ශ්‍රී ලංකාවේ පළ­මු­ව­රට පළ වන ඕෂෝ ජීවන චරි­තා­ප­දා­නය - 12 | Page 3 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ පළ­මු­ව­රට පළ වන ඕෂෝ ජීවන චරි­තා­ප­දා­නය - 12

මගෙ ළමා වියේ මුල් කාලෙ වැඩි හරියක් ම ගෙවිල ගියේ මවු පාර්ශ්වේ ආච්චියි සීයයි එක්ක. මං ඩාන්ටේගෙ පාරාදීසෙට ගියා වුණත් ආච්චියි, සීයයි එක්ක ගත කරපු ඒ යුගේ නං මට අමතක වෙන්නෙ නෑ. ඒක පුංචි ගමක්. මිනිස්සු දුප්පත්. ඒ වුණාට සීය නං බොහොම ත්‍යාගශීලි කෙනෙක්. දුප්පත් වුණාට ත්‍යාගශීලීත්වයෙන් පෝසත්. සීය තමන් ළඟ තිබුණු ඕනෑ ම දෙයක් ඕනෑ ම කෙනෙකුට දීපු ජාතියෙ කෙනෙක්. කිසි කෙනෙකුට නෑ බෑ කියනව මං අහල නෑ. මං දීමේ කලාව ඉගෙන ගත්තෙ සීයගෙන්.

මං සීය ඇමතුවෙ ‘නාන’ කියල. ඒක තමයි ඉන්දියාවෙ මුනුබුරෙක් ‍තමන්ගෙ අම්මගෙ තාත්තව ආමන්ත්‍රණය කරපු නම. අම්මගෙ අම්ම වෙච්ච ආච්චිට කිව්වෙ ‘නානි’ කියල.

‘නාන කොහොමද ඔයා මේ වගේ ලස්සන බිරිඳක් හොයා ගත්තෙ?’ මං සීයගෙන් අන්න එහෙම අහන්න පුරුදු වෙලා හිටිය. ඒකට හේතුවක් තිබුණ. අපේ ආච්චිට තිබුණෙ ඉන්දියානු පෙනුමකට වඩා ග්‍රීක පෙනුමක්. සමහරවිට එයාගෙ ඇ‍ඟේ ග්‍රීක ලේ තියෙන්න ඇති. හූන, මෝගල්, ග්‍රීක් වගේ ම තවත් බොහෝ ජාතිකයො ඉන්දියාවට පහර දීල, යටත් කරගෙන, පාලනය කළා. ඉන්දියානුවෝ ඒ ඒ ජාතිකයන් එක්ක මිශ්‍ර වුණා. ඒ බව අපේ ආච්චිගෙන් හොඳට පෙනුණා. ඇගෙ අඟපසඟ වැඩිය බර වුණේ ග්‍රීක් පැත්තට. ඒ වගේ ම උන්දැ හරිම ශක්ති සම්පන්නයි. නාන මැරුණෙ පනහ පිරෙන්ඩත් කලින්. ඒත් නානි අවුරුදු අසූව පහු කරලත් හොඳ සනීපෙන් හිටියෙ. ඒ වයසෙදි වුණත් උන්දැ මැරෙයි කියල කවුරුත් හිතුවෙ නෑ. මං ආච්චිට පොරොන්දුවක් දීල තිබුණ උන්දැ මැරිච්ච දවසට එනව කියල. හැබැයි ඒක මං අ‍පේ පවුලෙ අය දකින්ඩ එන අන්තිම ගමන වෙන්නත් පුළුවනි. උන්දැ 1970 දි මිය ගියා. මං වෙච්ච පොරොන්දුව ඉෂ්ට කළා.

මගෙ මුල් ළමා වියේ අම්ම විදිහට මං දැනගෙන හිටියෙ ආච්චිවයි. අතීතාවර්ජනයෙ යෙදෙනකොට ආච්චි තමයි කේන්ද්‍රයෙ ඉන්නෙ. අම්ම ඉන්නෙ ඉන් පස්සෙ. මං වැඩුණෙ එක්තරා විලාසිතාවකට අනුවයි. ඒකට පිහිට වුණේ ආච්චි. සීය මට සෙනෙහස පෑවට එයාට නිතර මගෙ උදව්වට එන්ඩ ශක්තියක් තිබුණෙ නෑ. එයා හැම තිස්සෙ ම ආච්චිට බයෙනුයි ජීවත් වුණේ. සීය එක්තරා විදියකට තමන්ගෙ බිරියගෙන් වද වින්ද ස්වාමි පුරුෂයෙක්. ඒකයි ඇත්ත. එයා බිරියට බය වෙච්ච එකට මං මොකද කරන්නෙ? සියේට අනූනවයයි දශම අනූනවයක් ම ස්වාමිපුරුෂයො එහෙම තමයි.

මීට අවුරුදු 99 කට කලින් පැවතිච්ච ඉන්දියානු සමාජයෙ ජීවත් වුණු නානිට පිරිමියකු එක්ක ආදරයෙන් බැඳීමේ ආත්ම ශක්තිය තිබුණ කියන එකත් පුදුමයක්. එයා අවුරුදු 24 වෙනකනුත් කසාද නොබැඳයි ඉඳල තියෙන්නෙ. ඒක කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. එච්චර කාලයක් කසාද නොබැඳ උන්නෙ ඇයි කියල මං වතාවක් උන්දැගෙන් ම ඇහුව. එයා ඒ තරමට ම සුන්දර ගැහැනියක්. කජුරාවො ප්‍රාන්තයෙ චතර්පූර් රජ්ජුරුවො වුණත් ආච්චිත් එක්ක ආදරෙන් බැ‍ඳෙන්න තිබුණ නේද කියල මං උන්දැගෙන් ඇහුවෙ විහිළුවට වගේ.

