
කාල් මාක්ස් ඉපදිලා අවුරුදු 200ක්; සියවස් දෙකක්. ඒත් කාල් මාක්ස් මැරුණේ කවද්ද? ස්ටාලින් ගෙදර ගිය දවසෙද? නැත් නම් ස්ටාලින් රුසියාවෙ නායකයා වුණ දවසෙද? බර්ලින් තාප්පය වැටුණ දවසෙද? නැත්නම් චේ මරපු දවසෙද? කෙසේ වෙතත් මගේ අදහස නම් අප අද අදහන ප්‍රධානම ආගමික ශාස්තෘවරුන් කිහිප දෙනාගෙන් පසු ආගමක් තරම් ප්‍රබලවම අපේ ශිෂ්ටාචාරයට බලපෑමක් කළ දර්ශනයක් ඉදිරිපත් කළ අයකු සිටී නම් ඔහු කාල් මාක්ස් බවයි.
අවුරුදු 200කට පසුවත් ලෝකයේ කඳවුරු දෙකක් මාක්ස් ගැන දෙවිධියකට කතා වෙනවා. ලෝක ආර්ථික සමුළුවේ වෙබ් පිටුව කාල් මාක්ස්ගේ පරාජිත ආර්ථික දර්ශනයත්, ඔහුගේ අවලංගු දේශපාලන චින්තනයත් ගැන දීර්ඝ සටහනක් තබා තිබුණා. අනෙක් පැත්තෙන් ලෝක සමාජවාදීන් මාක්ස්ගේ චින්තනය පවතින වෙළෙඳපොළ ආර්ථිකය සහ සමාජ සංස්ථාව දෙස යාවත්කාලීන විග්‍රහයකින් බලා තිබුණා. වර්තමාන ලෝකය මුහුණදෙන දේශපාලනික ව්‍යාකුලත්වයට විසඳුම ලෙස ඔවුන් යළියළිත් යෝජනා කරන්නේ මාක්ස් යෝජනා කළ ආර්ථික මොඩලයයි.
කාල් මාක්ස්ගේ දේශපාලන චින්තනය විසින් අද අප ජීවත් වන ලංකාව මෙලෙස වන්නටත් විශාල බලපෑමක් කළා. 1970-1977 දක්වා අපි රුසියාවට බොහොම කිට්ටුවෙන් වැඩ කළා පමණක් නොවෙයි; කොමියුනිස්ට් පක්ෂය ලංකාවේ පරණම පක්ෂවලින් එකක් ලෙස ප්‍රබල දේශපාලන බලයක්ද අත්පත් කරගෙන තිබුණා. තමන්ටම කියල පක්ෂ කාර්යාලයක් හදාගත්ත පළමු පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයයි. මාක්ස්ගේ දේශපාලන දර්ශනය සහිත පොත්පත් සඟරා දහස් ගණනක් සිංහල භාෂාවට පරිවර්තනය වුණා. තවත් දහස් ගණනක් ඉගෙනගන්න, හුවමාරු වැඩසටහන්වලට, කෙටිකාලීන අධ්‍යාපන පාඨමාලාවලට රුසියාවට ගියා. මේ හැමෝම වගේ ආපහු එද්දි මාක්ස් චින්තනය ලංකාවට අරගෙන ආවා. මම ලොකු වුණෙත් සිංහලයට පරිවර්තනය කරපු රුසියානු ළමා සහ නවකතා කියවමින්.
අද පක්ෂ දහයකට පහළොවකට බෙදිලා හිටියත් මට නම් හිතෙන්නේ ලංකාවේ දේශපාලනයට ප්‍රබලවම හරයාත්මක බලපෑමක් කරලා තියෙන්නේ කාල් මාක්ස්ගෙන් පැතිරුණු සමාජවාදී දේශපාලනික අදහස්. ධනවාදය තවමත් මුළු ලෝකයේම ආර්ථික බලය අත්පත් කරගෙන නෑ. චීනය, නව ලෝකයේ ආර්ථික බලවතා, සමාජවාදී ආර්ථික මොඩලයක් වෙනුවෙන් තමුන් දිගටම පෙනීසිටින බව මෑතකදිත් ප්‍රකාශ කළා.
