සිත් සන­සන මඩ­කඩ වන සෙන­සුන | Page 3 | සිළුමිණ

සිත් සන­සන මඩ­කඩ වන සෙන­සුන

නුග­ගස ආරු­ක්කුව යටින් අරණ තුළට පිවි­සෙන භික්ෂූන් වහන්සේ

ජනාකීර්ණ නගර පසු කරමින් පැමිණෙන්නෙමි. ගහකොළ විරල සිසිලස නො මැති නගර දනව් ගිනි ගෙන ඇති සෙයකි. හිරුමල කැකෑරෙන මේ ගිනි මද්දහනේ දෙපස සෙවණක් නැති තාර පාර පදමට රත් වී තිබේ. දැන් දැන් දැනෙනා අව් රශ්මිය කොතරම් දැයි කියතොත් වාහන තදබදය අතර, මංසල අසල, සංඥා රතු එළි මැද, මොහොතක් නවතින්නට සිදු වන වාරයක් පාසා දැනෙන්නේ ළිපක් උඩ ඇතිළියක් මත පදමට තැම්බෙන සෙයකි. මේ තරමට පරිසරය ගිනියම් වී ඇත්තේ ඉදිරි දැක්මක්, සැලැස්මක් නැත්තවුන් විසින් සීමිත භූමිය අසීමිත අවශ්‍යතා වෙනුවෙන් පරිභෝජනය කිරීමට පෙලඹෙන නිසා ය. හුස්ම පොද ප්‍රදානය කරනා රුක් දෙවිඳුන්ට කළ වින්නැහියේ පාපයට අපි කාට කාටත් වන්දි ගෙවන්නට සිදු වන දිනය වැඩි ඈතක නොවන බව සිතමින් ගිනි මද්දහනේ පීඩනයෙන් ද වේදනාවෙන් ද පැමිණිය ද නිශ්චිතව ම යන්නේ කොතනට දැයි හැ‍ඟෙන නිමේෂයේ පවා හිතට දැනෙන්නේ සැනසිල්ලකි.

කොළඹ සිට ඉංගිරිය මාර්ගයේ පැමිණෙන්නේ නම් කි.මී. 50 ක පමණ දුරකින් මහ ඉංගිරිය හමුවෙයි. එතැනින් වමට ඇති මාර්ගයේ තවත් කි.මී. 2 1/2 ක් පමණ ගමන් කර හොට්ටියාවත්ත ග්‍රාමයට පැමිණිය යුතු වෙයි.

පෙර දී දැනුණු දාහය හොට්ටියාවත්තට නම් එතරම් අදාළ නොවන සෙයකි. හරිත පැහැ කඳු, ලඳු සහිත ගම්දොර සොඳුරු බව ද සිසිලස ද කලබලයෙන් තොර සංහිඳියාව ද ගම හා ආදරණීයව බැඳී පවතී.

එහෙත් ශීඝ්‍රගාමී නාගරීකරණයේ රකුසු ඇස් තව නොබෝ කලෙකින් හොට්ටියාවත්ත වැනි ගම්දනව් වෙත කෑදර බැල්ම හෙළනු ඇති බවට හැ‍ඟෙන සාධක පෙනෙන විට අනේ! අපොයි! කියා සිතෙයි. හොට්ටියාවත්ත මාර්ගයේ කුඩා පාලම අසල පහළින් දකුණට වනයට දිවෙන පෙත් මඟක් පෙනෙයි. ඒ පෙත් මඟ සැකසී ඇත්තේ මඩකඩ ආරණ්‍ය සේනාසනය වෙතට පිවිසීම උදෙසා ය. ඇත්තෙන් ම පැවසුවහොත් මේ ම‍ඟෙහි වාහනයකට හෝ මෝටර් සයිකලයකටවත් ගමන් කළ නො හැකි ය. වනයක් තුළ අරණක ඇති සැබෑ සුවය විඳීමට එසේ වීම වඩාත් යෝග්‍ය ය.

දැන් මට කලබලයක් නැත. කලබලය සංසිඳුවන සිසිලස ගතට දැනෙයි ළපලු පිරි හරිත පියස හිසට සෙවණකි. අරණ තීර්ථයෙන් ගලා බසිනා නාච්චිමලේ ඇළ ගල්පර සිඹිමින් හෙමිහිට මුමුනන ගීතය අසමින් ගමනට අවතීර්ණ වන්නෙමි.

