සද­හම් දිය ගලනා විල වන­ සෙ­න­සුන වතු­රුවිල | Page 3 | සිළුමිණ

සද­හම් දිය ගලනා විල වන­ සෙ­න­සුන වතු­රුවිල

පිවි­සුම් වාහ­ල්ක­ඩින් ඇතු­ළු­වී­මේදී නෙත­ඳු­නක් බඳු වූ රූස්ස මැහෝ­ගනී රුක් පෙළ අභි­මා­නය ද, උදා­ර­ත්වය ද ගම්භී­ර­ත්වය මෙන් ම එහි සිසි­ලස සෙවණ, වන සෙන­සුන පිළි­බඳ මහා කියැ­වී­මක අරු­ත්බර පෙර­ව­ද­නක් බඳු ය.

දකුණු පළාතේ ගාලු දිස්ත්‍රි­ක්කයේ ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය ලේකම් බල ප්‍රදේ­ශයේ වතු­රු­විල කහ­දූව ග්‍රාමියේ මොරං­කන්ද වැනි රම­ණීය කඳු යායක් ආශ්‍රයේ සොඳුරු ගුලන කන්ද වන අරණ ස්පර්ශ කර­මින් වතු­රු­විල නම් වන වන­වාස සංඝ මූල­ස්ථා­නය සුසැදී තිබේ.

අක්කර 80 ක් පමණ වන පෘථුල ගිරි ශිඛර සොඳුරු වන ගහ­න­යක් තුළ පිහිටි ඉතා දර්ශ­නීය ස්වාභා­වික පරි­ස­රය වන සෙන­සුන මඟින් තව තවත් උද්දී­ප­නය කර­වන සුලු ය.

මෙම ස්වාභා­වික පරි­ස­රය විසින් අාරණ්‍ය සේනා­ස­නය සිත්තම් කර ඇත්තේ සෞම්‍ය වූ සැදැ­හැති වර්ණ­යෙනි. ඒ නිසාම මෙය නොමැ­කෙන සුලු සදා­ත­නික බොදු සිතු­ව­මක් බවට පත් වී තිබේ.

මේ වනය ආශ්‍රිත ගුලන කන්ද මධ්‍යයේ ස්වාභා­වික ගල්ලෙන් 10 ක් පමණ ද සාදා සකස් කළ කුටි 60 ක් පමණ රූකඩ මූල, තුරු වදුලු අතරේ සොබා­දම් මාතා­වගේ අව­වා­ද­යන්ට කීකරු වෙමින් නිමවා තිබේ. වාහ­ල්ක­ඩින් ඇතුළු වී පෙත් මඟ දිගේ ඇවිද විත් පිවි­සෙන භූමිය උත්ස­ව­ශ්‍රී­යෙන් සැරසූ පුළුල් වේදි­කා­වක් මත තැබූ කලා කෘති­යක් බඳු ය.

මුලින් ම අප පිළි­ගැ­නී­මට පෙර­මඟ බලා සිටින්නේ පෙර­හර කර­ඬුව දරා සිටිනා හස්ති රාජ­යෙකි. මෙහි විශේ­ෂ­ත්වය වන්නේ රළු ස්වාභා­වික ගල් කුළක් මතු පිට උචිත ලෙස සුරු­වම් ලෙස සක­ස­මින් මෙම හස්ති­රා­ජයා නෙළා තිබීම ය.

මදක් එපි­ටෙන් රෝප­ණය කර ඇති බෝධීන් වහන්සේ ද සමී­පයේ ඇති දළදා මැදුරේ පත්ති­රි­ප්පුවේ ආකෘ­තිය ද එකතු වන දර්ශ­නය වතුරු විල වන සෙන­සු­නෙහි අන­න්‍ය­තා­ව ලකුණු කරනා එක් ප්‍රබල සල­කු­ණකි.