මං ඉපදුණේ ජෛනාගමේ කුඩා නිකායකට අයත් පවුලක. ඒ නිකායෙ නායකයට මට වඩා ටිකයි පිස්සු අඩු. මට වඩා වැඩියි කියල කියන්ඩ බෑ.

මං මේ කියන්ඩ හදන්නෙ ඔහුගෙ පොත් දෙකක් ගැනයි. ඒව ඉංගිරිසි භාෂාවට තියා හින්දියටවත් පරිවර්තනය කෙරිල නෑ. ඒව පරිවර්තනය කරන්න බැරි එකයි ඒකට හේතුව. මං නං හිතන්නෙ නෑ ඔහුට කවදාවත් අන්තර්ජාතිකව අනුගාමික පිරිසක් හදාගන්න පුළුවන් වෙයි කියල. ඔහු භාෂාව, ව්‍යාකරණ තියා කිසි දෙයක් විශ්වාස කරන්නෙ නෑ. ඔහු කතා කරන්නෙත් හරියට පිස්සෙක් වගේ. ඔහුගෙ එක පොතක නම ශුන්‍ය සභාව. ඒකෙන් කියන්නෙ හිස්කමේ හැටි. ඒක පිටු කීපෙක පොතක්. ඒත් ඒක ගැස්මක් ඇති කරන තරමට විශේෂත්වයක් ති‍ෙයන එකක්. හැම වාක්‍යයක ම ශුද්ධ ලියවිල්ලක් අන්තර්ගතයි. නමුත් තේරුම් ගන්න හරි ම අමාරුයි. මුලින් ම තියෙන්නෙ මාර්ටින් බූබර් (ඕස්ට්‍රියානු - ඊශ්‍රායල් යුදෙව් චින්තකයෙකි) හසීඩ් පවුලක (ඇමෙරිකාවේ සාම්ප්‍රදායික යුදෙව් පවුලකි) ඉපදුණා කියනව වගේ කතාවක්. මාත් ඉපදුණේ මේ පිස්සු මනුස්සයගෙ සම්ප්‍රදායෙ. ඔහුගෙ නම තරාන් - තරාන්. ඒත් ඒක හැබෑ නම නෙමෙයි. හැබැයි කිසි කෙනෙක් ඔහුගෙ නියම නම දන්නෙ නෑ, තරාන් - තරාන් කියන එකේ සාමාන්‍ය තේරුම ‘ගලවා ගන්නා’ කියන එකයි. ඒක ඔහු‍ගෙ නම බවට පත්වෙලා. මං පොඩි කාලෙ ඉඳන් ඒ ගීතිකා මුමුණල ති‍ෙයනව. ඔහුගෙ ගායනාවලට කන්දීලා ති‍ෙයනව. ඒවයෙ තේරුම මොකක්ද කියල හිතාගන්ඩ බැරුව ඉඳලත් ‍තිෙයනව. නමුත් දරුවෙක් කවදාවත් තේරුම් හොය හොයා ඉන්නෙ නෑ. ගීතය ලස්සනයි. රිද්මය ලස්සනයි. නැටුමත් ලස්සනයි. ඉතින් ඒ ඇති. යමෙකුට මෙවැනි මිනිසුන් තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ වැඩුණු පසුයි.

මම තරාන් - තරාන් තේරුම් ගත්ත. බුද්ධිමතකු විදියට නෙමෙයි, සාන්දෘෂ්ටිකවයි. එහෙමත් නැත්නම් අනුභූතිකවයි. ඒ විතරක් නෙමෙයි මං එකිනෙකට වෙනස් සම්ප්‍රදායයන් රාශියක් තේරුම් අරන් තියනව. එහෙම වෙලා තියෙන්නෙ මං ඒ සම්ප්‍රදායයන් ඇතුළත් සමාජවල ඉපදිලා නැති නිසයි. තේරුම් ගන්න ගියා ම ඕනැ ම කෙනෙකුට පිස්සු හැදෙන හුඟක් පිස්සු මිනිස්සුන්ව මං තේරුම් අරන් තියනව.

තරාන් - තරාන්ට ඉන්නෙ අනුගාමිකයො සුළු පිරිසයි. දාස් ගාණක් වගේ. ඔවුන් ඉන්නෙ ඉන්දියාවෙ මැද හරියෙ. ඔවුන්ගෙ සංඛ්‍යාව එච්චර ම අවම නිසා ඔවුන් තමන් තරාන් - තරාන් අනුගාමිකයන් කියල කියන්ඩත් බයයි. ඒ නිසා ඔවුන් තමන් හඳුන්වා ගන්නෙ ජෛනයන් හැටියටයි. ඒත් ඔවුන් අදහන්නෙ ජෛන මහාවීර නෙමෙයි. තමන්ගේ ආගමේ නායක තරාන් - තරාන්වයි. ඒක කරන්නෙත් රහසේමයි.

ලබන සතියට... 

Comments