
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඇති වෙමින් පැවති දේශපාලන උණුසුම නාමයෝජනා භාරගැනීම අවසන් වීමත් සමග තවත් උණුසුම් වෙමින් තිබේ. කාලයකට පසු පවත්වන්නට නියමිත මැතිවරණයක් නිසා සමාජය අතර යම් උනන්දුවක් පැවතීම සාමාන්‍ය කරුණකි. මැතිවරණ උණුසුම ඇති වීමත් සමඟ ඒ ඒ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල කතා-බහ හා සාකච්ඡාවට ලක් කරන දේශපාලන කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් ය. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මෙන්ම ඉන් බැහැර දේශපාලන පක්ෂද අවකාශය තුළ හැසිරෙන අන්දම නිරීක්ෂණය කිරීම අතිශය වටී.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පවත්වන කුමන මැතිවරණයකදී වුව දේශපාලන අවකාශය පිරෙන්නේ ජාතික වශයෙන් වැදගත් දේශපාලන කරුණුවලිනි. ඊට හේතුව: පවත්වන කුමන මැතිවරණයකදී වුව ආණ්ඩු විරෝධය ඉස්මත්තට ගැනීමයි. දේශපාලන සංස්කෘතියක් ලෙස ආණ්ඩු විරෝධයම පමණක් පවතින ශ්‍රී ලාංකික සමාජය තුළ සෙසු දේශපාලන කාරණාකාරණ අවරට යෑම නිරත්තරයෙන් සිදු වේ. කුමන දේශපාලන පක්ෂය බලයේ සිටියත් විපක්ෂය උත්සාහ ගන්නේ ආණ්ඩුව පෙරලා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීම ය. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම මුළු වැර යොදා ආණ්ඩු විරෝධය ඉහළට ඔසොවා දේශපාලන අවකාශය තුළ තැති ගැන්මක් ඇති කිරීම දක්නට ලැබේ.
විපක්ෂයේ පහරදීම හමුවේ ආණ්ඩු පක්ෂය ද කරන්නේ එම චෝදනාවලින් ගැලවීමට ජාතික තලයේ දේශපාලන කරුණුම ඉහළට එසවීමයි. තමන්ගේ ආණ්ඩුව බලයේ සිටිය දී කරන ලද සංවර්ධන කාර්යයන් හා වෙනත් කටයුතු උළුප්පා දක්වමින් විපක්ෂයේ විවේචනයන්ට මුහුණදීම ආණ්ඩු පක්ෂයක ස්වභාවයයි. මේ නිසා සමස්තයක් ලෙස දේශපාලන තලය ධ්‍රැවීකරණය වන්නේ ජාතික වශයෙන් වැදගත් දේශපාලන කරුණුවලිනි.
දැන් පවත්වන්නට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයයි. එහිදී නාගරික තලයේ මහා නගර සභාවල මෙන්ම අර්ධ-නාගරික මෙන්ම ග්‍රාමීය තලයේ ප්‍රාදේශීය සභාවලද මැතිවරණ පැවැත්වේ. එහෙත් වැඩි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ඇත්තේ ග්‍රාමීය තලයේය. එවිට ග්‍රාමීය තලයේ දේශපාලන කරුණු සාකච්ඡාවට ලක් වීමත්, ඡන්දය දීමේදී ඒ දේශපාලන කරුණු කිරා-මැන තීන්දුවක් ගැනීමට පෙලඹවීමත් අනිවාර්යයෙන් සිදු විය යුත්තකි. උදාහරණයක් වශයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ඈත පිහිටි පානම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සාකච්ඡාවට ලක් කළ යුත්තේ පානම්පත්තුවේ සංවර්ධන කටයුතු හා ඒවා එහි ජන ජීවිතයට අදාළ වන අන්දමය.
එහෙත් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පවා ජාතික මට්ටමේ දේශපාලන කරුණු ඉස්මත්තට ඇදගන්නා නිසා තමන් භෞතිකව මුහුණ දෙන ගැටලු අමතක කරමින් දේශපාලන පක්ෂ හා මාධ්‍ය විසින් ඉහළට ඔසවා තබන කාරණාකාරණ මත දේශපාලන තීන්දු-තීරණ ගැනීමට ජනයා පෙලඹෙති. එක් අතකින් මෙය දේශපාලන පක්ෂ විසින් කරන වැරදි මඟපෙන්වීමකි. අනෙක් අතින් ලංකාවේ මාධ්‍ය භාවිතාවේ යොදන වරදි මාධ්‍ය සංකල්පයන්ගේ ප්‍රතිඵලයකි. මේ නිසා ග්‍රාමීය සංවර්ධනය සම්බන්ධයෙන් බරපතළ අගතිවාදී දෑ සිදු වේ.
