අවුරුද්දට අලුත් වීම | Page 9 | සිළුමිණ

අවුරුද්දට අලුත් වීම

 අලුත් අවුරුද්ද ලබන්නට තව ඇත්තේ දින කිහිපයකි. මේ උදා වන්නේ ජාතික වශයෙන් ගත හැකි ප්‍රධානතම සංස්කෘතික මංගල්ලය යි. විවිධත්වය ඒකීය තැනකට ගත හැකි, මෙරට සංස්කෘතියට අදාළ හොඳ ම ජීවමාන සාධකය වන්නේ ද මෙය යි. එනම් විවිධ මතවාද, විවිධ වූ කැමැත්ත මොහොතකට හෝ එක තැනකට ගන්නා වේදිකාව මේ අලුත් අවුරුද්ද යි. ජීවත් වීමට අත්‍යවශ්‍ය ආහාරය පිස ගන්නා ළිප ගිනි දැල්වීම පැය කිහිපයකට හෝ නතර කොට, යම් සංක්‍රාන්ති කාලයකට පසු එක ම වෙලාවක මුළු රට ම එකට ළිප ගිනි දැල්වීම ම මුළු මහත් ජන සමාජය තම ඒකීය බව ජීවමාන කරන අවස්ථාවකි. පුළුල් ලෙස ගත් කල මේ සංස්කෘතික මංගල්ලය ඉර මූලික කරගන්නක් බැවින්, එනම් මෙය මුළුමනින් ම ‘නැකත් කෙළියක්‘ වන බැවින් ජාති වශයෙන් ඇති විවිධත්වය ද මෙහිදී ඒකීයභාවකට පත් වේ.

අලුත් අවුරුද්ද යනු පැරණි දෑ එක මොහොතකට හෝ අත්හැර, නැවත අලුතින් ‘වැඩ ඇල්ලීම‘ සිදු කරන්නකි. මෙතෙක් ආ මඟ දෙස ආපසු හැරී බලා ඉදිරි මඟ අරඹනු පිණිස සොබාදහම සමඟ ඒකාත්මික වීමක් ලෙස ද මේ ජාතික සංස්කෘතික මංගල්ලය හැඳින්විය හැකි යි. සියලු දෙනා එක ම අරමුණකින් සියලු වැඩ අත්හැර, හිත් එක ම තැනකට ඉලක්කගත කර, නැවුම් සිතිවිලි - බලාපොරොත්තු පෙරදැරිව නැවත ජීවිතය අරඹන මේ අවස්ථාව තරම් වෙනත් අවස්ථාවක් ‘සංහිඳියාව‘ ගැන පහදන්නට ද ගත නොහැකිය. එනම්: අලුත් අවුරුද්ද සංහිඳියාව සඳහා ද දිය හැකි හොඳ ම ප්‍රායෝගික නිදසුන යි. තමා තුළ ම සංහිඳියාව හා බාහිර සමාජය සමඟ සංහිඳියාව වෙනුවෙන් අලුත් අවුරුදු උදාව කවුළු විවර කරයි.

අලුත් අවුරුද්දට අලුත් වීම දේශපාලන බිමටත් අවශ්‍ය වෙයි. දේශපාලනව බෙදී ජාතික සංහිඳියාවට මඟ ඇහිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශ්වාසභංගය පරාජය වීම අලුත් අවුරුද්දට දේශපාලනව වෙනස්වීම සඳහා කවුළුවක් විවර කළේ ය. ඒ සමඟ අපේක්ෂාභංගත්වයේ කතරක අතරමංව සිටි ජනතා අපේක්ෂාව යළි පිබිදුණු බවක් පෙනේ. එය අන් කිසිවක් නො ව, 2015 ජනවාරි 8 වැනිදා පෙළ ගැසුණු ජනතා අපේක්ෂාව ම යි. තනි පක්ෂයක ආණ්ඩු බලය වෙනුවට අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි ඉදිරි දැක්මක් සහිත ශිෂ්ට සම්පන්න රටක් වෙනුවෙන් දේශපාලන පක්ෂ කැප වීමට අවශ්‍යය යි, යන්න එකී ජනතා අපේක්ෂාවේ ස්වභාවය යි. උදා වූ මේ අලුත් අවස්ථාව දේශපාලන පොළොවට දැනෙන ලෙස යොදා ගන්නට නම් කැප කිරීම් කරන නායකත්වයක්, නායකයන් වෙතින් ඉදිරිපත් විය යුතු ය. මහපොළොවට දැනෙන්නේ, පහළට කාන්දු වන්නේ, ඉහළින් බෙදා දෙන තරමට යි.

