දසුන් මඬුල්ලක බොඳ වුණු සිතුවම | සිළුමිණ

දසුන් මඬුල්ලක බොඳ වුණු සිතුවම

ශ්‍රී ලාංකේය විද්යුත් මාධ්‍ය ඉතිහාසයෙහි බිහි වූ අප්‍රකට ප්‍රමාණිකයා තිලක් ජයරත්න බව දන්නෝ ඉතා දුලබෝය. ස්ථාපිත වූ දා පටන් මෙරට විද්යුත් මාධ්‍ය භාවිත වූයේ මහජන සේවා විකාශන මෙවලමකට වඩා අණසක පතුරන අධිපතිවාදි සන්නිවේදන මෙවලමක් ලෙසිනි. තිලක් ජයරත්න මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දා පටන් විද්යුත් මාධ්‍යයේ අධිපති භාවිතයට එරෙහිව ප්‍රායෝගික නිහඬ අරගලයක නිමග්න වූයේය. ඔහු ගුවන්විදුලියට සම්බන්ධ වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන ශාස්ත්‍ර පීඨය ලෙස 1963දී කොළඹ විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපිත ශාස්ත්‍ර පීඨයෙන් ශාස්ත්‍රවේදි උපාධිය සාර්ථකව සම්පූර්ණ කළ උපාධිධරයකු ලෙසය.

තිලක් ජයරත්න උපන්නේ 1943 දෙසැම්බර් 31 දින කළුතරදීය. මවගේ ජාතභූමිය කළුතර නගරයය. පියාගේ ජාතභූමිය බෝඹුවල ග්‍රාමයය. තිලක් මවගේ නිවෙසේ සිට පාසල් අධ්‍යාපනය ලැබුවේ කළුතර මහ විදුහලෙනි.

මේ කාලයේ ඔහුට ගම සහ නගරය පිළිබඳ අත්දැකීම් ප්‍රායෝගිකව විඳගැනීමට අවකාශ ලැබිණි. පසු කලෙක තිලක් ජයරත්නගේ නිර්මාණ කෘතිවල ගම සහ නගරය අපූරුවට යථාරූපීව සිතුවම් වූයේ මේ නිසා වන්නට ඇත. 1963 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වූ තිලක් 1966දී උපාධි පාඨමාලාව නිම කළේය. විශ්වවිද්‍යාලයේදී පේරාදෙණියෙන් පැමිණි නව අදහස්වලින් සමෘද්ධ තරුණ කථිකාචාර්යවරුන් කිහිප දෙනකුගේ සමීප ඇසුර ඔහුට ලැබිණි. විමල් දිසානායක, සුචරිත ගම්ලත්, තිස්ස කාරියවසම් ඒ අතර වූහ.

විශ්ව සාහිත්‍යයේ නව ප්‍රවණතා පිළිබඳ අවබෝධය පෘථුල වීමෙහිලා තිලක් ජයරත්නට මේ ඇසුර හේතු කාරක විය. එංගලන්තයේ එවක ප්‍රචලිත වූ ‘Angry Young Men’ නමැති මධ්‍යම පාන්තික නාට්‍ය රචකයන්ගේ ව්‍යාපාරයේ පුරෝගාමි නාට්‍යකරුවකු වූ ජෝන් ඔස්බෝන් 1956දී නිෂ්පාදනය කළ ‘Look Back in Anger’ නාට්‍යය තිලක් ජයරත්න විසින්ම අනුවර්තිතව ‘සංඛනාද’ යනුවෙන් 1965දී වේදිකාගත කෙරිණි. පාසල් අවධියේ සිට නිහඬව තමා අවට ලෝකය සියුම් ලෙස නිරීක්ෂණයෙහි නිමග්න වූ තිලක් ජයරත්න විශ්වවිද්‍යාලය නමැති විවෘත අවකාශයේදී සමකාලීන සමාජ සංස්කෘතික දේශපාලන පසුබිම පිළිබඳ සංවේදන විචාරාත්මක මනසකින් ගවේෂණශීලි සහ නිර්මාණශීලි අයුරින් මුදාහැරීම අරඹන්නේ තරුණ නාට්‍යකරුවකු ලෙසිනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය 1966දී නිම කොට කෙටි කලක් කළුතර වාසය කළ තිලක් ජයරත්න 1969 වර්ෂයේ නැවත කොළඹට පැමිණෙන්නේ ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරි සහායකයකු ලෙස පත්වීමක් ලැබීමත් සමඟය. ඒ අවස්ථාව වන විට ගුවන්විදුලි සංස්ථාවේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක වන අතර සුගතපාල ද සිල්වාගේ ‘දුන්න දුනුගමුවේ’ නාට්‍යය බිහි වන්නේද ඒ පසුබිමෙහිය. මෙසමයෙහි ගුවන්විදුලි සංස්ථාවෙහි සභාපති නෙවිල් ජයවීරයි. තිලක් ජයරත්න සමඟ ගුවන්විදුලියට සම්බන්ධ වූ යූ. ආරියවිමල්, ගුණදාස කපුගේ, විජයානන්ද ජයවීර, දයා තෙන්නකෝන්, පියදාස රත්නසිංහ, මහින්ද ප්‍රනාන්දු, නෙල්සන් ජයවීර ඇතුළු පිරිසට බීබීසී ආයතනයෙන් පැමිණි ප්‍රවීණයකු යටතේ විධිමත් පුහුණුවක් ලැබීමේ අවස්ථාව හිමි විය. පසු කලෙක විද්වත් සන්නිවේදකයන් පිරිසක් ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට මේ පුහුණුව හේතු කාරක විය. 

