රාජ්‍ය නිලධාරීන්ගේ කොන්ද කැඩුණු පෞරුෂය | Page 3 | සිළුමිණ

රාජ්‍ය නිලධාරීන්ගේ කොන්ද කැඩුණු පෞරුෂය

බදුල්ලේ දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලවා තමන්ට දණ නමස්කාර කරගත් ඌව පළාතේ මහ ඇමැති පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

මේ වන විට ජනාධිපතිවරයාගේ නියෝගයකින් ඒ සම්බන්ධ පරීක්ෂණද පැවැත්වෙමින් තිබේ. මේ සිද්ධිය දේශපාලකයකුගේ අශ්ලීල හැසිරීමක් නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඌව ප්‍රධාන අමාත්‍යවරයාට උපරිම දඬුවම් දීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් මෙම සිද්ධියේදී පොදු සමාජය කතා නොකරන පැත්තක්ද තිබේ. එම සිද්ධියේදී බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනියගේ හැසිරීමද රාජ්‍ය සේවාවේ ගෞරවයට හානිකර බව බොහෝ දෙනෙක් දන්නේ නැත. ඈ රාජකාරීය නිවැරැදිව කළ බව ඇත්තකි. නමුත් ඈ රාජකාරිය නිවැරැදිව කිරීමෙන් පසුව ඊට කිපුණු මහ ඇමතිවරයා විසින් ඈව තම නිල නිවසට කැඳවා දණ නමස්කාර කර සමාව ලබා ගැනීම සිදු වූයේ රාජකාරී භාවිතය හා ආචාර ධර්ම නොදැන කටයුතු කළ නිසා ය.

සාමාන්‍යයෙන් දේශපාලන අධිකාරිය විසින් තම නිල නිවසට කැදවන්නේ තමන්ට ඍජුවම සම්බන්ධ හා වගකිව යුතු රජයේ නිලධාරීන් ය. ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරු හා ආයතන ප්‍රධානීන් කැඳවේ. නමුත් ඊට පහළ නිලධාරීන් කැඳවන්නේ නැත. උද්ගතව ඇති තත්ත්වය දැන දැනත් විදුහල්පතිනිය මහ ඇමතිවරයාගේ නිවසට යෑම බරපතළ වරදකි.ඈ එසේ යන්නට කලින් තම ප්‍රධානීන් වන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දැනුවත් කළා ද යන්න පැහැදිලි නැත. එසේම සිදුවන්නට යන්නේ අහිතකර තත්ත්වයක් බව ඈ දන්නා නිසා ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරයකුගෙන් උපදෙස් ගත්තාදැයි පැහැදිලි නැත.

අවසානයේ සිදුවූයේ පළාත් අධ්‍යාපන අමාත්‍යාශ ලේකම් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සමග මහ ඇමතිවරයාගේ නිවසට ගොස් රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීමයි.

සාමාන්‍යයෙන් සමාජයේ ජනප්‍රිය අදහස් වන්නේ මෙවැන්නක් සිදු වූ පසුව දේශපාලකයාට පළි ගැසීමයි. පළාත් මහ ඇමතිවරයා කර ඇති ක්‍රියාවේ බරපතලකම නොසලකා හැරිය නොහැක. ඔහුට පරීක්ෂණයක් පවත්වා දඬුවම් කිරීම මෙමගින් අවලංගු නොවේ. නමුත් විදුහල්පති විසින් කරන ලද නොමනා ක්‍රියාව වැරදි පූර්වාදර්ශයක් බව අවශ්‍යයෙන්ම පැහැදිලි කළ යුතුය.

රජයේ සේවකයන් බරපතළ විනය නීති මාලාවකින් බැඳී සිටී. විශේෂයෙන් රජයේ මාණ්ඩලික නිලධාරින් ඒ විනය නීති තදබල ලෙස රැකිය යුතුය. කාන්තාවක් වීමත් දෙමළ වීමත් විනය නීති නොතකා හරින්නට හේතුවක් නොවේ. ඈ දෙමළ වීමත් කාන්තාවක් වීමත් නිසා විශේෂයෙන් සැලකිය යුතුය යන්න මිථ්‍යාවකි. ඈ දෙමළ වීම නිසා පෞර්ෂය හානිකර ගත යුතු නැත. කාන්තාවක වීම නිසා ද පෞර්ෂය හානිකර ගත යුතු නැත. මේ කිසිවක් ඇගේ හැසිරීම සාධාරණීකරණය කිරීමට හේතූන් නොවේ.

