තරුණ පරපුර වනසන ෆේස්බුක් සාද | Page 3 | සිළුමිණ

තරුණ පරපුර වනසන ෆේස්බුක් සාද

 අන්තර්ජාල මුහුණු පොතේ සැරිසරන මිතුරු කණ්ඩායම් බොහෝ සේ දක්නට ලැබේ. විවිධ පෙදෙස්වල ජීවත්වන විවිධ තරාතිරම්වල පිරිස් එවැනි මිතුරු කණ්ඩායම්වලට අයත් වෙති. ඔවුහූ ඇතැම් දෙනා කිසි කලෙක එකිනෙකා දැක නැත්තාහ. ඇතැම් මිතුරු කණ්ඩායම් එලෙස මුහුණු පොතෙන් මිතුරුවන අය හා එක්ව නොයෙක් ක්‍රියාකාරකම්වල නිරතවන බව අසන්ට ලැබේ. ඒ අතරේ එවැනි ඇතැම් මිතුරු කණ්ඩායම් එක්ව ඉතා අගනා සමාජ සත්කාර ද සිදු කරයි.

ඒ අතරේ ඇතැම් කණ්ඩායම් සමාජයට වින කරන ක්‍රියාදාමයන්හිද නිරත වේ. එවැනි එක් මිතුරු කණ්ඩායමක කතාවක් පසුගියදා අනාවරණය වන්නේ වේයන්ගොඩ ප්‍රදේශයෙනි.

“25 වැනිදා බර්ත්ඩේ පාටියට එනවා නේද?”

“ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක නේද එන්නෙ...”

“අපිත් එනවා...”

“එදාට අපි හොඳ ෆන් එකක් ගමු...”

“අපේ ගෲප් එකේ අනෙත් ෆ්‍රෙන්ඩ්ස්ලටත් මෙසේජ් එක දෙන්න...”

එම මිතුරු කණ්ඩායමේ මිතුරන් අතරේ මුහුණු පොත මඟින් එවැනි ‘චැට්’ කිරීම් පසුගිය දිනවල බහුල ලෙස සිදුවී තිබිණි. එසේ රටේ විවිධ පෙදෙස්වල වෙසෙන සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ෆේස්බුක් මිතුරු කණ්ඩායමක සාමාජිකයන් රොක් වීමට සැරැසුණේ උපන් දින සාදයක් පැවැත්වීමටයි. ‍

“කොහේද පාටි එක තියෙන්නෙ”

“වේයන්ගොඩ බඳුරාගොඩ පාරේ හොටෙල් එකක”

“අනිවාර්යයෙන්ම එන්න ඕනෑ”

“25 හවස් වෙනකොට ‘සෙට්’වෙමු”

“හොටෙල් එක ‘බුක්’කරලත් අවසන්.”

උපන් දින සාදය ළංවෙද්දී එවැනි ‘චැට්’ කිරීම්ද මේ සාමාජිකයන් අතර හුවමාරු වී තිබිණි. ඒ අනුව සාමාජිකයෝ 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සැරැසුණේ 25 දා සවස සාදයට එක්වීමටයි. උපන් දින සාදයක් යැයි පැවැසුණාට එම උපන් දිනය කාගේදැයි කිසිදු කෙනෙක් නොදැන සිටියහ. එහෙත් සාදයට රටේ විවිධ පෙදෙස්වලින් වයස අවුරුදු 20ත් 35ත් අතර තරුණ තරුණියන් පැමිණි බව වාර්තා විය. ඒ අතරේ කිහිප දෙනෙකු පැමිණ සිටියේ තම පෙම්වතියන්ද කැටුව බව මෙහි තතු ගවේෂණයේදී හෙළි විණි.

විසි පස් වැනිදා සවස ආරම්භ වූ මේ අමුතු තාලයේ උපන් දින සාදය 26 වැනිදා පෙරවරුවේත් අවසන් වී නොතිබිණි.

