදී ඉවත්කර, යෝධ ඇළ බැම්මේ පිරවූ රොන් මඩ ඊළඟ මාසයේ වැටෙන වැස්සෙන් යළි සෝදාගෙන යෝධ ඇළට එකතු වන්නට ඉඩ ඇති නිසා වාරිමාර්ග බලධාරීන් යෝධ ඇළ කලඑළි කරන්නේ වැරදි කාලසීමාවක බව ලියුම්කරුගේ අදහසය. අතීතයේ සිදුවූ ලෙසට මාර්තු මාසයේදී යෝධ ඇළ දෙපස ශුද්ධ පවිත්‍ර කරන්නේ නම් ඉවත් කරන රොන්මඩ යළි යෝධ ඇළට එක්නොවී රජරටට යළිත් වැසිවැටෙන ඔක්තෝබරය දක්වා අල්ලා සිටින බැවින් එය වඩා ඵලදායක එකක් වනු ඇත.
ලක්දිව අතීත උද්‍යාන කලාව සහ සියුම් ජල කළමණාකරණ තාක්ෂණය විදහා දක්වන අද්විතීය නිර්මාණයක් ලෙස සැලකෙන “රන්මසු උයන” පිහිටා ඇත්තේද තිසාවැව වෑකන්ද පාමුලය. ක්‍රිස්තු පූර් 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකළ බව සැලකෙන මෙම උද්‍යානයේ ජල වහන පද්ධතිය අදද තිසා වැව් ජලයේ පීඩනයෙන් සක්‍රීය වේ. රාජකීය උද්‍යානයට අමතරව තිසා වැව් දිය ශ්‍රී මහා බෝධියද පෝෂණය කරයි. ඉසුරුමුනි වෙහෙර අසළින් ගලා යන වාරි ඇළ මඟින් අනුරාධපුර නගරය ආසන්නයේ පිහිටි කුඹුරු අක්කර ගණනාවක්ද සරුසාර කෙරෙයි. වෙනත් සුවිශේෂ ජල පෝෂකයකින් පෝෂණය නොවන තිසා වැව මේ සියලු කාර්යයන් සඳහා දියවර සපයන්නේ යෝධ ඇළේ ශක්තිය නිසාය. යෝධ ඇළෙන් තිසාවැවට ලැබෙන දියවර සවිය ස්ථීරසාර වන්නේ මහවැලි ජලය නිසාය.
යෝධ ඇළ බැම්මේ අනුරාධපුරයට යන අපට ඒ ආසන්නයේම පිහිටි රජමහා විහාරයක සලකුණු හඳුනාගන්නට ලැබෙන්නේ අඟලේ සිතියම පරීක්ෂා කිරීමෙනි. “වෙහෙර බැන්ද කුටිය රජමහා විහාරය” ලෙස හැඳින්වෙන ඒ විහාරස්ථානය පිහිටා ඇරත්තේ ගල්වඩුවාගම ගම්මානය ආශ්‍රිත සුන්දර වනගොමුවකය.
මිහිඳු සමිඳු යුගයේ සිට මහා රහතුන් වැඩ සිටි ස්ථානයක් ලෙස සැලකෙන වෙහෙර බැන්දකුටිය රජමහා විහාරය සහශ්‍ර දෙකක අතීතයක් සහිත පෞරාණික විහාරයකි. එහි ගරාවැටුණු වෙහෙර අසල ගල්තලාවේ ඇති සෙල්ලිපිය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී නැති බව අපට කීවේ එහි විහාරාධිපති නාච්චාදූව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති වැලිසර සිරි ජිනවංශ තිස්ස හිමියන්ය.
මෙම විහාරස්ථානයේ පැරණි ගරාවැටුණු චෛත්‍යය වෙනුවට නව චෛත්‍යයක් ඉදිවෙමින් පවතින අතර මෑතකදී නිමවූ අලංකාර පොකුණු සමූහයකින්ද යුක්තය. කටාරම් කෙටූ ගල්ලෙනක වූ පැරණි බුදුමැදුර ඉවත්කොට නව බුදුමැඳුරක්ද ඉදිකර ඇති අතර, වසර 2300කට වැඩි ඉතිහාසයක් පවතින මෙම විහාරස්ථානයේ නව ඉදිකිරීම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් සිදුව නැති ආකාරයක් පෙනී යයි. කෙසේ වුවද සුන්දර පාරිසරික ලක්ෂණ වලින් හෙබි පැරණි නටබුන් සහිත එම විහාරස්ථානය නැරඹූ අප යළිත් යෝධ ඇළ බැම්මට පිවිසියේ පොතානේගම දෙසට යන්නටය.