පිරි­වෙන සහිත තෙම­හල් ධර්ම ශාලාව ද, භාවනා මධ්‍ය­ස්ථා­නය ද මධ්‍යයේ ඇති බුදු මැදුර මෙන් ම උපෝ­ස­තා­ගා­රය, වතු­රු­විල ඥානා­නන්ද මහා නා හිමි කෞතු­කා­ගා­රය ද වතු­රු­විල වන­වාස සංඝ මූල­ස්ථා­නයේ සුවි­ශේෂ වූ අභි­මා­නයේ පංගු­කා­ර­යන් ය.

පිය­ගැට පෙළ නැග ගිය පසු දකි­න්නට ලැබෙන ධවල ස්තූපය තීව්‍ර­තා­ව, තව තවත් වර්ධ­නය වන්නේ පසු බිම වසා සිටින, සේ වන ශෛල­මය පුව­රුව නිසා ය.

මේ සියලු ඉදි­කි­රීම් අභි­බ­වන ගල්කු­ළක් මත කළු ගලින් නෙළූ බුදු පිළිම වහන්සේ ලාංකේය බුදු පිළිම නිර්මා­ණයේ දැවැන්ත අභි­යෝ­ගා­ත්මක විජ­ය­ග්‍ර­හ­ණ­යක සංකේ­ත­යක් වශ­යෙන් හඳුන්වා දීමට මැළි නොවෙමි.

එය මේ සිය­වසේ පම­ණක් නොව සිය­වස් කීප­යක කාල පරා­සය තුළ ලාංකේය ශෛල­මය බුද්ධ ප්‍රතිමා නිර්මා­ණයේ විස්මිත ඵල­යක් ලෙස නම් කිරී­මට පුළු­වන.

පාරි­ස­රික මෙන් ම කාල විලෝ­ප­න­යක් තුළ දී වුව නොසැ­ලෙන ශත වර්ෂ ගණ­නා­වක් ඉදි­රි­යට රැගෙන යන මහා ගල්කු­ළක් ඇසුරේ නිර්මිත වූ ශෛල­මය බුදු පිළිම වහ­න්සේගේ තිර­සාර පැවැත්ම, ඉදිරි අනා­ගත පර­ම්පරා ගණ­නා­වක් පුරා සර්ධා සම්ප්‍ර­යුක්ත බැති සිතට පූජෝ­ප­හා­ර­යක් ම වනු නියත ය.

මීට වසර දහස් ගණ­නා­ව­කට එපිට අනු­රා­ධ­පුර පොලො­න්නරු යුග සුප­හන් කළ, සැදැ­හැති ලකුණ සම­ඟින් කලා­ත්මක කළ, සමාධී, තොලු­විල, අවු­කන මෙන් ම ගල්වි­හාර වැනි ශෛල­මය බුදු පිළිම වහ­න්සේලා පිළි­බඳ විම­සී­මේදී ඉති­හාස කියැ­වීම ඒ ඒ යුග­යන්හි පසු­බිම් කථ­න­යක් සම­ඟින් ඓති­හා­සික සොඳුරු ඉසව් වෙත අපව රැගෙන යන්නේ ය. එසේ බෞද්ධ සංස්කෘ­ති­යෙන් පෝෂ­ණය වන බොදු උරුම අතර රැදෙ­මින් අප ලබන්නේ ආඩ­ම්බර සතු­ටකි. ඒ යුග­යන්හි තිර­සාර සන්නි­වේ­දන ඌන­තාව නිසා ඒ අප්‍ර­මාණ ඉති­හා­සය අපට කියවා ගන්නට ලැබෙන්නේ අනු­මාන වශ­යෙනි.

එහෙත් වර්ත­මාන තාක්ෂ­ණික දියු­ණු­වත් සමඟ සන්නි­වේ­ද­නයේ විශ්ව­ස­නී­ය­ත්වය විසින් අනා­ගත ලෝක­යට වර්ත­මා­නය නිශ්චි­තව ම කියැ­වී­මට හැකි­වනු ඇත.

