දන මන සුව වඩන රජ පවුලේ සොෆී කුමරිය | Page 3 | සිළුමිණ

දන මන සුව වඩන රජ පවුලේ සොෆී කුමරිය

ශ්‍රී ලංකාවේ 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් වෙසෙක්ස්හි අර්ල්වරයා හෙවත් එඩ්වඩ් කුමරු සහ සොෆී රීස් ජෝන්ස් කුමරිය පසුගිය දිනක දිවයිනට පැමිණියහ. සමාජ සුභසාධන කටයුතුවලට මූලිකත්වය දෙමින් මෙම යුවළ ශ්‍රී ලංකාවේ දින පහක් ගත කළහ. මොවුන් දිවයිනට පැමිණි දිනෙන් පසුදා මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමත් පසුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඊට පසු දිනක ඔවුන් රත්මලාන අන්ධ විද්‍යාලයේ පැවැත්වු ආබාධිත ළමයින්ගේ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනයකට සහ සංස්කෘතික වැඩසටහනකට සහභාගී විය. එපමණක් ද නොව මෙම යුවළ නුවරඑළිය, ශාන්ත ඇන්ඩෘහි විශේෂ අවස්ථා සහිත ළමයින්ගේ “මෙන් කෑෆ්” (MENCAFAP) පෙර පාසලට ගොස් එම දරුවන්ගේ සැප දුක් විමසීමට අමතක නොකළහ. 2018 වර්ෂයේ ශ්‍රී ලංකා සංචාරයක නියැලුණු එඩ්වඩ් කුමරුගේ ආර්යාව වන සොෆී රීස් ජෝන්ස් කුමරිය පිළිබඳව ‍ ලෝ ප්‍රකට වෙබ් අඩවිවල සඳහන් වු තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

අහඹු ප්‍රේමය

බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි තුන්වැන්නා ලෙස එඩ්වඩ් කුමාරයා උපත ලබා තිබේ. බ්‍රිතාන්‍යයේ මහ රැජිණගේ වැඩිමහල් පුතුන් වන වාල්ස් සහ ඇන්ඩෲ යන වැඩිමහල් සොහොයුරන්ට පසුව කිරුළේ සම්ප්‍රදායික උරුමය රඳා පැවතුණේ එඩ්වඩ් කුමරු සතුව ය. එහෙත් වර්තමානය වන විට එඩ්වඩ් කුමරුට හිමිව ඇත්තේ නම වන ස්ථානය වේ. අහම්බෙන් සිදු වුණු මුණගැසීමකින් අනතුරුව පවත්වාගෙන ගිය පෙම් සබඳතාවයකින් පසුව එඩ්වඩ් කුමරු සහ සොෆී රීස් ජෝන්ස් කුමරිය 1999 අවුරුද්දේ ජුනි මාසයේ දී විවාහයට පත් විය. මෙම යුවළගේ විවාහ ගිවිස ගැනීමේ දිනයෙහි එඩ්වඩ් කුමරු, සොෆී කුමරියගේ අතෙහි පැළැන්දු මුද්ද එකල වටිනාකමෙන් පවුම් 105,000 ක් පමණ වටිනා ආභරණයක් විය.

සමාජ සේවය

සොෆී රීස් ජෝන්ස් කුමරිය මහජන සම්බන්ධතා විෂය ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් දැනුමකින් යුක්ත කාන්තාවකි. ලෝකයේ සංවර්ධිත යැයි සළකනු ලබන රටවල ප්‍රචලිත නොමැති ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් දෙස විමසිලිමත්ව බලා එම රටවල ග්‍රාමීය ජනයාගේ විශේෂයෙන් ම කාන්තාවන්ගේ සෞඛ්‍ය මට්ටම වර්ධනය කිරීම සඳහා සොෆී කුමරිය නිරන්තරයෙන් කටයුතු කරන්නී ය. වරෙක ඇය බංලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන්ට සහ දරු දැරියන්ට දියවැඩියාව සහ පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ විය. එහිදී ඇය ලෝකයේ සංවර්ධිත රටවල කාන්තාවන්ට සහ දරුවන්ට හිමිවන පහසුකම් ග්‍රාමීයව වෙසෙන ජනතාවට ද ලබා දීම සඳහා තමන්ට කළ හැකි උපරිම කාර්යයභාර්යන් ඉටු කළා ය. එපමණක් නොව සොෆී කුමරිය දුෂ්කර ප්‍රාන්තවල පිහිටා තිබෙන ජනගහනය අඩු කෑලෑවල ඇවිදමින් එම මිනිසුන්ගේ දුක්ඛිත ජීවිත පිළිබඳව සොයා බැලීම සිදු කරන්නේ කෑලෑවල සංචාරය කිරීමට සුදුසු ඇඳුම් පැළඳුම්වලින් සැරසී ගෙන ය. ලෝකයේ ප්‍රකට මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරනු ලබන්නේ සමාජ සේවය නොපිරිහෙළා ඉටු කරන ඇය තුළ නිහතමානීත්වය ද අඩුවක් නොමැතිව තිබෙනා බව ය.

