
විසල් තඹුත්තේගම නගරය වෙත පිවිසි මම තඹුත්තේගම - පුත්තලම් හන්දිය ප්‍රධාන මාර්ගය ඔස්සේ කිලෝ මීටර් අටකට ආසන්න දුරක් පැමිණියෙමි. ඒ පහේ කණුව හන්දිය තෙක්ය. එය කුඩා කඩ මණ්ඩියකි. ගැමියනට අනුව නම් කුඩා නගරයකට නොදෙවැනිව ඇවැසි බොහොමයක් දෑ සපයා දෙන්නට තරම් මේ කඩමණ්ඩිය පොහොසත්ය. රාජාංගණය ගොවිජනපදයේ දී දකින කඩමණ්ඩි අතර නේක ව්‍යාපාර සහිත සරු බිමක් ලෙස මෙ බිම ගැමියනගේ මතකයේ රැඳී ඇත. මෙහි පිහිටි රාජාංගණය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලත්, මෑතකදී සංවර්ධනය වී ඇති පොළ භූමියත් ඒ වගට උපකාරි වී ඇත. ඒ හැමට නොදෙවැනිව ජනපදය ඇරැඹෙන්නට පෙර සිටම මෙය එකල ජනාවාසව පැවැත ඇති ගම්මැදිවල ගැමියන්ගේ හාල්, පොල්, කරවල, තුනපහ, සීනි, බුලත් හා පුවක් ආදි ඕනෑ එපාකම් සැපයු කඩපිලක් ලෙස පැවැති බව තලතුනා ගැමියෝ දැනුදු පවසති.
එම්.එන්. සැමුවෙල් ප්‍රනාන්දු මහතා ජනපදය ඇරැඹී වසර දෙක තුනක් ගතවෙද්දී මෙබිම පය ගැසු අයෙකි.
“ඉස්සර ගම්වල ඔය විදුලිය කියලා දෙයක් තිබුණේ නෑ. අපි රෑට හදිසියකට එහේ මෙහේ ගියේ පොල් අතු පන්දම්, හනසු එහෙම පත්තු කරගෙන. ගෙවල්වල ලන්තෑරුම්, කුප්පි ලාම්පු එහෙම තමයි පත්තු කෙරුවේ. ඒ කාලේ ඔය මෝටර් සයිකල් එහෙම ගම අහලක දකින්ඩ තිබ්බේ නෑ. බයිසිකල් තිබ්බෙත් බොහොම අඩුවෙන්. කරත්තේ තමයි ගොඩක් වෙලාවටබර අදින්ඩ එහෙම පාවිව්වි කෙරුවේ. මිනිස්සු වැඩි හරියක් පයින් තමයි ගමන්බිමන් ගියේ. ඒ කාලේ හරියට කරත්තකාරයෝ ගම්වලට ආවා. ගම්වල පොල් අතු හිඟයි. මගේ මතකේ හැටියට සත පහකට වගේ තමයි පොල් අත්තක් වික්කේ.”
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ සංකල්පයකට අනුව ගොවි ජනපද දිවයිනේ විවිධ තැන්හි ස්ථාපිත වන්නේ මින් දශක ගණනාවකට එපිටින් ය. විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මේ නව සංකල්පයට උරදීමට එවක යොමුව ඇත්තේ නේක මතවාද ද ඊට එරෙහිව මතවාද වපුරන අතරේය. නන්නාඳුනන ප්‍රදේශයකට විත් ජීවිතය අලුතින් ඇරැඹීමට බොහෝදෙනෙකු තුළ වු කැමැත්ත ආපසු හැරවීම සඳහා ද ඒ මතවාද ඉවහල්ව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ සියල්ලක් හා මුහුව නිර්මාණය වු රාජාංගනය ගොවි ජනපදයේ සිනහ කඳුළු සපිරි ජීවන පෙවෙත දශක පහකින් දැන් මුහුකුරා ගොස් ඇත.
තිබුණ ලෙසට අපි ඉඩකඩ බෙදාගෙන
වෙන්කර ගත්ත බිම පැදුරක් එළාගෙන
ඈතින් පෙනෙන මහ වන සිරි බලාගෙන
අපි තුටු වුණා මතු දියුණුව මවාගෙන
එදවස මෙබිම මත පය තැබු ගැමියෙකුගේ අද මතකය එබන්දකි. තඹුත්තේගම සිට පුත්තලම් හන්දිය තෙක් දිවෙන ජනපදයේ ප්‍රවේශ මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ගැමියන්ගේ කලක පටන් පැවැති ඉල්ලීමක් මල්ඵල දැරීමකි. 1960 දශකයේ මුල භාගයේ දී රාජාංගනය ගොවි ජනපදය ස්ථාපිත වීමත් සමඟ ජනාවාසව ඇති ගම්මාන ගණනාවක අවශ්‍යතා සපුරාලීම උදෙසා තාර අතුරා එවක ඉදිකොට ඇති කිලෝ මීටර් 15 ක් පමණ වන මෙම මාර්ගය දශක පහක් ඇවෑමෙන් දෙපයින් හෝ යා නොහැකි වන සේ අබලන්ව පැවැති බව ගැමියෝ සඳහන් කරති. මාර්ග ප්‍රතිසංස්කරණ කාර්යත් සමඟ එතෙක් පැවැති බොහෝ කරදර අහවරව ගිය බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.