එදාට ඒ පුරා­වෘ­ත්තිය කියැ­වී­මට අනා­ගත මිනිසා පිය­වර ඔස­වන්නේ කොර­ව­ක්ගල්, සඳ­කඩ පහන්, සිංහ­රූප, ගජ­සිංහ රූප පසු­ක­ර­මින් ගල් පඩි 55 ක් පමණ නැඟ, සළ­ප­තල මළු දෙකක් ද පසු කළ විට හමු­වන අඩි 42 ක් පමණ උස් වූ මහා කළු ගල් පර්ව­ත­යක් කීකරු කර ගනි­මින් කළ අවු­කන බුද්ධ ප්‍රති­මාවේ ආකෘ­ති­යෙන් නිම කළ වතු­රු­විල ශෛල­මය බුදු පිළිම වහන්සේ හරහා ය. 2009 වසරේ ආරම්භ කළ පිළිම වහන්සේ නිර්මා­ණය නිම වූයේ 2016 වසරේ දී ය.

ඓති­හා­සික ජාතික සංස්කෘ­තික උරු­ම­යන් සමඟ ඒ ඒ යුග නියෝ­ජ­නය කළ රජ­ව­රුන්ගේ නාම­යන් ඉති­හාස ගත වී තිබේ.

මෙහි විශේ­ෂය වන්නේ වතු­රු­විල පිළි­ම­ ව­හන්සේ පිළි­බඳ ඉති­හාස කියැ­වීමේ දී සෙල් ලිපි­යක ගලේ කෙටූ අක්ෂර මෙන් විශේ­ෂිත නමක් සට­හන් වීම ය.

ඒ නාමය නම් වත්මන් වන­වාස සංඝ මූල­ස්ථා­නා­ධි­පති වන වාස නිකායේ අනු­නා­යක මහ­කන්දේ රත­න­පා­ලා­භි­ධාන නාහිමිපාණන් වහන්සේ ය.

මහා සෙල්කුළ මත මේ ශෛල­මය පිළිම වහන්සේ නොනැසී පව­තින තාක් කල් ඒ නාමය ද නොනැසී පව­තිනු නියත ය.

එයින් සනාථ වන්නේ මහා­මේ­රු­වක් තරම් වූ අධි­ෂ්ඨා­නයේ ශක්තිය, ප්‍රාති­හාර්යක් බඳු සක්‍රීය ව්‍යායා­ම­යක ඵල­යයි.

යෝධ කාර්ය කළ ඈත අතීත ගමන් මඟ හිස් තැන් තබ­මින් හෝ නොනැ­වතී ගමන් කළ වග ද, මේ අසි­රි­මත් පූජ­නීය නිර්මා­ණය සාර්ථක වූයේ අරි­හත් ධජය සතු මහා බලය නිසා බව ද අනා­ගත මිනි­සාට පහදා දෙනු නියත ය.

මෙවන් අභි­යෝ­ගා­ත්මක කාර්ය­ය­කට අත තැබී­මට පවා ශක්තිය - ධෛර්ය ලැබෙන්නේ. ශ්‍යාමෝ­පාලී වන­වාස නිකායේ සංඝ මූල­ස්ථා­නය සතු වූ කීර්ති­නා­මය නිසාය. සඳුන් වෘක්ෂ­යක් සේ වන එහි අර­ටුව බඳු වූ අප­වත්වී වදාළ බෝධි­සත්ත්ව ගුණෝ­පේත වතු­රු­විල ඤාණා­නන්ද මහානාහිමිපාණන් වහන්සේ ‍‍ගේ සදා­නු­ස්ම­ර­ණීය නාමයේ වන ගෞර­ව­නීය පූජ­නී­ය­ත්වය නිසා ය.