අනෙක ආකර්ෂණීය බව ද නන්දනීය බව ද වඩවාලන මේ නාච්චිමලේ දිය දහර මඩකඩ ආරණ්‍ය සේනාසනයේ සොඳුරු බව සුරකින අපූරු ලකුණක් බව කිව යුතු ය.

වේගයෙන් දුවන්නට ඉඩක් ‍නො දෙන්නට මේ පරිසර සැකැස්මේ ස්වාභාවය මා හික්මවා තිබේ. දෛනික ජීවිතයේ පුරුද්දට තරමක් වේගයෙන් ඇවිද යන මාගේ දෙපා දැන් හිතුවක්කාර නොවී කීකරු වී තිබෙයි.

විටෙක තැනි පෙත් මඟක, තව තැනකදී පහසුව පිණිස ක්‍රමවත් ව සෑදු සිමෙන්ති පඩි මතින්, තරමක ගල් පඩි අතරින්, මම දැන් සන්සුන් ගමනින් ඇවිද යමි.

දෙපස වෘක්ෂ අතර රැඳි අපූරු නුග ගසක් අතරමඟදී හමුවෙයි. මේ පෙත් මඟ ගමන් කරන්නේ ගසේ මූල පද්ධතිය විසින් සෑදූ ආර­ුක්කුවක් යටිනි.

මේ රුක් රදුන්ගේ විචිත්‍ර ස්වාභාවික සැකැස්ම මඩකඩ ආරණ්‍ය සේනාසනයට අනන්‍ය වූ සංකේතයක් බවට පත් වී තිබේ. එය එසේ වන්නේ චිරාත් කාලයක් තිස්සේ මේ ආරුක්කුව සදන නුග ගස අදත් නො සැලෙමින් යනෙන දනගේ මන බඳිනා බැවිනි.

වනවාසී යෝගාවචර භික්ෂූන් වහන්සේලා වැඩ වසන මඩකඩ ආරණ්‍ය සේනාසනය ගොඩ නංවා ඇත්තේ මඩකඩ මූකලාන නම් වන රක්ෂිතයේය. රක්ෂිතයෙන් අක්කර 50 ක පමණ වපසරියක් ආරණ්‍ය සේනාසනය සඳහා වෙන් කර දී තිබෙයි. බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වූ මඩකඩ ආරණ්‍ය සේනාසනය ශ්‍යාමෝපාලී වනවාස මහා නිකායට අනුබද්ධිත ය.

බටහිර වෛද්‍යවරයකු වශයෙන් වෘත්තියේ නියැළුණු එක් මානව හිතවාදී මාණවකයකු තුරුණු වියේදී ම තම වෛද්‍ය වෘත්තියේ දී ලද අත්දැකීම් නිසා, මේ නිසරු ශෝකය ම පිරි දිවි ම‍ඟේ සැබෑ නිශ්ශෝකී බව සොයා යෑම වෙනුවෙන් එක්තරා දිනෙක, දොස්තර කබායෙන් මිදී කාශාය වස්ත්‍රයට තම ජීවිතය භාර කළේ රන්වල සද්ධාතිස්ස නමින් ය. ගිහිගෙදරින් නික්මී උන්වහන්සේ 1948 වසරේ දී වැඩියේ මේ මඩකඩ මූකලාන වෙතට ය.

එහි විසල් ගල් ලෙනක් උන්වහන්සේ ගේ වාසස්ථානය වශයෙන් තෝරා ගැනිණි. දුෂ්කර වෘත අතර රැ‍ඳෙමින්, නිබඳ භාවනාවේ නියැළෙමින්, සද්ධාතිස්ස යෝගාවචරයාණන් වහන්සේ ව්‍යායාමයක යෙදුණේ මේ නිසල වන අරණ තුළ පිවිතුරු පෙත් මඟ දිගේ ගොස් නිවන් දොරටුව හැර ගැනීමේ උතුම් අපේක්ෂාවෙන් බව හැ‍ඟෙන්නේ, යස ඉසුරු පිරි දිවියෙන් සමුගෙන, සියල්ල අත්හැර දැමීමට තරම් උන් වහන්සේ පරිත්‍යාගශීලී වූ බැවිනි.