පළාතේ බොහෝ දෙනා ගොවිකමට මුල් තැන දී කටයුතු කරති. රාජාංගණයේ කේ. එම්. නිමල් ගොවිකම සවිය කොටගෙන ජීවිතය සරුකර ගත් අයට හොඳ ආදර්ශයකි.
“අඩුම ගානේ මේ ගම්වල සියයට අනුවක් විතර මිනිස්සු ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. ගන්න වී ටික, එළවළු ටික කරදරයක් නැතිව විකුණන්ඩ ගෙනිය ගන්ඩ විදිහක් තිබුණේ නෑ අපිට. මෙහේ කෙසෙල් වගාව සරුවට කරනවා. හැම දවසකම වගේ කෙසෙල් ගොවියන් අස්වැන්න අරගෙන තඹුත්තේගම ආර්ථීක මධ්‍යස්ථානයට යනවා. කරදරේකට ලෙඩෙක් ඉස්පිරිතාලෙටකට ගෙනිය ගන්ඩ බැරි තත්වයක් තිබුණේ. දැන් දෙයියනේ කියලා පාර හැදුවට පස්සේ ඒ හැම ප්‍රශ්නයක්ම ඉවරයි.”
රාජාංගණය ජනපදයේ වම් ඉවුර යාය ගම්මාන 18 කින් සමන්විතය. දකුණු ඉවුර යාය 08කින් සමන්විතය. වම් ඉවුර තඹුත්තේගම නගරයෙන් ඉකුත්ව පුත්තලම් හන්දිය තෙක් ද, දකුණු ඉවුර තඹුත්තේගම - පුත්තලම් හන්දිය මාර්ගයේ කිලෝ මීටර් පහක් පමණ පැමිණි පසු හමුවන සිරිමාපුර හන්දියෙන් පිවිස ගිරිබාව නගර සීමාව දක්වා විහිද පැතිර යයි. වම් ඉවුර කුරුණෑගල දිස්ත්‍රික් මායිම හා යාව තිබීම තවත් විශේෂත්වයකි.
නිශ්චිත මායිමක් නිසි අන්දමින් සොයා ගත නොහැකි විසල් රාජාංගණය වැව අභිමුව මොහොතක් නැවති මම හාත්පස බැලිමි. සිහිලැති ජල කඳ පිස හමා එන සුළඳ ගතට ගෙන දෙන්නේ අපමණ සුවයකි. ගිනි මද්දහනේ එක එල්ලේ වැටෙන හිරු රැස් දීප්තිමත් මල් පොහොට්ටු දස දහසක් වැව්දිය මත තැන තැන සිතුවම් කරයි. ඈත ඉමක දිය රල අතරින් යන්තමින් මතුව පෙනෙන හුදෙකලා ඔරුවක දසුන මා නෙත ගැටේ. වැව් මායිමේ කොනක දිස්වනුයේ ශ්‍රී බෝධිරාජාරාම විහාර බිමය. මේ විසල් වැව මෙබිමෙහි හදවතය. ගොවියන් හා ධීවරයින් දස දහස් ගණනකට හව්හරණ වී ඇත්තේ මේ සිහිලැති මහා දියකඳය.
රාජාංගණය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයේ පිහිටි රාජාංගණය ජලාශයේ වාන් දොරටු අලුතින් සවිකිරීමට පියවර ගෙන ඇත. රුපියල් මිලියන 425ක වියදමින් වාන් දොරටු 30 ක් මෙසේ අලුතින් සවිකිරීමට කටයුතු යොදා තිබේ. ලෝක බැංකු මුල්‍යධාර මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ
අධීක්ෂණයෙන්, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය යටතේ වාන් දොරටු සවිකිරීම සිදු කෙරේ. මීට සමගාමීව පාලක මැදිරියක් ද වැව් බැම්මට යාබදව ඉදිකිරීමට පියවර ගෙන ඇත. 1960 දශකයේ දී වැව ඉදිකළ දා පටන් මෙවන් පුර්ණ ප්‍රතිසංස්කරණ කාර්යයක් සිදුවන ප්‍රථම අවස්ථාව මෙය බව ගොවීහු පවසති.