ලෝක ආර්ථික සමුළුවේ වෙබ් පිටුවට අනුව කාල් මාක්ස්ට වැරදුණේ ඔහු ‘මිනිස්සුන්’ හරියට තේරුම් නොගත්ත නිසා බවයි. මාක්ස් විශ්වාස කළා ප්‍රාග්ධනයේ හිමිකාරිත්වය වෙනස් කරලා හැමෝටම සමාන ආර්ථික පහසුකම් සලසා දුන්නාම අනෙක් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයි කියලා. ඒත් විප්ලවයෙන් පස්සේ රුසියාවේ වුවත් වුණේ පොදු මහජන යහපත වෙනුවට බලය ලැබුණු මිනිස්සු වත්කම් සහ බලය වෙනුවෙන් දිගින් දිගටම කෑදර වීමක්. විශාල සමාජ පරතරයක් කාලයත් සමග බිහි වීමක්. අනෙක් අතට සමාජවදී කඳවුරෙන් රුසියාව සහ චීනය ඉතුරු වුණේ ඔවුන් වෙළෙඳපොළට ඉඩදුන්න නිසයි. ඒ අතින් බලද්දී නම් මාක්ස්ගේ ආර්ථික මොඩලය ලංකාවේ සිට රුසියාව දක්වා කොහෙවත් සාර්ථක වෙලා නෑ.
අනෙක් අදහස තමයි අසාර්ථක වුණේ මාක්ස්ගේ චින්තනය නෙමෙයි; ඒ මතින් බලය ලබාගෙන නිර්මාණය වුණ නිලධාරි පැලැන්තිය බව. ලෝක සමාජවාදී තරුණ කණ්ඩායමේ විශ්වාසය නම් මාක්ස් ඉදිරිපත් කළ ආර්ථික දේශපාලන දර්ශනය වර්තමාන වෙළෙඳපොළ ආර්ථිකය පවා මනාවට තේරුම් ගෙන තිබෙන බවත්, දිනෙන් දින වියවුලට ගමන් කරන මේ කෑදර ලෝකය මිනිස්සු විසින් සැබෑ සමාජවාදී අරගලයකින් වෙනස් කරනු ඇති බවත්ය.
සමාජවාදී අරගලයකින්ම නොවුණත්, බලපුළුවන්කාර රටවල් දියුණු වෙමින් පවතින රටවල් සූරාකමින් මර්දනය කිරීමත්, ඇති නැති පරතරය එන්න එන්නම විශාල වීමත්, වෙළෙඳපොළ හරහා ලොකු සමාගම් සහ පුද්ගලයන් දුර්වල රාජ්‍යන් අයුතු ලෙස පාලනය කිරීමත්, සම්පත් බෙදී යෑමේ දැවැන්ත විෂමතාවත්, පාලකයන් විසින් මහජන සම්පත් මංකොල්ල කෑමත්, රාජ්‍ය අනුග්‍රය ලබන අන්තර්ජාතික ත්‍රස්තවාදයත්, තුන්වන ලෝකයේ රටවල මූලික මිනිස් අයිතිවාසිකම් පවා අවලංගු වීමත් යම් කිසි විදියකින් පරාජය කළ යුතුව තිබෙනවා. ප්‍රායෝගික මාර්ගය කුමක් වුවත් මාක්ස් පැතූ ලෝකය අපෙත් ප්‍රාර්ථනාව බව සිහි කළ යුතුමයි.
කාල් මාක්ස් වසර 200කට පසු අපට ඉතුරු කර ගියේ කුමක්දැයි ඇසුවොතින් මගේ පිළිතුර නම් ‘යහපත් ලෝකයක් ගැන බලාපොරොත්තුවක්’ යන්නයි.