
කාලය විසින් සමහරු වියපත් කරනු ලබති; සමහරු තිරිහන් කරති. මේ සියල්ල සිදු කරන කාලය අයත් වන්නේ කාලත්‍රයෙන් කොයි කාලයටද? මේ ප්‍රශ්නය ගැන කතා කළ තැනකදී කෙනෙකු කීවේ පළමුව කාලය යන්න විග්‍රහ කළ යුතුය කියාය. දැන් තවත් ප්රශ්නයකි. කාලය යනු කුමක්ද? මෙය අසා සිටි සගයෙක් හයියෙන් සිනාසිණි.
“අපි ආවේ සෙට් වෙන්නනේ. මේ මොකක්ද වෙන්නේ මේක උසාවියක් නොවෙයි. එසේ කී සගයා සිංහල ගුරුවරයෙකි. ඔහු බොහෝ ගුරුවරුන් මෙන් ගතානුගතික නැත. බුද්ධිමතෙකි. ඇසූ පිරූ තැන් ඇත්තෙකි. අප තිදෙනෙකි. ගුරු හෙවත් බ්‍රහස්පති හැර අනෙක් දෙදෙනාම නීතිඥයන්ය.
“මේකා අපට හින්ට් පාස් කරනවා” මගේ යාළුවා කීවේය.
“නෑ මචං අපි ආවේ පොඩ්ඩක් සෙට් වෙන්න. උඹලා මේ මොළේ කොළොප්පම් වෙන තර්ක මතු කරන්න හදනවා. බ්‍රහස්පතිගේ ඒ කතාව ඇසූ අප දෙදෙනාටම සිනා පහළ විය.
“හරි මචං උඹ රස්සාවට උගන්නනවා කියලා කරන්නේ ළමයින් ගෙන් ප්‍රශ්න අහන එකනේ. අපට මේකට උත්තරයක් දීපන්. උත්තරය හරි වුණත් වැරදි වුණත් අපි උඹව පේල් කරන්නේ නැහැ.” “මොකක්ද ප්‍රශ්නය”ගුරුතුමා විමසීය.
“අපේ කතාබහ අතර මතු වෙච්ච දෙවන ප්‍රශ්නය..... කාලය යනු කුමක්ද?” මගේ උගත් මිත්‍රයා ප්‍රශ්න විචාරකයකුගේ උජාරුවෙන් කතා කළේය.
“ප්‍රශ්න දෙකම ගන්නම්. එතකොට තමයි මට ලෙහෙසි.” එසේ කී බ්‍රහස්පති සිනාසිණ.
“මේ හදන්නේ අපට පන්තියක් කරන්න වගේ” එසේ කී මම සිනාසුණෙමි.
“කාලයට සිද්ධ වෙන්නේ කුමක්ද? කාලය යනු කුමක්ද? මෙතන ප්‍රශ්න දෙකක් නැහැ. තියෙන්නේ එකම ප්රශ්නයයි.”
“එහෙම කොහොමද ප්‍රශ්න පත්‍රය සංශෝධනය කරන්න දෙන්න බැහැ.” මගේ මිතුරා සිය විරෝධය පළ කළේය.
“හරි එහෙනම් පැහැදිලි කිරිමක් ඕනැ” ඒ ගුරුතුමාය.
“ඔව් කියන්න” මගේ යාළුවා ඉස්සර විය.
“මට කියන්න කාලය නාම පදයක්ද?”
“යකෝ මේකා ඒකවත් දන්නේ නැහැනේ. ඔව් කාලය යනු නාම පදයක්”
“ඒක ස්ත්‍රි ලිංගිකද? පුරුෂ ලිංගිකද?”
“උඹ අපට කෙළින්න එන පාටයි. රජෝ සෙල්ලම් බැහැ තේරුණාද?
“තුන්වෙනි ප්‍රශ්නය. කාලය අයිති අතීතයටද? වර්තමානයටද? අනාගතයටද?” මගේ යාළුවා මා දෙස බැලුවේ උසාවියේදී නීති තර්කයක් අතර හිරවූවාක් මෙනි.
“උඹලා හිතන්නේ ගුරුවරු හරක් කියලා. නෑ මචං සමහර විට පොඩි එවුන් අපිව නාවන හැටි දන්නේ අපි විතරයි.” එය ඇසූ අප දෙදෙනාටම සිනහ පහළ විය.
“මම කතාවක් කියන්නම්. මගෙ මුල් පත්වීම ඈත ගමක ඉස්කෝලයකට. පත්තිය හතර හරි පහ හරි වෙන්න ඕනැ. එක ළමයෙක් ගණින කොට හරි වෙනස්.
“ඒ කීවේ...” මගේ මිත්‍රයා විමසීය.
“ ඒ ළමයා දහය ළඟට කියන්නේ එකොළහ නොවෙයි. දහ එකයි කියලා.”
“වන්ඩපුල්. ඉතින් දොළහට මොකක්ද කියන්නේ
“දහ එක නම් දහ දෙක වෙන්න ඕනෑ”මම ඌන පූරණය කළෙමි.
“උඹ හරි. ඒ ළමයා දහතුනට නම් දහතුන කියලා නම් කියනවා” බ්‍රහස්පති ඒ ටික කීවේ ඉතා සන්සුන්වය.
