නිම්සරාට අලුතින් නිවෙසක් | Page 3 | සිළුමිණ

නිම්සරාට අලුතින් නිවෙසක්

සිත්මල්යාය තවත් සමාජ සත්කාරයක්

සිළුමිණ සිත්මල් යායට ඉඳහිට කඳුළු වැටෙන්නේය. ඒ වැටෙන කඳුළු පිසින්නට මුවට සිනහ එක්කරන්නට නිරතුරුවම සිත්මල් යායා පාඨකයෝ අත්වැල් බැඳ ගන්නාහ. එසේ එක් වූ පාඨකයන් කළ සිළුමිණ සිත්මල්යාය තවත් සමාජ සත්කාරයකි මේ. නිවෙසක් නැතිව අපමණ දුක් විඳි නිම්සරාගේ මුවගට සිනහවක් කැන්දාගෙන එන්නට ඉකුත් සඳුදා අපට හැකි විය. රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් වැය කර ඉදිකරන ලද නිදන කාමර දෙකක්, කෑම කාමරය සාලය සහ මුළුතැන්ගෙය සහිත නව නිවෙස නිම්සරා‍ට බාර දීම පසුගිය දා සිදුකැරිණි. පිරිත් සඡ්ඣායනා කරමින් බුදුරුවක් නිවෙසෙහි තැන්පත් කර ආගමික වතාවත් සිදුකරන ලද්දේ මිතුරු මිතුරෝ සංවිධානයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් විසිනි. උන්වහන්සේ ද නව නිවෙසට ගෙවැදුණු පවුල වෙත තෑගි බෝග පිරිනැමූහ. මෙම අවස්ථාවට නිම්සරාට අකුරු කරවූ ලක්මාලි ගුරුතුමිය මෙන්ම ප්‍රදේශයේ ප්‍රභුන් කිහිපපොළක්ම පැමිණ සිටියහ.

දිල්මි නිම්සරා අපට හමු වූයේ අහම්බෙනි. ඒ ඉකුත් වසරේ ජූනි මාසයේ දිනෙක නායයෑමේ අවදානමට ලක් වූ හාන්දුකන්ද ගම්මානයට ගිය ගමනකදීය. එදින දිල්මි සිටියේ කොඩිතුවක්කුකන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබමින්ය. ඒ වන විට එම පාසලේ සිටියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස් දෙනෙකු පමණි. (දැන් එම පාසල වසා දැමූ පාසල් ගොඩට එක්වී හමාරය. එම සිසුහු දැන් වෙනත් පසල්වල ඉගෙනුම ලබන්නාහ.) එදින අප නිම්සරාගේ නිවෙසට ගියේ ඇගේ පෙරැත්තයටය. නමදු කඩා වැටෙන්නට ඔන්න මෙන්න මෙන් වූ අබලන් නිවෙසේ නිම්සරා ඇගේ කුඩා සොයුරා, මව, පියා හා සීයා දිවි ගෙවන අයුරු දුටු අපි බොහෝ කම්පාවට පත් වූයෙමු. වැසීයාමට ඔන්න මෙන්න කියා තිබූ පාසලත් නිම්සරා ගැනත් අපි සිත්මල්යායට ලියූවෙමු. ඒ සිසුන් පස්දෙනාගේ ඉස්කෝලේ යන හිසිනි. කිහිප දෙනෙක්ම අප ඇමතූහ. පොත් පත් හා පාසලට අවශ්‍ය දෑ දීමට ඔවුහු එකඟ වූහ. අවසානයේ රත්මලානේ සූනීතා කරුණාරත්න හා ජයවික්‍රම මහතා විසින් දෙන ලද අඩුම කුඩුම ද රැගෙන උඩහමුල්ලේ සිය පවුලේ අය සමඟ පසුගිය ඔත්තෝබර් මාසයේ දිනෙක අයෙක් කොඩිතුවක්කුකන්ද ප්‍රාථමික විද්‍යාලයට ගියේය.