වර්ෂ 1862 ප්රතිසංස්කරණයෙන් පසු ඉංග්‍රීසීන් විසින් යෝධ ඇළේ රාජකාරිය වෙනුවෙන් කලාවැවත්, අනුරාධපුරයේත් ප්‍රභූන් වෙත ගරු තනතුරු පිරිනැමූ බව අපි මේ ලිපි පෙළ ආරම්භයේදී සටහන් තැබුවෙමු. කලාවැව අමණක්කට්ටුවේදී එම ඉසව්වේ “යෝධ ඇළේ ගෙදර” දැකගන්නට අපට වරම් ලැබිණි. යෝධ ඇළ තිසාවැවට වැටෙන ඉසව්වේ පොතානේගම දී ද “යෝධ ඇළේ ගෙදරක්” හමු විය යුතු බව අපට කියා සිටියේ අමණක්කට්ටුව ගොවි සංවිධානයේ ලේකම් ඇතිපොළ මහතාය.
ඒ අනුව බැම්ම දිගේ ශ්‍රාවස්තිපුර සිට අනුරාධපුරයට යන්නට පෙර, අප පොතානේගම ග්‍රාම නිලධාරී මොහොමඩ් මහතා අමතා සිටියේ “යෝධ ඇළේ ගෙදර” ගැන තොරතුරක් සොයා දෙන ලෙසය. ඒ අනුව නොඅළස්ව ක්‍රියාත්මක වූ ඔහු පොතානේගම 258 තුලානේ ගොවි සංවිධානයේ සභාපතිවරයා වන එම්. සුගතදාස මහතා හමුවන මෙන් ඉල්ලා සිටියේය.
යෝධ ඇළේ බැම්මේ සිට ආලන්කුලම වැව දෙසට වැටී ඇති මාර්ගය ඇරඹෙන තැනම මේ අන්තයේ පැරණි යෝධ ඇලේ ගෙදර පිහිටා තිබේ. එම්. සුගතදාස මහතා ආවාහ වී සිටින්නේ “යෝධ ඇළේ ගෙදර” රාජකාරිය පැවැරුණු පරපුරේ තෙවැනි හෝ සිව්වැනි පරම්පරාවේ දියණියක සමඟය.
ගොවිතැන වෙනුවට පොලිස් සේවයේ යෙදී සිටි නිසා එම්. සුගතදාස මහතා තරුණ වියේදී මේ තොරතුරු දැනගන්නට උනන්දුවක් දක්වා නැත. ඔහුගේ බිරියට ද මුතුන් මිත්තන්ගේ රාජකාරි ගැන අදහසක් නැත. එහෙත් ඇගේ මතකය මේ රාජකාරිය ගැන සුළු හෝඩුවාවක් සපයාගන්නට සමත්ය.
“අපේ මුත්තා සුද්දගේ කාලේ රුවන්මැලිසෑය හදද්දි ගල් වැලි අදින්න මිනිස්සු සංවිධානය කරපු කතාවක්, ආච්චි අම්මා මට කියල තියෙනවා… ඒත් යෝධ ඇළේ රාජකාරියක් ගැන කියපු වගක් මතක නෑ…”
එතෙක් පැවැති පැරණි වාරිකර්මාන්ත රාජකාරි ක්‍රමවේදය 1833දී අවලංගු කර, වැව් පිටිවලට ගොඩවීම පවා ගොවීන්ට තහනම් කළ ඉංග්‍රීසි රජයට පැරණි වාරි පද්ධතියේ වටිනාකම වැටහුණේ 1837 වසරේ ඇතිවූ මහා ජල ගැල්මෙන් පසුවය. එයින් පසුව එමර්සන් ටෙනන්ට් ආණ්ඩුකාරවරයා විසින් කැඳවන වාර්තාවකට අනුව 1856 අංක 9 දරණ වාරිමාර්ග ආඥා පනත නිර්මාණය විය. පැරණි වැව්ද, යෝධ ඇළ ද යළි ප්‍රතිසංස්කරණය කරන්නේ ඒ ආඥා පණතේ වගන්ති වලට අනුකූලවය. ප්‍රතිසංස්කරණය කරන ලද වාරිමාර්ග නඩත්තුවට ආයතනයක් ස්ථාපිත කරන තෙක් පැරණි රාජකාරි ක්‍රමයටම ඒවා නඩත්තු කරන්නට ඉංග්‍රීසීන්ට සිදුවිය. යෝධ ඇළ දෙපස පළ හතරේ උළු වහලවල් සහිත “යෝධ ඇළේ ගෙවල්” නිර්මාණය වූයේ මේ රාජකාරිය පැවැරුණු පුද්ගලයන්ට ලැබුණු වරප්‍රසාදයක් ලෙසය.
“යෝධ ඇළේ වතුර පාර අඩි අටක් උසට පවත්වා ගෙන යාම තමයි පැවැරුම…. මුත්තා දිනපතාම මේ තත්ත්වය බලල සටහන් තියාගන්න ඕන… අනුරාධපුර අන්තයේ යෝධ ඇළේ ගෙදර කෙනාගේ රාජකාරිය තමයි ඒ වතුර ප්‍රමාණය ලැබෙනවද කියල තහවුරු කරන එක…. මුත්ත තියන සටහන් රටේ මහත්තයා හරහා ඉංග්‍රීසි ආණ්ඩුවට යැව්වා….”මේ යෝධ ඇළේ ගෙදරට පැවැරුණු රාජකාරිය කලාවැවදී පැහැදිලිව විස්තර කළ ආකාරයයි. එය අපට විස්තර කළේ හිමංසු බණ්ඩාර ඇතිපොල මහතාය.