මඩකඩ මූකලාන තුළ වූ මේ සෞම්‍ය වෙනස දැහැමෙන් සෙමෙන් වැඩී අද මඩකඩ ආරණ්‍ය සේනාසනය, සකලාංගයෙන් ම පිරිපුන් වී තිබෙයි. රන්වල සද්ධාතිස්ස යෝගාවචරයාණන් අදත් දන්නා හඳුනන ගැමි දනන් හඳුන් වන්නේ අපේ දොස්තර හාමුදුරුවන් වශයෙනි.

එදා දොස්තර හාමුදුරුවන්ට ස්වභාව ධර්මයෙන් තනා දුන් ලෙන් කුටිය අද අපූර්ව සැදැහැති දසුනක් මවනා සේනාසනයේ බුද්ධ මන්දිරය බවට පරිවර්තනය වී තිබෙයි.

ඒ නිසාවෙන් ම පසඟ පිහිටුවා බුදුන් වඳින මේ දෑතට ම දෙවනුව රන්වල සද්ධාතිස්ස නිර්මාතෘ වරයාණන්ට ද වැඳ නමස්කාර කිරීමේ අවස්ථාව උදාවිය.

ගල්පර සහිත සමමිතික නොවන බෑවුම් සහිත භූමියක තල කීපයක් පුරා විහිදෙන සේනාසනය පරිසර පද්ධතියට වින නොකරමින්, ඒකාකාරී තලයක ඇස නොරඳවමින්, හැඩ තල ගොතමින්, ශෝභාවත් ලෙස ගොඩ නංවා තිබේ.

බෑවුම් අතර රැ‍ඳෙන එක් සම බිමක බෝධීන් වහන්සේ ද එයට තරමක් නුදුරින්, පරිසරයට උචිත ලෙසින්, චෛත්‍ය රාජයාණන් වහන්සේ ද වැඩ සිටියි.

ධර්ම ශාලාව, පිණ්ඩපාත ශාලාව, දාන ශාලාව, සම්මුඛ ශාලාව ආදිය එකම පියසක් යට, භූමියේ හැඩ තල හා අනුගත වෙමින්, නිර්මාණශීලී ලෙස ඉදිකිරීමට අපමණ වෙහෙසක් දරා ඇති බවක් පෙනෙයි.

මෙම සම්මුඛ ශාලාවේ සිට දෑස් යොමන විට එතැන් සිට බුදු මැදුර දක්වා ඇති අඩි පාර භූමි අලංකාරයෙන් ශෝභාවත් ලෙස සකසා ඇත්තේ වන පරිසරයට හානි නොකරමින් වීම විශේෂිත වෙයි.

මේ අතර ඇති අස්ථි පඤ්ජරය යථාවබෝධය පිණිස කදිම නිමිත්තකි. මේ නිසරු රඟ මඬලේ වෙස් බැඳ හිස් රැඟුම් රඟන අප කවුරු කවුරුත් නාටකය නිම කළ දාට, වෙන් වෙන්ව හඳුනා ගැනීමට නො හැකි බව මේ අස්ථිපඤ්ජරය පසක් කරවයි.

නීල නුවන් නෙතින් නො බලන, නා දලු තොල් පෙති පා මුතුවන් දත් පෙළින් මද හස නොපානා, අඳුරු දෑස් කුහරෙන් බලා දත් විලිස්සා අපව භීත කරනා අප අපේ ම පොදු හැඳුනුම්පත අප අපට ම විරිත්තන විට සිනා සිසී බලා සිටින්නට නොහැකිව අප සිටින්නේ කොතැන ද, කරන්නේ මොනවා ද, යන්නේ කොතැනට ද ආදී වශයෙන් සිතමින් මේ හුදෙකලා විරාමයේ දී, ටිකක් තනිවී, දිවි පොතේ පිටු පෙරළන්නට සිතෙයි. හුස්ම පොද ඉහළට ගෙන පහළට වැටෙන නිමේෂය පවා තිර නොවන තැනක තිර මරණය මෙනෙහි වන විට ජීවිත පොත පින් පොතක් කරගත යුතු නොවෙදැයි සිතෙයි. භාවනාමය සිතක් හදන්නට හොඳ කමටහනක් ලෙස මෙම අස්ථිපඤ්ජරය කදිම නිමිත්තකි.