ඒ වන විටත් නිම්සරාගේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලැබේ යැයි යන්න සිහිනයක් පමණක්ව තිබිණි. සැබවින්ම නිම්සරාගේ පවුලේ උදවියටද අලුත් නිවෙසක් යන්න සිහිනයක් පමණක් විය. නමුදු පොත පත්ද රැගෙන එහි ගිය මුදිත රත්නායක නිම්සරාගේ නිවෙස බලන්නට ද ගියේය. ඔහු එදිනම හවස අප අමතා කීවේ කෙසේ හෝ නිම්සරාට නිවෙසක් තනා දෙන බවය. දින සති ගෙවී ගියේය. මුදිත සිය මිතුරන්ගේ සහාය ඇතිව නිම්සරා‍ට අලුත් නිවෙසක් තනන්නට වෙහෙස වූයේය. ඔහු‍ගේ සහායට හර්ෂ කුරුකුලසූරිය ද එක්ව සිටියේය. නොවැම්බර් මස මැද භාගයේ දිනෙක නිවෙස තැනීම ආරම්භ වූයේය. කූලි වැඩ කර දිවි රැකගත් නිම්සරාගේ පියා ඒ වන විටත් නව නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් දමා තිබිණි. මුදිත ඇතුළු මිතුරු පිරිස ඉතාම කෙටි කලකදී නිවෙස ගොඩ නැගූවේ මේ අත්තිවාරම මතය. වැස්සට නොතෙමෙන නිවෙසක් සිහිනයක්ව පමණක් වී තිබූ නිම්සරා ඇතුළු පවුලේ අයට නව නිවෙසක පදිංචි වීමේ වාසනාව ඉකුත් දා උදා වූයේය.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 1990 කණ්ඩායමේ සාමාජිකයන් විසින් මේ සද්කාර්යය සඳහා දායකත්වය දක්වන ලදී. ඒ අතර භරත, සංජීව, විමල්, ගුවශංඛ, රුකමල්, රුවන්, ගිහාන් සහ රජිත ආදීහු වෙති. එමෙන්ම ආසිරි ද මේ කණ්ඩායම සමඟ එක්ව සද්කාර්යයට තම දායකත්වය දුන්නේය.

වසර ගණනාවක් තිස්සේ වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් හරි හමන් ලෙස හිතට සෙවණක් හිතට නිවනක් නොවූ ජීවිතයට නිමාවක් දෙමින් තමන්ගේ ජීවිතයට සැනසිල්ල උදා වූ බව නිම්සරාගේ මව දිලිනි පවසන්නේ කෘතගුණපූර්වක ය.

“අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මහත්තයා කුලී වැඩ කරන්නේ. මහත්තයාගේ බාප්පා තමයි අපට මේ ඉඩම දුන්නේ. සිළුමිණ පත්තරයට බොහෝම පින්. පත්තරේ අප ගැන පළවුණ නිසයි අපිට මේ ගේ ලැබුණේ. අපි වෙනුවෙන් මේ නිවෙස හදලා දුන්න හැමෝටම බොහෝම පින්.”

නව නිවෙසක් ලැබීමේ සතුටින් ගේවටා දුව පැන නටන නිම්සරා අප හා මෙසේ පැවැසුවාය.

“මං කලින් ඉගෙන ගත් පාසල දැන් වහලා. දැන් ඉගෙන ගන්නෙ කිරිඇල්ල ප්‍රාථමික විද්‍යාලයේ හතර වසරේ. අද මට හරි සතුටුයි. අපි හිටපු ගේ වැස්සට‍ තෙමෙනවා. මගෙ සපත්තු ඇඳුම් තෙමෙනවා. එක දිගටම වැස්සම මම ඉස්කෝලේ යන්නෙත් නැහැ. ඇඳුම් තෙමෙන නිසා. අපිට දැන් මේ ගෙදර ලස්සනට ඉන්න පුළුවන්. අපිට උදව්කරපු නැන්දලා මාමලා හැමෝටම ස්තුතියි. ”

නිම්සරාගේ සිහිනය සෑබෑ වුයේය. ඒ සිහිනය සෑබෑ කරන්නට වෙහෙස වූ තම කාලය ධනය ශ්‍රමය වැය කළ සිළුමිණ පාඨක මුදිත රත්නායක ඇතුළු උතුම් මිනිසුනි, ඔබට අපේ ප්‍රණාමය. 

 

Comments