ඒ අතරේ වේයන්ගොඩ පොලීසියේ සැරයන් මර්වින් සහ සැරයන් පත්මකුමාර පසුගිය සෙනසුරාදා පෙරවරු 7.30ට පමණ වේයන්ගොඩ නගරයේ පිහිටි ආරක්ෂක මුරපොළේ රාජකාරි කොට පොලීසියට එමින් සිටියේය.

එක්වරම ඇදී ගිය සුදු පැහැති මෝටර් රථය ගැන පොලිස් නිලධාරින් දෙදෙනාගේ උකුසු ඇස යොමු වී තිබුණේ එහි ගමන් විලාසය දුටු විටයි.

“අපි දෙන්නා රාජකාරි අවසන්කොට පොලීසියට එමින් හිටියේ..”

“එක පාරටම කාර් එකක් ගියා”

“ඒ වාහනේ ගිය ආකාරය ගැන අපට අමුත්තක් දැනුණා.”

“බලනකොට ත්‍රිවිලර් එකතුත් හප්පගෙන තමයි මේ කාර් එක ගිහින් තිබුණේ.”

“ත්‍රිවිල් එක හැපිලා ළඟ තිබුණ කඩේකුත් කඩාගෙන ඇතුළට ගිහින්”

“කොහොමහරි මේ කාර් එක ගියපු ආකාරයට තවත් විශාල අනතුරක් වෙන්න ඉඩ තිබුණා.”

“අපි දෙන්නා බයික් එකෙන් කාර් එක පස්සෙන් පැන්නුවා...”

“නවත්තන්න කිව්වට නැවැත්තුවේ නෑ.”

“පස්සෙ කාර් එක වටද්දර පන්සල් වත්තට දාලා නැවැත්තුවා...”

“ඩ්‍රැයිවර් විතරයි හිටියේ... හොඳටම බීලා... කෙළින් ඉන්නවත් බෑ...”

බීමත්ව අපරීක්ෂාකාරීව ධාවනය කළ රිය පසුපස හඹා ගිය පොලිස් සැරයන්වරයෙක් එසේ පැවැසීය. පසුව එම බීමත් රියැදුරා විසින් සැරයන්වරු දෙදෙනාට පහර දී ඇත. වේයන්ගොඩ පොලිස් ස්ථානයේ කණ්ඩායමක් බීමත් රියැදුරා අත්අඩංගුවට ගැනීමත් සමඟ එම පුද්ගලයා පොලීසියට තර්ජනය කරමින් ‘හයිය’ පෙන්වීමට උත්සාහ දැරූ බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති සුජීව ද සිල්වා කීවේය. ඔහු මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත.

මෝටර් රථයේ හැපුණු ත්‍රිවිලර් රථයේ රියැදුරු සහ හානියට පත් වෙළෙඳසලේ හිමිකරුගෙන් ලැබුණු හෝඩුවාවක් වූයේ මෝටර් රථය පැමිණියේ බාඳුරාගොඩ පාරේ පිහිටි නවාතැන් පහසුකම් සපයන හෝටලයක සිට බවයි. ඒ තොරතුරත් සමඟ අත්අඩංගුවට පත් තැනැත්තාගෙන් දිගින් දිගට කළ ප්‍රශ්න කිරීම්වලින් ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම වේයන්ගොඩ - බඳුරාගොඩ පාරේ අදාළ හෝටලය සොයා ගොස් තිබිණි. විශාල පොල් වත්තක් මධ්‍යයේ පිහිටි ඒ නවාතැන් පොළ මාර්ගයට දිස් නොවේ. එම නිසා මාර්ගයේ සිට බැලු බැල්මට එම වත්ත මධ්‍යයේ එවන් අවන්හලක් තිබෙන බවට එකම සාක්ෂිය කුඩා නාම පුවරුව පමණි. එම ස්ථානය ගැන මනා වැටහීමකින් යුතුවම මේ සමාජ විරෝධි සාදය පැවැත්වීමට තෝරාගත් බවට පොලීසිය සැක පහළ කරයි.