“ඉතින්” මම නැවත විමසිමි.
“ටික කාලෙකින් මට මාරුවක් හම්බ වුණා. මම ආවා”
“ඒ ළමයා පස්සේ ගණිත මහාචාර්ය කෙනෙක් වෙන්න ඇති”
“මොන පිස්සුද. ඒ ඉස්කෝලේ ළමයි වයස දහසය දහ හත වෙනකොට ඉස්කෝලේ එන්නේ නැහැ. ඒ පළාත්වල ඉස්කෝලේ කියන්නේ වැස්සට ගොඩ වෙලා ඉන්න තැනක් වාගේ”
ඒ කතාව ඇසූ අප දෙදෙනාට අනේ පව් කියා හිතුණ් නැත.
“ඉතින් උඹ අර දරුවා එහෙම කීවාම නෙළන්න ඇති.”
“නෑ පන්තියේ අනික් එවුන් හිනා වෙනවා. මේ ළමයා විශ්වාසයෙන් උත්තර දිලා ඉඳ ගන්නවා. එච්චරයි. මම තනියම ඒ ළමයා ගෙන්නලා සාමාන්‍ය විදියට ගණන් කරන්න කියලා පුරුදු කළා. එච්චරයි.” ඊට පස්සේ අපි ටික වෙලාවක් කතා නැතිව හිටියා. ඊට පසු අපෙන් කවුදෝ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.
“ඇයි ඒ ළමයා එහෙම වුණේ?” ඒ ප්‍රශ්නය අහලා බ්‍රහස්පති හිනාවුණා.
“මචං ඒ ළමයා නිවැරදියි. ඒක මට තේරුණේ පස්සේ”
“ඒ කීවේ”
“ඇයි හිතපල්ලා විස්සයි විසි එකයි තිහයි තිස් එකයි. අනූ එකයි අනූ දෙකයි. එහෙම එකේ දහය ළඟට විතරක් කොහොමද එකොළහ දොළහ වෙන්නේ”
“ඒ කියන්නේ උඹ ඒ දරුවාට ඉගැන්නුවේ සීයේ ඉඳලා පල්ලෙහාට ගණන් කරන්න වෙන්න ඇති” “එහෙමද?” නීතිඥ සගයා එසේ ඇසූ කල බ්‍රහස්පති කීවේ කන පැලෙන්න ගහනවා කියාය. එසේ කී ඔහු උන් තැනින් නැගිට මදක් ඈතට ඇවිද ගොස් නැවත පැමිණ අසුන් ගත්තේය.
“ඒක ගැන මට හිතුණේ එහෙම නොවෙයි”
“එහෙනම්...”
“හිතපල්ලා ඉංග්‍රිසි ක්‍රමය ගැන. ඉලවන් ටුවෙල් ...එච්චරයි.”
“ඒ කියන්නේ පොඩි එකා” මම එසේ අසන විට බ්‍රහස්පති අතින් මගේ කට වැසීය.
“උඹ කියන්න හදන්නේ ගෙදර ඉංග්‍රිසි කතා කරනවා කියලා වෙන්න ඇති. ඒකත් හරියට සියයේ ඉඳන් පහළට ගැන්නා වගේ කතාවක්නේ”
“එහෙනම් ඇයි අර දරුවා දහ එකයි දහ දෙකයි කීවේ” මම එසේ ඇසුවේ සත්තකින්ම වෙන කියන්න යමක් කටට ආවේ නැති නිසාය.
“මට ඒ ගැන තියෙන්නේ නිගමනයක් විතරයි” බ්‍රහස්පති සාවධානව එසේ කීය. අපි ඔහුට කතා කරන්න හැර බලා සිටියෙමු. හේතුව අප අතර සිටි එකම ගුරුවරයා ඔහු නිසා විය හැකිය.
“නිගමනයක් කියන්නේ බොහෝ විට උත්තරයක් වෙනුවට ලැබෙන විරාමයක්. ඒක හරියටම අපහැදිලි තැනකදී අපි කියන්නේ, ‘වෙන මොකක් හරි වෙන්න ඇති‘කියලා. ආන්න ඒ වාගේ” බ්‍රහස්පති එහෙම කී විට මගේ මිතුරා “යුරේකා” කියා අත්පුඩි ගැසීය. කාලය පිළිබඳ ප්‍රශ්නය මතු කළේද ඔහු විසිනි.
“මොකක්ද හොයා ගත්තේ” අපි දෙදෙනාම එකවර ඇසීමු.
“උඹ ඇහුවා නේද කාලය අයිති මොන කාලයටද කියලා?”
“ඔව්”
“කාලය අයිති වර්තමානයට”
“මොකක්ද සමීකරණය” බ්‍රහස්පති විමසීය.
“අපි තුන් දෙනාම මෙතෙක් ජීවත් වුණේ අතීතයේ අර ළමයා සිටිය පන්තියේ. අපට මතුවන ප්‍රශ්නය අනුව තමයි කාලය තීරණය වෙන්නේ. හීන දකින කොට ප්‍රේම කරන කොට කාලය අපව අනාගතයට ගෙනියනවා. ඔන්න දැන් අපි වර්තමානයේ මෙතන සෙට් වෙලා.”
අදට මෙතෙකින් නිමියේය.
චන්ද්‍රසිරි සෙනෙවිරත්න