බොහෝ රාජ්‍ය නිලධාරීන් පෞරුෂයක් නොමැතිව වගකීමක් රහිතව කටයුතු කරන්නට කැමැතිය. එවිට අරයා කිව්වා මෙයා කිව්වයැයි පවසමින් වගකීම් විරහිතව රාජකාරී කරන්නට හැකිය. එහෙත් ආයතන සංග්‍රහය අනුවත් රාජ්‍ය සේවාවේ පොදු භාවිතාව අනුවත් සෑම රාජ්‍ය සේවයකුටම රාජකාරී කරන ක්‍රමවේදයක් පවතී. එය නීත්‍යනුකූල විය යුතුය. තමන් කරන රාජකාරීයට තමන් වගකිව යුතුය. වගකීමෙන් ගැලවී කවුරු හෝ කිව්ව පළියට රාජකාරීය කරන සම්ප්‍රදායක් රාජ්‍ය සේවාවේ නොමැත. එහෙත් දේශපාලකයන් සමග අයථා ගනුදෙනු කරන හා නීත්‍යනුකූල නොවන දෑ කරන බොහෝ රාජ්‍ය නිලධාරීහු මේ වගකීමෙන් විරහිතභාවයට කැමැතිය. ඊට හේතුව එමගින් තම නීති විරෝධී අභිලාශයන් සම්පූර්ණ කර ගත හැකි බැවිනි. නමුත් රාජ්‍ය සේවාවේ අභිමානවත් හා ගෞරවයකින් රාජකාරී කරන නිලධාරීහු විනය නීති වලට ගරු කරති. ඔවුහු රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කරති. එම පිරිස අතලොස්සක් වුවත් රාජ්‍ය සේවය මෙපමණකින් හෝ ආරක්ෂා වී ඇත්තේත් දේශපාලකයන් ඕනෑවට වඩා අත්තනෝමතික නොවන්නේත් එවැනි සුළු පිරිසක් හෝ සේවාවේ සිටින බැවිනි. නමුත් බදුල්ල දෙමළ මහ විද්‍යාලයේ විදුහල්පතිනිය හැසිරී ඇත්තේ එවැනි ගෞරවනීය අන්දමින් නොවේ. මරණ තර්ජන නොව මරා දැමූවත් තමන් බැඳී සිටින විනය නීති කඩ කරන්නට කිසිවකුට නොහැකිය. එසේ කඩ කරන්නාට සමාවක් දුනහොත් එය වැරදි පූර්වාදර්ශයක් වන අතර නිරන්තරයෙන් ඒ මග යන්නට පිරිස් එකතු වේ.

අභිමානවත් රාජ්‍ය සේවාවක් ගොඩනගා ගැනීම අභියෝගයකි. තර්ජන තිබුනාට හෝ පළි ගැනීම් සිදුවූවාට හෝ සේවාවේ අභිමානය බිඳ වැටෙන අයුරින් රාජකාරී කරන්නට කිසිවකුට නොහැකිය. තමන් බලාපොරොත්තු වන ලෝකය තනන්නට තමන් කැප කිරීමක් කළ යුතුය. තමන් ගෞරවනීය වන්නේ ඒ කැප කිරීම මත ය. යමෙක් ඒ සමාජ වටිනාකම් පාවාදෙමින් දේශපාලකයන් හා ගනුදෙනු කර අභාවවාචක අත්දැකීමකට ලක්වූ පසුව සමාජ අනුකම්පාව දිනා ගැනීමට විවිධ කතා කීම ශෝචනීයය.

විදුහල්පතිවරයකු යනු ප්‍රබල සිවිල් චරිතයකි. එවැනි සිවිල් චරිතයක් හැසිරිය යුත්තේ සමාජ ගෞරවය ආරක්ෂා වන පරිදි ය. එදින පළාත් ප්‍රධාන ඇමතිවරයා විසින් ඈ ඒ අශ්ලීල ක්‍රියාවට යොමු කළ ද ඈට කරන්නට තිබුනේ පසුව නිහඬව සිටීම නොවේ. ඈ මේ මොහොතේ දී හෝ මුඛය විවෘත කිරීම යහපත් ය. එසේ නොවුනා නම් ගිලටීනයට යන්නේ මේ අශ්ලීල ක්‍රියාව ලෝකයට හෙළි කළ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ය. මේ සිද්ධිය රටට හඬ ගා කියන්නේ රාජ්‍ය නිලධාරීන් පෞර්ෂවත් විය යුතු බවය. රාජ්‍ය සේවාවේ ගෞරවය ආරක්ෂා කළ යුතු බවය. අශ්ලීල දේශපාලකයන් පාලනය කළ හැක්කේ එවැනි නැගී සිටීමකින් මිස නිහඬව සිටීමෙන් නොවේ.

 අබරන් 

Comments