මෙම වන­වාසී සංඝ මූල­ස්ථා­නය ස්ථාපිත වන්නේ 1953 වසරේ දී ය.

විහා­ර­ස්ථා­න­යක වැඩ වස­මින් සිටි­යදී ඒ පිළි­බඳ කළ­කි­රී­මක් ඇති වීමෙන් වතු­රු­විල ඤාණා­නන්ද හිමි­පා­ණන් වහන්සේ කල්පනා කළේ මහණ දම් පිරී­මට නියම මාර්ගය නම් වන ගත වීම බව ය. මේ වන විට උන්ව­හ­න්සේගේ වයස අවු. 29 කි.

ඒ අනුව කළු­ගල අාරණ්‍ය සේනා­ස­න­යෙන් ඇර­ඹුණු පිවි­තුරු භික්ෂු ජීවිත ගමන අලි කොටි වග වළ­සුන් පිරි මඳු­නා­ගල ආරණ්‍ය සේනා­ස­නය දක්වා රැගෙන ගොස්, අව­සා­නයේ ගුල­න­කන්ද රම­ණීය වන­සෙ­න­සුන වෙත කැඳ­වා­ගෙන එනු ලබයි. එතැන වන­වාසී භික්ෂු මූල­ස්ථා­නය ස්ථාපිත වීමෙන් ලාංකීය සාසන ඉති­හා­සයේ එක් සන්ධි­ස්ථා­න­යක් සට­හන් කර තබයි.

කලින් කල ශාස­නික පරි­හා­නිය සිදු­වන විට නැවත එය ගොඩ නැංවීම වෙනු­වෙන් කැපවූ භික්ෂූන් වහන්සේ අතර බහු­ත­ර­යක් සංඝ රාජ­යා­ණන් වහ­න්සේලා බිහි­වන්නේ වන­වාසී භික්ෂූන් වහ­න්සේලා අත­රිනි.

දිඹු­ග­හල මහා කාශ්‍යප (රා.ව. 1165 - 84) ආරණ්‍ය මේධං­කාර (රා.ව. 1245 - 58) පළා­බ­ද්දල ධම්ම­කිත්ති (රා.ව. 1275 - 1315) දෙව­න­ගල වන­ර­තන (රා.ව. 1342 - 56) සීල වංශ ධම්ම­කිත්ති (1356 - 80) දේව­ර­ක්ඛිත ජය­බාහු ධම්ම­කිත්ති (රා.ව. 1380 - 98) සංඝ පීතෘන් වහ­න්සේලා ඒ අතර වෙති.

මෙසේ දිගු ගමන් මාර්ග­යක වසර 500 ක් පමණ අතු­රු­දන්ව පැවැති වන­වාසී ප්‍රති­පත්ති ශාස­නය ස්ථාවර තත්ව­යට පත්ක­ර­ල­මින් ශ්‍රී ලංකා ශාසන වංශය නැවත බැබ­ළ­වී­මට පුන­ර්ජී­වය ප්‍රධා­නය කළේ වතු­රු­විල ඤාණා­නන්ද මහ නා හිමි පාණන් ය.

අප්‍ර­මාදී විහාරී ව ග්‍රන්ථ විද­ර්ශනා ධූර ද්විත්වයේ වැඩ වසන භික්ෂූන් වහ­න්සේට අවශ්‍ය අධ්‍යා­ප­නය හා පුහු­ණුව වෙනු­වෙන් ශ්‍රී ඤාණා­නන්ද වන­වාස පිරි­වෙන ගොඩ නැගෙන්නේ 1961 වස­රේදී ය.

