අපේක්ෂකයන් තේරීම | සිළුමිණ

අපේක්ෂකයන් තේරීම

මෙරට අටවැනි පාර්ලිමේන්තුව ඉකුත් සතියේ සඳුදා මධ්‍යම රාත්‍රියේදී ජනාධිපති ගෝඨ‍ාභය රාජපක්ෂ මහතා විසින් විසුරුවා හැරුණේය. එම පාර්ලිමේන්තුව තවත් හය මසක කාලයක් දක්වා පවත්වාගෙන යා හැකිව තිබුණ ද ජනාධිපතිතුමා තමන් සතු ව්‍යවස්ථාමය බලතල යටතේ එලෙස විසුරුවා හරින ලද්දේ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව හටගෙන තිබූ ගැටලු සහගත තත්ත්වයක් මුල් කරගෙනය.

එම ගැටලුව වූ කලී මෙතෙක් පැවති පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයට වඩා වැඩි බහුතරයක් විපක්ෂයට තිබීමයි. එකී තත්ත්වය නිසා රජයට කඩිනමින් සම්මත කර ගැනීමට අවශ්‍ය අතිශය වැදගත් අණ පනත් පවා පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට නොහැකි වී තිබුණේය. එය රටේ සංවර්ධනයට පමණක් නොව ජනතා සුබසාධනයට පවා බලවත් බාධාවක් විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමන් සතු විධායක බලතල යටතේ ඉකුත් සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ ඒ අනුවය.

මෙහිදී ඡන්දදායකයන් වෙත පැවරී ඇත්තේ බරපතළ වගකීමකි. ඒ රටක් පාලනය කිරීමට තරම් දැනුමැති සහ බුද්ධිමත් කාර්යශූර පිරිසක් තෝරා බේරාගෙන පාර්ලිමේන්තුවට යැවීමටයි. අප එසේ කියන්නේ මෙරට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ඇරඹුණු දා සිට අප විසින් පාර්ලිමේන්තුවට තෝරා යවා ඇති මැති ඇමතිවරුන් අතරින් බහුතරයක් ඒ සඳහා සුදුස්සන් දැයි සිතෙන විටය.

වර්තමාන මනාප ඡන්ද ක්‍රමය යටතේ මහ මැතිවරණයකින් ජය ගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වීම ලේසි පහසු දෙයක් නොවේ. ප්‍රධාන වශයෙන් ඒ සඳහා මුදල් අවශ්‍යය. පිරිස් බලය, මහ ජනතාවගේ සිත් ඇද බැඳ ගන්නා ලෙස වාචාලකම ද අවශ්‍යය. ඒ සුදුසුකම් නැති පුද්ගලයන් කොතරම් උගතුන් සහ බුද්ධිමතුන් වුවද සිදු වන්නේ ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් නොලැබ සාර්ථක ලෙස පසු බැසීමට ය.

එසේ වුවද මෙරට මනාප ඡන්ද ක්‍රමය ආරම්භ වූ 1978 වසරේ සිට පැවති මේ විකාරරූපී ක්‍රමවේදය දැන්වන් වෙනස් කළ යුතුය. වර්තමානයේ පාර්ලිමේන්තුව රැස්වන්නේ මාසයකට දින අටකි. එම දින අට තුළ පවා පාර්ලිමේන්තු රැස්වීම පුරා පැය හත අටක කාලයක් පැවැත්වෙන්නේ එහෙමටත් දිනයකය. බොහෝවිට පාර්ලිමේන්තුව රැස්වන්නේ පැය පහක් හෝ ඊටත් අඩු කාලයකි. එතරම් අඩු කාලයක් තුළ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන මන්ත්‍රීවරුන් ගේ සංඛ්‍යාව අතිශයින් දුර්වලය. ඇතැම් ඇමතිවරුන් පවා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට මැළිකමක් දක්වන අයුරු ගත වූ වසර දහයක පමණ කාලය තුළ අපට අනන්තවත් පෙනී ගොස් තිබේ.

ඇමතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට හෝ යම් අත්‍යවශ්‍ය කටයුත්තක් යෙදී ඇත්නම් එදිනට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවීම ඒ හැටි ප්‍රශ්නයක් නොවේ. එය ඔහුගේ හෝ ඇයගේ මානුෂික අයිතියකි. එහෙත් ප්‍රශ්නය වන්නේ වේලාසනින් පාර්ලිමේන්තු සබාගැබට පැමිණ තමන්ගේ නමට එක දමා ගන්නා ඇතැම් මැති ඇමතිවරුන් විනාඩි පහක්වත් නොසිට පාර්ලිමේන්තුවෙන් පිටව යෑමය. එහිදී ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාව වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දීමනාවට හිමිකම් කීමය.