ග්‍රාමීය සංවර්ධනයේදී සිදු වන මූලික අගතිය වන්නේ සංවර්ධන ප්‍රමුඛතාවක් හා සංවර්ධන සැලැස්මක් නොවීමයි. මේ විෂය සම්බන්ධයෙන් ප්‍රවීණ රාජ්‍ය නිලධාරීන් සිටියද ඒ සම්බන්ධව ඔවුන්ගෙන් දායකත්වයක් ලබාගැනීම දැන් නොකෙරේ. ජනතා නියෝජිතයන් මහජන හඬ හා අවශ්‍යතාව ඉදිරිපත් කරන විට ඒවා සැලකිල්ලට ගනිමින් සංවර්ධන සැලස්ම හා ප්‍රමුඛතාව තීරණය කළ යුත්තේ විෂයට අදාළ ප්‍රවීණයන් සහිත මහජන නියෝජිතයන්ගේ කමිටුවකිනි. ඒ සම්බන්ධයෙන් ආදර්ශයක් ලෙස ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ගත හැකි වුවද, එය භාවිතාවක් ලෙස සාර්ථක මට්ටමක නොපවතී.
දැනට ක්‍රියාත්මක වන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අදාළ වෙනත් නිලධාරීන් සම්බන්ධ වන අතර, ලේකම්වරයා වන්නේ ප්‍රාදේශීය ලේකම්ය. ප්‍රාදේශයේ සියලු මහජන නියෝජිතයන්ද ඊට ඇතුළත් වන අතර, සභාපතිවරයා ලෙස ඒ මහජන නියෝජිතයන්ගෙන් කෙනෙක් පත් කෙරේ. බොහෝ විට ආණ්ඩු බලය දරන පක්ෂයේ ප්‍රාදේශීය මහජන නියෝජිතයා ඒ තනතුරට පත් වේ. මේ ව්‍යූහය තුළ මහජන අවශයතා හා ඕනෑ-එපාකම් නියෝජනය විය යුතු වුවත් ප්‍රායෝගිකව මේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වන්නේ ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන්ගෙන් පමණි. භාවිතාව තුළම විපක්ෂ නියෝජිතයන් එමගින් පිටමං කර ඇත. එනිසා ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයාගේ අවශයතාවට නැටවෙන ආයතනයක් බවට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව පත්ව ඇත.
එසේම ප්‍රාදේශයේ සියලු මහජන නියෝජිතයන් ඉදිරිපත් කරන මහජන අවශ්‍යතා හා ඕනෑ-එපාකම් එහිදී විමර්ශනයට ලක් කර සංවර්ධන සැලස්මක් සකස් කරගන්නේද නැත. ඒ සංවර්ධන සැලස්ම ප්‍රමුඛතාව අනුව ක්‍රියාත්මක කරන්නේද නැත. එනිසා සිදු වන්නේ මහජන නියෝජිතයන්ට හා ඒ ඒ අමාත්‍යාංශයන්ට ලැබෙන ප්‍රතිපාදන කිසිම සැලස්මකින් තොරව ප්‍රාදේශීය ඒකක තුළ වියදම් කිරීම පමණි. එහිදී එකිනෙකට පරස්පර විරෝධ ව්‍යාපෘති පවා ක්‍රියාත්මක කර මහජන මුදල් නාස්ති කිරීම පවා සිදු වේ. බොහෝ විට සැලැස්මක් නැති මෙවැනි වැඩකටයුතු නිසා මහජනයාට ලැබෙන වරදානයක් නැති අතර, මුදල් ගසා කන්නේ කොන්ත්‍රාත්කරුවන්ය.
ප්‍රාදේශීය සංවර්ධනයේ මේ වැරැදි හා පිළිවෙළක් නැති යන්ත්‍රණය වෙනුවට ශක්තිමත් හා සැලසුම්සහගත යන්ත්‍රණයක් සකස් කරගැනීමට කිසිවෙක් උනන්දු නොවෙති. ඒ සම්බන්ධයෙන් ඊනියා මහජන නියෝජිතයන් කොහෙත්ම උනන්දු නොවෙන්නේ එවිට ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් පොම්ප කරන කොන්ත්‍රාත්කරුවන්ගේ මල්ල හිඳෙන නිසාය. එනිසා ඒ සඳහා මූලික වී සැබෑ සංවර්ධන යන්ත්‍රණයක් සකස් කරගැනීම සමස්ත සමාජයේම වගකීමකි. ඊට විකල්ප දේශපාලනයක යෙදෙන දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද ඇතුළත් සමාජය මූලික විය යුතුය. එහෙත් එවැන්නකට පළාත් පාලන මැතිවරණ උණුසුම තුළ සංවාදයක් ඇති කර නොගැනීම මහත් අවාසනාවකි.
අබරන්