වේල්ලේ දහසය වැනි වාන් දොරටුවේ සිට තිස්වැනි වාන් දොරටුව දක්වා අලුතින් වාන් දොරටු සවිකිරීම රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන අතර, ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 202 කි. වේල්ලේ පළමුවැනි වාන් දොරටුවේ සිට පහළොස්වැනි දොරටුව දක්වා අලුතින් වාන් දොරටු සවිකිරීම පෞද්ගලික සමාගමක් මගින් සිදුකරන අතර ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් ල් මිලියන 223 කි.
රාජාංගණය වැව යටතේ ඇති සමස්ත වාරි ඉඩම් ප්‍රමාණය අක්කර 15,500 කි. අක්කර අඩි 76,603 ක උපරිම ජල ධාරිතාවයක් දැරීමේ හැකියාවක් රාජාංගණය වැව සතුව පවතී. ප්‍රධාන වශයෙන් වී සහ එළවළු වගාව කෙරෙහි ගොවීන් ගේ ඇත්තේ වැඩි නැඹුරුවකි. දැන් දැන් කෙසෙල් හා ගස්ලබු ආදි බහු වාර්ෂික බෝග සඳහා ගොවීන් යොමුව ඇත්තේ වසර පුරාම ලැබිය හැකි අස්වැන්න අරමුණු කොටගෙනය. මෙහි එක යායට කුඹුරු ආශ්‍රිතව සිදුකොට ඇති කෙසෙල් වගාව සුලබ දසුනකි.
එහැම සඳහා සරණව ඇත්තේ රාජාංගණය වැව් දියවරමය. නියං සායෙන් ඉකුත් කන්න කිහිපයක් දිස්ත්‍රික්කයේ බොහෝ තැන්හි වගාව මඟ හැරුණද සුළු වශයෙන් හෝ වගා කිරීමට රාජාංගණයේ ගොවීනට පිහිට වූයේ මේ වැව් දියමය. ප්‍රතිසංස්කරණ කටයුතු අතරේම මෙවර මහ කන්නයේ සමස්ත භුමියේ වගාව සඳහා දියවර නිකුත් කිරීමට වාරි බලධාරිහු පියවර ගත්හ.
හැත්තෑ හැවිරිදි එස්. රන්මැණිකේ මහත්මිය මෙහි පැමිණ පදිංචි ව ඇත්තේ ජනපදය ඇරැඹී වකවානුවේදීය. ඇය පැමිණෙද්දී මේ විසල් වැව හැදෙමින් පැවතිණ.
“අපි මෙහේ එනකොට වැවේ වැඩ ගොඩක් දුරට ඉවරයි. පදිංචියට ආපු සමහරු වැවේ කට්ටි කපන්න වගේ දෙවල්වලට එකතු වුණා. ඒ කාලේ මේක එකම කැලෑවක්. අද පුදුම වෙනසක් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට වැවෙන් වතුර ලැබුණ. ඉඩකඩම් ඕනෑතරම් තිබුණා. ගොවිතැන් කරලා හම්බ කරගත්තා. අපිට මෙහෙ පදිංචියට ආපු මුල් දවස්වල ආහාර සලාකයක් දුන්නා. හාල්, පාන් පිටි, සීනි, කරවල වගේ දේවල් ඒකේ තිබුණා. මට මතකයි පොළොව අස්වද්දන්ට උදලු තල, යකඩ ඉනි, මන්නා පිහි වගේ දේවල් අපිට හම්බ වුණා.”
මෙබිම සරණ කොටගෙන ජන්ම දායාදය ලද ඩබ්ලිව්. ධර්මසිරි වැන්නවුන්ට සේම මේ ජනපදික සනුහරේ සිවුවැනි පරම්පරාවේ ළහිරු මධුශංඛ වැනි යෞවනයන්ට ද මෙබිම එක ලෙස පිළිසරණ වී ඇති වග දැන් පැහැදිලිය. එවක අක්කර තුනක ගොඩ ඉඩමේ තිබු එකම එක නිවෙස වෙනුවට දැන් කිහිපයක් ඉදිවී ඇත. ඒ දරු මුනුබුරන් අතර මේ බිම බෙදී යෑම හේතුවෙනි. හා පුරා කියා රාජාංගණයට පැමිණි මුල් පදිංචිකරුවන් අතරින් අද වන විට ජීවත්ව සිටිනුයේ සුඵ පිරිසක් බව ගැමියෝ පවසති.
බැලූ බැලූ අත දිස්වන්නේ ගන කැලෑව පසුබා මතුව ආ ඇළ වේලිය. කෙත් වතුය. ගෙවතුය, නේක ගොඩනැගිලිය. හැම අහුමුල්ලකම සිදුව ඇත්තේ නොතිත් පරිවර්තනයකි. අළු දුලි මත සැඟව ගිය අතීත රස, නීරස මතක තුළ මේ පරිවර්තනය සිදුව ඇති නොවේදැයි මට සිතිණ.
ඩබිලිව්. ප්‍රදීප්