විශාල පොල් වත්තක් මැද පිහිටි එය මාර්ගයේ සිට බැලු බැල්මට හෝටලයක් සේ දිස් නොවේ. එහෙත් එහි ඇතුළට ගිය විට පොලිසියට සියලු තතු හෙළි වී තිබේ.

“අපි 26 වැනිදා උදේ 8.30 වෙනකොට කියපු තැනට ගියා...”

“බඳුරාගොඩ පාරේ හදාගෙන හෝටලයක්...”

“අවුරුදු 20ත්, 35ත් අතර තරුණ තරුණියෝ පිරිසක් හොඳටම මත්පැන් බීලා... මත්ද්‍රව්‍ය පානය කරලා සිහි විකල් වෙලා නටමින් හිටියේ... සමහරු වැටිච්ච වැටිච්ච තැන්වල”

“ඔක්කොම හැටදෙනෙක්... ඒ අතර තරුණියෝ හත්දෙනෙකුත් හිටියා...”

“සියලු දෙනාම උගත් බුද්ධිමත් පිරිසක්... වැඩිපුරම හිටියේ විශ්වවිද්‍යාල ළමයි...

“ඇල්පිටිය, ඌරගහ, වාද්දුව, මාතර, කෑගල්ල, නුවර, මිනුවන්ගොඩ, ජාඇල ආදි විවිධ පෙදෙස්වල අය” යැයි පැවසූ පොලිස් ස්ථානාධිපතිවරයා සියලු දෙනා ගංජා, හෙරොයින්, විවිධ සුරුට්ටු වැනි නීති විරෝධි මත්ද්‍රව්‍ය පානයකොට සිටි බව පැවැසීය.

“ඒ වගේම එතැනදී මේ අය අතර ලිංගික ක්‍රියාකාරකම් පවා සිදු වෙලා... එවැනි ක්‍රියාකාරකම්වල සාක්කි අපට හම්බ වුණා. සමහරු අපි යනවිටත් අඩනිරුවතින් හිටියේ... 25 වැනිදා ආරම්භ වූ සාදය 26 වැනිදා උදේ අපේ කණ්ඩායම යන විටත් ඉවර නෑ.” එම වැටලිමට එක්වූ උපපොලිස් පරීක්ෂක සමන්කුමාර අපට හෙළි කළේය.

මුහුණු පොත මඟින් හඳුනාගත් මේ පිරිසේ ඇතැම් දෙනා සාදයට එක්වන මොහොත වන තෙක්ම මෙහි සිදුවන්නෙ කුමක්ද කියා නොදැනුවත්ව සිටි බවට වාර්තා වේ. ඇතැම් දෙනා කිලෝමීටර් සිය ගණන් දුරු කතර ගෙවා පැමිණ තිබිණි. එසේම කිහිප දෙනෙක් තම පෙම්වතියද මේ නීති විරෝධී ක්‍රියාකාරකම් සිදුවූ සාදයට සහභාගි කරවාගෙන සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරයි.

අදාළ සාදය වැටලීමෙන් අනතුරුව ඊට සහභාගිවී ‘සූර්’ වී සිටි සියලු දෙනා වේයන්ගොඩ පොලිස් ස්ථානයට රැගෙන එන ලදී. ඒත් සමඟ සිද්ධිය සැලවී කිහිප දෙනෙකුගේම දෙමවුපියෝ පොලීසිය කරා දිව ආහ. දෙමවුපියන්ගෙන් ලද තොරතුරු අනුව පොලීසිය සඳහන් කරන්නෙ මේ පිරිස නිවෙස්වලට බොරු බේගල් කියමින් සාදයට සහභාගි වී ඇති බවකි.