මෙසේ වතු­රු­විල ඤාණා­නන්ද මහා නා හිමිපාණන් වහන්සේ විසින් වන­වාස සංඝ මූල­ස්ථා­නය තුළ වන­වාසී භික්ෂූන් වහන්සේ වෙනු­වෙන් ඉදි­කළ අධ්‍යා­ප­නා­ය­ත­නය නිසා පර්යප්ති, ප්‍රති­පත්ති, ප්‍රති­වේද බෞද්ධ ශාස­නය වැඩී අතු ඉති විහිදී මල් පිපී ඵල දරා දීප ව්‍යාප්ත වීමට මඟ හෙලි කිරීම බෞද්ධ ලෝක­යට කළ අති මහත් උදාර පුණ්‍ය කර්ම­යකි.

වතු­රු­විල වන­වාස සංඝ මූල­ස්ථා­න­යට අනු­බ­ද්ධව මේ වන විට අාරණ්‍ය සේනා­සන 150ක් පමණ දීප ව්‍යාප්තව පව­තින අතර මේ යටතේ යෝගා­ව­චර භික්ෂූන් වහ­න්සේ 2000ක් පමණ ශාස­නා­භි­වෘ­ද්ධිය වෙනු­වෙන් භික්ෂු සංස්ථාව පෝෂ­ණය කිරීම උදාර පිං කමකි.

වතු­රු­විල මහා නා හිමි­පා­ණන්ගේ ඒකා­යන අපේ­ක්ෂාව හඳුනා ගැනී­මට නා හිමි­පා­ණන් වහන්සේ තම දින පොතෙහි ස්වීය අත් අකු­රෙන් සට­හන් කළ වදන් පෙළක් වෙත නෙත නැව­තෙයි. මෙම සට­හන තබා ඇත්තේ 1944 දීය.

“............පැමිණි විශාල ජන­කාය මැද පුරාණ චාරි­ත්‍රා­නු­කූ­ලව දස­සිල් පිරි­ස­කට කර්ම­ස්ථාන ග්‍රහ­ණය කර­වීමි. ලොවුතුරා බුද්ධ රාජ්‍ය­යට පැමිණ අව­සාන වශ­යෙන් අප්‍ර­මාණ සත්ව සමූ­හ­යාට කර්ම­ස්ථාන දීමට ශක්තිය ලැබේ­වායි පැතීමි”

මෙයින් හැ‍ඟෙන්නේ ඤාණා­නන්ද මා හිමි­පා­ණන් වහන්සේ ලොවුතුරා බුද්ධ­ත්වය අපේ­ක්ෂා­වෙන් තම පිවි­තුරු භික්ෂු ජීවි­තය හැඩ­ගස්වා ගත් බව ය.

උන්ව­හ­න්සේගේ චරි­තා­ප­දා­නය කියැ­වීමේ දී දිවි මඟ වටා පෙළ ගැසෙන ඇතැම් අත්දැ­කීම් ප්‍රාති­හා­ර්යන් සේ විශේ­ෂිත වෙයි.

මහානාහිමි­පා­ණන් වහන්සේ වන සෙන­සු­නෙහි වැඩ­සිටි ලෙන් කුටිය අද කෞතු­කා­ගා­ර­යක් බවට පරි­ව­ර්ත­නය වී තිබේ. ඒ තුළ උන්ව­හ­න්සේගේ ජීව­මාන ප්‍රමා­ණයේ පිළි­රු­වක් නිර්මා­ණය කර තිබේ. පරි­හ­ර­ණය කළ මෙව­ලම් ද සැත­පුණු ගල් ඇඳ ද කෞතුක භාණ්ඩ අතර රැඳී පුද හර සර ලබයි.

වතු­රු­වි­ලෙන් ගලන දියෙන් සතර දිග­න්තය සිසාරා සිය ගණ­නින් සුසැදි ජල විල් තලයේ තඹුරු පිපෙන්නේ අව­ර­ගි­රෙන් බැස නොයනා සද­හම් දින­සුරු නිසා යැයි සිතෙයි.

විශේෂ ස්තුතිය - එච්.එම්. සිරි­දාස මහතා
චිත්‍ර ශිල්පී - කේ. විජේ­රත්න මහතා

Comments