අලුත් අවුරුද්ද උදා වන්නේ නොවැදගත් පැරණි දේ අත්හැර, පවුලේ හා සමාජයේ සාමූහික බව පෙරදැරිව, ජීවිත අලුත් කර ගැනීමට යි. එබැවින් දේශපාලන බිමේ වැඩ ඇල්ලීම ද ඊට ගැළපෙන සේ කළ යුතු වේ. සමාජයට සංහිඳියාව ගලන්නේ එවිට යි. විශ්වාසභංගය පරාජයට පත් වීමෙන් හට ගත් සමාජීය ප්‍රබෝධය එවැනි පළල් දේශපාලනයකින් කුළුගැන්විය යුතු වේ. සම්මුතිවාදී දේශපාලනය අත්හැරීමෙන් නො ව, ඊට අර්ථයක් දීමෙන් හා ඒ අනුව ක්‍රියා කිරීමෙන් දැනෙන වෙනස ඇති කළ යුතු ය. සම්මුතිවාදී ආණ්ඩුවට එක් වූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සතු නොවැදගත් නොගැළපීම් අලුත් ගමන වෙනුවෙන් අත්හැරීම දේශපාලන පොළොවට දැනෙන කැප කිරීමකි. අවස්ථාවාදීන් සතුටු කිරීම වෙනුවෙන් යල්පැන ගිය නොගැළපීම් තව දුරටත් අල්ලා ගත යුතු නැත.

රටේ ආර්ථිකය දුර්වල වීම සම්බන්ධයෙන් අනතුරු අඟවන මහබැංකු අධිපතිවරයා ඊට පැහැදිලි දේශපාලන හේතුවක් ද ඉදිරිපත් කරයි. එනම්: දේශපාලනය දිගින් දිගට ම අස්ථාවර වීම රටේ ආර්ථිකයට අහිතකර වී ඇති බව යි. රටේ දේශපාලන අස්ථාවරභාවය විශේෂ අවස්ථාවක් හෝ අහම්බයක් හෝ නො ව, දිගු කාලයක් තිස්සේ දිගින් දිගට ම සිදුවන්නක් බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කරයි. මේ දේශපාලන අස්ථාවරභාවය ඇති කරන්නේ රට ගැන නොසිතන, අවස්ථාවාදයට අනුව වැඩ කරන, දේශපාලනය මුදල් හම්බ කරන ව්‍යාපාරයක් බවට හරවා ගත්, දේශපාලන පක්ෂ හෝ දේශපාලන කණ්ඩායම් හෝ විසිනි. දූෂණයට වංචාවට දඬුවම් පැමිණවීම ප්‍රමාද වීම හා ඒ පිළිබඳ වගකීම කඩ වීම සම්බන්ධයෙන් විශ්වාසභංග ඉදිරිපත් කිරීම පිටුපස ඇත්තේ ද අවස්ථාවාදීව රටේ දේශපාලනය අස්ථාවර කිරීම බව දේශපාලන පොළොවට දැනෙන යථාර්ථය යි. ජන සමාජයට දැනෙන ලෙස එකී අවස්ථාවාදයට ඉඩ අවුරන්නට මේ උදා වූ අවස්ථාව යොදා ගත යුතු ය. දේශපාලන බිම ඉල්ලන්නේ නැවුම් වූ එවැනි දැනෙන වෙනසකි. ඒ වෙනසට මුල පිරීම අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම බවට පත් කළ හැකි යි.

Comments

පිටු