“සමහරුනම් බර්ත්ඩේ පාටියක් කියලා... වද කරලා අවසර අරගෙන තමයි ඇවිත් තියෙන්නෙ... කිහිප දෙනෙක්ම එනකල්ම දන්නෙ නෑ මොකක්ද එතැන වෙන්නෙ කියලා... තවත් සමහරු සාදයට එක්වීම ගැන කනස්සල්ලෙන් ඉඳලා තියෙන්නෙ... මොකද එතැන වෙන දේවල් දැකලා. නමුත් ඒ වන විට ඔවුන් පරක්කු වැඩියි... අන්තිමට ඒ පිරිසත් සියලු නීති විරෝධි වැඩවලට දායක වෙලා තියෙනවා.” වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් කීවේය.මේ සාදය සංවිධානය කළා යැයි සැක කෙරෙන මිනුවන්ගොඩ ප්‍රදේශ‍යේ පුද්ගලයා පලා ගොසිනි. හෝටලයේ හිමිකරු මේ ගැන පොලීසියට පවසා තිබුණේ මෙහි සිදුවූ කිසිදු දෙයක් තමා නොදැන සිටි බවත්, හෝටලය 60 දෙනෙකුගේ උත්සවයක් සඳහා කලින් වෙන්කර ගත් බවයි.

පොලීසියට රැගෙන ඒමෙන් පසුව තරුණ තරුණියන් පිරිසට අවවාද කොට පලවා හැරියත් තරුණයන් පස්දෙනෙකුට සහ එක් කාන්තාවකට එරෙහිව විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යටතේ ‍චෝදනා ගොනු කොට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පසුගිය අප්‍රේල් 21 වැනිදාද ‘බර්ඩ් ඇන්ඩ් බීස්’ නමැති වේයන්ගොඩ කළගෙඩිහේන පාරේ පිහිටි හෝටලයකදීද මෙවැනි සාදයක් පැවැත්වීමට සූදානම් කර තිබියදී වේයන්ගොඩ පොලිසිය විසින් එය නතර කර තිබේ. එම සාදය සූදානම් කළ පිරිසම මේ සාදයත් පැවැත්වූවාද යන්න ගැන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මේ ආකාරයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ කිසිදා සියැසින් නුදුටු පිරිස් එක්ව නීති විරෝධි මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කරමින් ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වෙමින් කරන නොයෙක් ආකාරයේ සාද ගැන පසුගිය දිනවල රටේ විවිධ පෙදෙස්වලින් වාර්තා විණි. එම නිසා එවැනි සාදවලට යාමට අවසර පතන දරුවන් ගැන දෙමවුපියන් දැඩි අවධානයෙන් සිටින ලෙස පොලීසිය ඉල්ලා සිටී. එසේම මෙවැනි නීති විරෝධි මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කරමින් අශෝභන ලෙස හැසිරෙන සාද පැවැත්වීමට හෝටල්, අවන්හල් වෙන්කර ගැනීමට තැත් කරන අය ගැන හෝටල් හිමියන් ද අවධානයෙන් සිටිය යුතුය. තරුණ ජීවිත විනාශ මුඛයට ගෙන යන මෙවැනි විවිධාකාරයේ සාදවලට එරෙහිව රටේ සියලු දෙනාම අවධානයෙන් සිටිය යුතුවා සේම නීතිරීති ද දැඩි කළ යුතු බව අපගේ අදහසයි.

බස්නාහිර පළාත උතුර කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ උපදෙස් මත ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල සහ අත්තනගල්ල පොලිස් අධිකාරී ඉන්දික සිල්වාගේ මෙහෙයවීම මත වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ද සිල්වා ප්‍රමුඛ උ.පො.ප. සමන් කුමාර, උ.පො.ප. රාජපක්ෂ, පොලිස් සැරයන් (4113) බණ්ඩාර, පොලිස් සැරයන් (2644) ශාන්තිලාල් ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් වන ඒකනායක (33939), උඩුගම (21360), දයානන්ද (37924), ප්‍රියදර්ශන (35446), සිරිවර්ධන (899), නන්දසිරි (55464), නිශාන්ත (38851), නුවන් (16967), ජයසිංහ (89676) සහ ඉනෝෂා (4998), සහ අත්තනායක (4190) යන කොස්තාපල්වරියෝද මේ වැටලීමට එක් වූහ.

Comments