මුලදී ස්වදේශීය සේවා ගුවන් කාලය ඇතුළත ප්‍රචාරය වූ අධ්‍යාපන සේවා වැඩසටන් සඳහා වෙනම විකාශයක් ලැබීමත් සමඟ, තිලක් ජයරත්න අපේක්ෂා කළ නව වැසටහන් රැසක් අධ්‍යාපන සේවයෙන් ප්‍රචාරය කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය. අධිපති දේශපාලන අධිකාරිය ඒ නව මාධ්‍ය සංස්කෘතිය දරාගත නොහැකි එක් අවස්ථාවක ප්‍රචාරය වෙමින් පැවති සජීව වැඩ සටහනක් නතර කිරීමට බලධාරීන්ගෙන් නියෝග ලැබීමත් සමඟ උද්ගත වූ තත්ත්වය කෙළවර වූයේ ශ්‍රේෂ්ඨාකරණ නඩු තීන්දුවකින් ශ්‍රාවක අයිතිය තහවුරු කරමිනි.

ඒ ඓතිහාසික නඩු තීන්දුව පාදක කොටගෙන අසල්වැසි ඉන්දියාව පුළුල් ප්‍රජා ගුවන්විදුලි භාවිතයකට දොරටු විවර කරගත් නමුදු ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් එබඳු පුළුල් ජාතික ව්‍යාපාරයක් ඇති නොවූ පසුබිමක තිලක් ජයරත්නට කටයුතු කරන්නට සිදු වූයේ සටන් පෙරමුණක හුදෙකලා වූ සෙන්පතියකු ලෙසටය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ යුනෙස්කෝ අනුග්‍රහයෙන් ඇරඹුණු ඌව ප්‍රජා ගුවන්විදුලියේ පෙර ගමන්කරු වූයේද තිලක් ජයරත්නය.

ඌව ප්‍රජා ගුවන්විදුලියට අලුතින් බඳවාගත් තරුණ පිරිසකට වසරකට ආසන්න කාලයක් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව දී, හඬක් නැති මිනිසුන්ට හඬක් දීමේ අරමුණින් ඇරඹුණු ඌව ප්‍රජා ගුවන්විදුලියෙන්ද අපේක්ෂිත ප්‍රජා ගුවන්විදුලි අරමුණු සපුරා ඉටු කරගැනීමට නොහැකි වූයේ සියල්ලට ඉහළින් අණසක පතුරන පරිහානිගත දේශපාලන අධිකාරයේ බලපෑම සහ ඒ බලපෑමට යටත් වූ නිවට බලධාරී පිළිවෙත් නිසාය. නිර්මාණකරුවකු ලෙස තිලක් ජයරත්න පිවිසි රූපවාහිනී මාලා නාටක පිටපත් රචනය මෙතෙක් කිසිවකුටවත් අභිභවනය කළ නොහැකි වූ ඉසවුවකි. අඳු කොළ, කඩුල්ල, නාඳුනන පුත්තු, දණ්ඩේ ලූ ගිනි, වනස්පති සහ කම්පිත විල් යන මාලා නාටක පිටපත් සියල්ල මෙරට සමාජ-ආර්ථික ඉතිහාසයේ ගැඹුරු මුල් කරා විහිදුණු සාහිත්යික වියමන් ලෙස සියලු කල්හි සම්භාවනාවට පාත්‍ර වනු ඇත. එමතු නොව, ඒ සියල්ල ‘පර්යේණාත්මක සාහිත්‍ය වියමන්’ යන වර්ගීකරණයට අයත් කළ හැකි එකම නිර්මාණ සමුච්චය ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

Comments