අපි එම්. සුගතදාස මහතා සමඟ යාබද නිවසට ගොස් පැරණි යෝධ ඇළේ ගෙදර ඡායාරූපයක් ලබාගත්තෙමු. එහි පැරණි පෙනුම බොහෝදුරට වෙනස් වී තිබේ. එහෙත් පැවැති ප්‍රෞඪත්වය විදහා දැක්වෙන සලකුණු තවමත් එහි ඉතිරිය.
නෙක නෙක කම්කටොලුද, පීඩාද විඳිමින් අතරමඟ හමුවූ දස දහස්ගණන් කුඹුරුවලට දියවර සපයමින් සැතැපුම් පනස් හතරක් ආ මඟ කෙළවර කරන්නට “යෝධ ඇළ” සූදානම්ය.
සිය දිගුගමන අවසන් කරන්නට මත්තෙන් අනුරාධපුරය හරහා පුත්තලම සිට ත්‍රීකුණාමලයට විහිදෙන ඒ-12 මාර්ගය යටින් රිංගා යන යෝධ ඇළ ගමන් කරන්නේ නාගරික නිවාස යෝජනා ක්‍රමයක් මැදිනි. යෝධ ඇළ බැම්ම ආසන්නයේ ඒ කොටසේදී හමුවන්නේ නවීන පන්නයේ නිවාස ය. දුරු කතර ගෙවා අනුරාධපුරයට පැමිණෙන සංචාරකයින්ට සුදුසු නවාතැන් ය.
පොතානේගම පාලමේ සිට තිසා වැව දක්වා වූ සම්පූර්ණ දුර යෝධ ඇළ බැම්ම දිගේ ඉදිරියට යා නොහැක්කේ අතරමඟදී ඇරඹෙන තිසාවැව රක්ෂිතයේ සීමාව එයට හරස් කපන බැවිනි. හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් මත ග්‍රාම නිලධාරීවරයා එහි නොපැමිණියෙන් අපට ඒ වෙත ඇතුළු වන්නට වරම් නොලැබිණි. ඒ නිසා විකල්ප මාර්ග භාවිතා කරමින් පණ්ඩුලගම හරහා යෝධ ඇළ තිසා වැවට එක්වන තැනට යන්නට අපට සිදුවිය. කළින් වැටුණු ඊසාන දිග මෝසම් වැස්ස නිසා තිසා වැවේ ජලය වාන් මට්ටමට ළඟාවී තිබේ. මේ නිසා සිතියම්වල දැක්වෙන සමහර මාර්ග වැවේ ගිල්මට යටව ගොසිනි.
පණ්ඩුලගම සිට තිසාවැවට ඔබ්බෙන් පෙනෙන්නේ අනුරාධපුර පූජා නගරයයි. මට මතකයට එන්නේ විවියන්ද සිල්වා බොරලැස්ස ගායිකාවගේ ගී හඬයි.
දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා
පුන්පෝයදා - දේ ශ්‍රියා - සාදු කිය කියා…
ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා..
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..///
තිසා වැව වටේ
මෝදුවෙමින් තිබෙන උඳුවප් සඳ එළියේ දිව්‍යලෝකය බඳු අනුරාධපුර පූජා නගරය දකින්නට අපටද හැකියාව ලැබී තිබේ. යෝධ ඇළේ ගලා ආ ජලය සිය රාජකාරිය අවසන් කොට තිසා වැව විසල් ජලකඳ සමඟ එක්ව ගිමන් හරිනු දුටුවෙමු. වන අලි මතුවිය හැකි වැව් සීමාවේ වැටුණු පැරණි පුත්තලම් මාර්ගයේ ඉදිරියෙනි. අප අපේ පා පැදි සෙමෙන් පැදගෙන ඉදිරියට ඇදුණේ කඩින් කඩ පැමිණි ගවේෂණාත්මක දිගු ගමනක අවසානය සටහන් කරන්නටය. විටෙක සංචාරයක්ද, තවත් විටෙක ගවේෂණයක්ද වූ මේ සංචාරය සමඟ පුරා සති දහ අටක් ඒකාත්මික වූ පාඨක ඔබටද, අතරමඟ නැවැතුම්වලදී අපට නොමසුරු සහයෝගය දුන් සියලුම දෙනාටද ස්තූතිවන්ත වන්නට මෙය අවස්ථාවක් කර ගන්නෙමු.
අපේ යෝධ ඇළ ගවේෂණය ගැන පාඨක ඔබටත් කියන්නට යමක් වේ නම් [email protected] ලිපිනයට දන්වන්න.
(සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ නෙළුබෑව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ එච්.ඒ. රේණුකා මහත්මියටත්, ආහාරපාන සහ නවාතැන් සම්බන්ධීකරණය කළ එගොඩගම ප්‍රියන්ත චන්දිමාල් මහතා ඇතුළු අදහස් දැක්වූ ගම්වැසියන්ටත් ස්තූතියි!)