මඩකඩ අරණ්‍යයේ යෝගාවචරයාණන් වහන්සේලා වෙනුවෙන් වීරය, උපේක්ෂා, සති, සමාධි, පස්සද්ධි, පීති, ශාන්ත වැනි බුදු වදන් හා සුසැදෙන අරුත්බර නම් වලින් සැදි ලැගුම් කුටි පෙළකි. එයට අමතරව මෙහි ස්වාභාවික ලෙස තැන තැන ඇති ලෙන් කුටි කීපයක් ද දකින්නට ලැබෙයි.

මෙහි අද අරණ්‍ය සේනාසනාධිපති වශයෙන් කටයුතු කරන වනවාසී යෝගාවචරයන් වහන්සේලා අතර සංඝ පීතෘන් වහන්සේ නමකු ලෙස නමක් රඳවාගෙන සිටින, අම්පිටියේ මංගල නාහිමිපාණන් වහන්සේ, රන්වල සද්ධාතිස්ස දොස්තර හාමුදුරුවන්ගේ මඟ යන උන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයකි.

රමණීය සෙනසුනෙහි මෙත් දිය ද රැගෙන ආරණ්‍ය සේනාසනයේ එක් මායිමක් තෙත් කරමින් ගලා හැළෙනා නාච්චිමලේ ඇළ තුළ ‘මහවළ’ අසල දිය දහර වනවාසී භික්ෂූන් වහන්සේලාට පැන් පහසුව සලසයි.

ගැඹුරු ‘මහවළ’ තුළ විවිධ මත්ස්‍යයෝ රාශියක් උපද්‍රවයෙන් තොර ව මෛත්‍රී කරුණා ළයැති භික්ෂූන් වහන්සේලාගෙන් පිරිනැමෙන ආහාරයෙන් ම යැපෙමින් අභය දානයෙන් නිදහස් සුවයෙන් ඔබමොබ සැරිසරති. වනයේ රැ‍ඳෙන සතා සිවුපාවුන්ට ද මේ නිදහස ලැබී තිබෙන්නේ ස්වභාව ධර්මයේ නීතිය ආරක්ෂා කිරීමට සම්බුදු දහමේ විනයෙන් සුපෝෂිත වූ මෙහි වැඩ වසන යෝගාවචරයාණන් වහන්සේලාගේ මෙත් සිතක කාරුණික බවට පින් සිදු වන්නට ය.

මා දැන් මේ අරණේ හෝරා කීපයක් නැවතී සිටි බවක් දැනෙන්නේ බැසයන හිරු ගේ රැස් කැදලි අරණේ වෘක්ෂයන්ගේ අතු ඉති වර්ණ ගන්වමින් සියුම් රටා වියනා දසුන දකිනා විටය. මේ සෞම්‍ය සන්ධ්‍යාව, තව මොහොතකින් පැමිණෙන ගොම්මන් අඳුර විසින් බොඳකර දමනු ඇත. ඉරගල වැටී ඉන්පසුව එළඹෙන්නේ දැඩි අන්ධකාරය ය.

පියඹා යන පක්ෂියකුගේ සුමිහිරි නාදය ඇසෙයි. එය අපට සුමිහිරි නාදයක් වුව, ගොම්මන් කළුවරට බිය වූ පක්ෂියා කැදැල්ල ‍සොයමින් හඬා වැටෙනවා දැයි නො දනිමි.

නවතින්න! දැන් යන්න! යැයි අණ දීමට දොරටු පාලකයකු හෝ නොදුටුව ද මේ සන්සුන් සෙනසුන් බිමේ සැරිසැරූ කාලය නිමා කර ආපසු යා යුතු නොවේ දැයි සිතෙයි.

“මේ සුසිල්වත් සෙනසුනෙහි දිගට ම රැඳී සිටින්නට ඇත්නම්” සිතිවිලි අතර පටලැවිල්ලකි, ගැටුමකි. තවමත් ගිහි ගෙදරට ම ඇලුම් කරන සිත මා ආපසු හරවයි. සිත කලබලය - පා යුගල කඩිසර ය.

එහෙත් කලබලයකින් තොරව ආලෝකයේ දී පිබිදී අඳුරේ දී නොසැලී මේ අරණ තුළම චිරාත් කාලයක් උකටලීව හිඳිනා නුග රුක්ඛ මූලයේ ආරුක්කුව යටට මම පැමිණියෙමි. එතැනින් මා එළියට එන විට යෝගාවචර භික්ෂූන් වහන්සේ නමක සන්සුන් ගමනින් ඒ ආරුක්කුව යටින් අරණ තුළට පිවිසෙනු පෙනෙයි.

Comments