මෙවැන්නන් තමන්ගේ නියෝජිතයන් ලෙස තව දුරටත් පාර්ලිමේන්තුවට යවන්නේ නම් එය කවර පක්ෂයක වුවද ඡන්ද දායකයන්ගේ අනුවණකමකි.

මේ හැර පාර්ලිමේන්තු සබාගැබ තුළ සිග්නල් කණු මෙන් හැසිරෙන තවත් පිරිසක් සිටිති. ඔවුන් ක්‍රියාත්මක වන්නේ ජනතා අපේක්ෂාවන්ට අනුකූලට නොව තමන් අයත් දේශපාලන පක්ෂයෙන් ලැබෙන නියෝග වලට අනුවය. එවැනි ඇතැමකු සබා ගැබ තුළ හැසිරෙන්නේ ගොලුවන් හෝ බිහිරන් ලෙසිනි. මෙවැනි මන්ත්‍රී නාමධාරීන් හෝ ඊනියා මහජන නියෝජිතයන් දැන්වත් පිටුදැකීමට සියලුම ඡන්ද දායකයන් සිතට ගත යුතුය.

මේ අතර ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මැතිවරණ කොට්ඨාසය තුළ සිදු වන සෑම මඟුලක්, මරණයක් හෝ කොටහළු මඟුලක් නෑර සහභාගී වන බවක් පෙනෙන්නට තිබේ. එයද ඔවුන්ගේ එක්තරා උපාය මාර්ගයකි. “ අනේ අපේ මන්ත්‍රීතුමා අපේ පොඩි කෙලීගේ කොටහළුවටත් ඇවිත් ගියා....!” කියන ඇතැම් ඡන්ද දායකයන් ඊ‍ට කෘතඥතාව දක්වන්නේ ඡන්ද ලැයිස්තුවේ සඳහන් පුද්ගලයාගේ අංකය ඉදිරියෙන් තම මනාපය ලකුණු කරමිනි. මෙතෙක් කළ එවැනි ඔළමොට්ටලකම් මෙවර ඡන්දයේදී හෝ නතර කර එක් එක් අපේක්ෂකයන්ගේ සිනාවට හෝ කතාවට නොරැවටී තමන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව ප්‍රකාශ කිරීම සෑම ඡන්දදායකයකුගේම බලවත් යුතුකමකි.

ජනතාව එසේ නොකළහොත් එමගින් වාසිය සැලසෙන්නේ එවැනි කෛරාටික ඡන්ද අපේක්ෂකයන්ට ය. එවැන්නන් තම නියෝජිතයින් සේ තෝරා පත්කර ගන්නා ඡන්ද දායකයන්ට සිදු වන්නේ උඩබලාගෙන සුසුම් හෙළීමටය.

පාර්ලිමේන්තු මැතිවරණයක් යනු වසර පහකට වරක් තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටීම සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට ජනතාවට ලැබෙන මහගු අවස්ථාවකි. එහිදී සෑම ඡන්දදායකයකුටම තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කළ යුත්තේ හදවතේ හඬට නොව බුද්ධියේ හඬට අනුවය. එසේම අදාළ ඡන්ද අපේක්ෂකයාගේ උගත්කම කෙරෙහි හෝ මුඛරිකම කෙරෙහි හෝ අවධානය යොමු කර අදාළ පුද්ගලයා තමන්ගේ නියෝජිතයා ලෙස තෝරාගෙන පාර්ලිමේන්තුවට යැවීම ද නොකළ යුතුය. එහෙයින් කවර හෝ මැතිවරණයක දී වුවද අප ප්‍රධාන වශයෙන්ම සලකා බැලිය යුත්තේ අදාළ පුද්ගලයා ගේ කාර්යක්ෂමතාව සහ සේවයට ඇති කැපවීම ගැන සහ නිරහංකාරත්වය ගැනය. ඔබත් දිනා රටත් දිනවිය හැක්කේ ඉහත සඳහන් කරුණ පිළිබඳව දැඩි අවධානයක් යොමු කොට බුද්ධිමත්ව තමන් ගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමෙනි. එසේ නොවුණහොත් දිනන්නේ හොරුන් හෝ කෛරාටිකයන්ය. එවිට ඡන්දදායකයන්ට සිදුවන්නේ තමන් විසින් සිදුකර ගත් මෝඩකම ගැන මෙනෙහි කරමින් මහ පොළවේ පස් කෑමටය.

Comments