සෞඛ්‍ය ප්‍රවර්ධනය

බංලාදේශයේ මුළු ජනගහනයෙන් 10% ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරු වී සිටිති. 2030 වර්ෂය වන විට දී මේ තත්ත්වය තවත් වර්ධනය වීමට පුළුවන් බව එරට විද්වතුන් ප්‍රකාශ කර ඇත. ඒහා සමඟාමී වෙමින් සොෆී කුමරිය 2017 වර්ෂයේ දී බංලාදේශයට පැමිණ " Orbis Flying Eye " රෝහල වෙත ගොස් එහි වෛද්‍ය කාර්යය මණ්ඩලය සමඟ සාකච්ඡා කළාය. එහදී ඇය රෝහලේ සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය උපකරණවල අවශ්‍යතාවයන්, සහ රෝගීන්ගේ මුලික අවශ්‍යතා නඟා සිටුවන ආකාරය පිළිබඳව කරුණු සොයා බැලුවා ය.

මහජන සම්බන්ධතා

සොෆී රීස් ජෝන්ස් කුමරිය 1965 ජනවාරි 20 වන දින එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි රැඩ්ක්ලිෆ් ප්‍රාථමික රෝහලේදී උපත ලබා තිබේ. 1985 දී ඇයගේ පුහුණු අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු සොෆී ලන්ඩන් මහජන සම්බන්ධතා සමාගමක ලේකම්වරයෙකු ලෙස රැකියාවක් ලබා ගත්තාය. වසරක් ඇතුළත ඇය ලන්ඩන් හි කැපිටල් රේඩියෝහි පුවත්පත් දෙපාර්තමේන්තුවේ රැකියාවක් හිමි කර ගැනීමේ අභිලාශය ඇය සතු විය. ඇයගේ වෘත්තීය ජීවිතය පුරාවට ඇය ක්වෙන්ටින් බෙල් සංවිධානය ඇතුළු විවිධ මහජන සම්බන්ධතා ආයතන සඳහා තම සේවය ලබා දෙන ලදී.1996 දී ඇය ව්‍යාපාරික හවුල්කරුවකු වන මුරේ හෝකින් සමඟ එක්ව RJH Public Relations යනුවෙන් හඳුන්වනු ලබන මහජන සම්බන්ධතා සමාගමක් ආරම්භ කළා ය . ඒ අයුරින් මහජන සම්බන්ධතා නිලධාරිණියක් වශයෙන් වෘත්තීය අත්දැකීම් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි.

විලාසිතා

යහපත් සෞඛ්‍යට මුලිකත්වය දෙන ඇය සතුව පවතින්නේ හැඩැති සිරුරකි. ඇය වෙනත් කාන්තාවන්ට ද ප්‍රකාශ කරන්නේ දවසකට එක් වරක් හෝ පිහිනීම, දීවීම, ඇවිදීම, හෝ බයිසිකල් පැදීම වැනි කුමන හෝ ව්‍යායාමයක් සිදු කිරීම වඩාත් යහපත් බව ය. එමඟින් දිගු කාලීන නිරෝගී ජීවිතයක් හිමි කර ගැනීමට හැකි බව ඇය නිරන්තරයෙන් ප්‍රකාශ කරන කාරණාවක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනු ලබයි. සොෆී රීස් ජෝන්ස් කුමරිය සමාජයේ වෙසෙන අනෙකුත් කාන්තාවන්ට ද ආදර්ශයක් ගෙන දෙන්නේ එපරිදි ය. සිරුරේ හැඩය මනාව රඳා පවත්වා ගන්නා ඇය විවිධ කාලවලදී පවතින විලාසිතාවන්ද සිදු කරන්නේ තමන්ට අනන්‍ය වු ආකාරයට ය. චාම් බවට සහ සරළ බවට මූලිකත්වය දෙන ඇය ආභරණ අවම වශයෙන් පැළදීම සිදු කරනු ලබයි. තමන් සැරසී සිටින ගවුම් විලාසිතාවට හෝ වෙනත් ඇඳුම් විලාසිතාවකට අනුව ඒ හා ගැළපෙන තොප්පි විලාසිතාවන්ට ප්‍රමුඛතාවය දීමට ඇය කිසි වි‍ෙටක අමතක කරන්නේ නැත. තව ද ඇය වඩාත්ම ඇලුම් කරන්නේ අලංකාර රාමු සහිත අත් ඔරලෝසු සහ දියමන්ති ආභරණවලට බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාලය ඇසුරිණි. 

Comments