ගංගා ජලය හතර වටින් ඇදහැලු­ණත් පූරුවෙ කළ පවට බොර දිය බොනවා | Page 3 | සිළුමිණ

ගංගා ජලය හතර වටින් ඇදහැලු­ණත් පූරුවෙ කළ පවට බොර දිය බොනවා

‘මහවැලි කැලණි වලවේ කළු යන ගංගා - සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා’ යන කවි දෙපද සිහි ගන්වමින් ශ්‍රීපාද සමනළ කදු මුදුනේ සිට ගලා බසින කැලණි ගංගා නදිය යටියන්තොට නගරය මැදින් ගලා බසී. මෙම ගංගාවට යටියන්තොටින්ම වෑඔය ජලධාරාවද එක්වී නගරයට උඩින් පරුස්සැල්ලෙන් වැලිහෙල් ඔයද වීරාගල්ල හරහා එන ඔය නවටින් කැලණි ගඟටද එක්වේ. මීට අමතරව ඇළවල් දහයකට අධික ප්‍රමාණයක් අවට කඳු මුදුන් අතරින් ගලා විත් කැලණි ගඟට හා වෑ ඔයට එක්වේ. මේ ගංගා ඇළ දොළ පිරිසුදු ජලයෙන් පෝෂිතය. හතරවටින් ගංගා ඇළ දොළ ගලා බැස්සත් යටියන්තොට හා අවට ජනතාවට බීමට සිදුව ඇත්තේ පිරිපහදු නොකළ ජලයයි. නමුත් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය හරහා නගරයට බෙදා දෙන ජලය පිරිපහදුවෙන් තොරය.

වසරේ දින 365න් දින 250ක් පමණම වර්ෂාව ලැබෙන මෙම ප්‍රදේශය කඳු මීදුමින් පිරි අලංකාර ගැමි පරිසරයක් මවයි. එසේ නමුත් යටියන්තොට හා අවට ජනතාවට වැස්සටත් ජලය නැත. ඉඩෝරයටත් ජලය නැත. ජලසම්පත් මණ්ඩලය හරහා දෙන ජලය පිරිපහදුවට උපකරණ ද නොමැත. මෙම උපකරණ ලබා ගැනීම සඳහා දැනට වසර දෙකකට උඩදී රජයෙන් රුපියල් මිලියන 70ක් වෙන් කළද ජනතාවට පානය කිරීමට සිදුව ඇත්තේ බොර වතුරය. වෑඔය සම්පූර්ණයෙන් හරස්කර වේල්ලක් බැඳ එයින් පොම්පකර ගණිතකන්දේ බැඳ ඇති ජල ගබඩා ටැංකියෙන් ජලය බෙදා හැරීම සිදුවේ. මෙසේ සපයන ජලය සම්බන්ධයෙන් යටියන්තොට ජල සම්පත් මණ්ඩලයේ ස්ථාන බාර නිලධාරීයාගෙන් අපි විමසීමක් කළෙමු. අප හා නම සඳහන් කිරීමට අකැමැති වූ ඔහු පැවසුවේ මෙහි තිබෙන සම්පත් අනුව ක්ලෝරීන් දමා හැකිතරම් ජලය පිරිසුදු කර බෙදා හරින බවත් ජල පිරිපහදුව ගැන මීට වඩා යමක් පැවසිය නොහැකි බවත්ය. ගණිත කන්දේ ඇති ජල ගබඩා ටැන්කිය වටා වැට කඩුලු දමා තිබුණත් එහි කිසිදු අගුලක් නොමැත. එයද අනාරක්ෂිතය. ක්ලෝරීන් දමා කවුළුවේ සිදුර වැසීමට තාවකාලික ටකරන් තහඩුවක් තිබුණද එතැනට එන ඕනෑම පිටස්තරයකුට එය විවෘත කළ හැකි බව එතැනට ගිය අපි දුටුවෙමු. මෙවැනි ආරක්ෂා වියයුතු ස්ථානයකට ඉබි යතුරු භාවිත නොකිරීම අපට ගැටලුවකි.

මීට වසර ගණනාවකට පෙර කැලණි ගඟෙන් නගරයට ජලය ලබා දීමට විශාල මුදලක් වැයකර වින්සන්ට් පෙරේරා නාගරික ක්‍රීඩාංගණය පිටුපසින් විශාල ජල ටැංකියක් ඉදිකළ නමුත් වැලි ගොඩ දැමීමේ හේතුවෙන් ගඟේ ජල මට්ටම පහත වැටීමේ හේතුවෙන් එම ටැන්කිය කිසි ප්‍රයෝජනයකට නොගෙන අදටත් කැලයෙන් වටවී පවතී. එය කාලයාගේ ඇවෑමෙන් අසාර්ථක විමත් සමග පසුව වැලිහෙල් ඔය හරස් කර ජලය ලබා ගැනීමට සැලසුම් කරන ලදී. මැනුම් කටයුතු ද සිදු කළ පසු එයද නතර විය. පසුව වෑඔය සම්පූර්ණයෙන් හරස් කර බැම්මක් බැඳී අතර බැම්මට උඩින් වැඩි වතුර ගලා බසියි. මෙම බැම්ම ද පුපුරා ඇතැයි තතු දන්නෝ පවසති.

යටියන්තොට නගර වාසීන් පමණක් නොව අවට නගර සීමාවේ හා වෙළෙඳ ප්‍රජාවද ඇතුළුව නගර ආශ්‍රීතව ඇති ප්‍රධාන විදුහල් හයක පන් දහසක පමණ දරුවන්ට පරිභෝජනයට ඇත්තේ මෙම අපිරිසුදු ජලය නිසා නිවෙස්වලින් බෝතල්වලට ජලය ගෙන ඒමට සිදුවීඇති බව මවුපියෝ පවසති. මේ පිළිබඳ යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වී.පී අයි. ලියනගේ මහත්මියගෙන් විමසීමට කාර්යාලයට ගියද වෙනත් කටයුත්තක් සඳහා ඇය කාර්යාලයෙන් බැහැර ගොස් සිටි නිසාත් දුරකථනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කළත් එයද අසාර්ථක වීය. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක නාපාවල මහතා පැවසුවේ යටියන්තොට ප්‍රදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙදී තමා දෙවරක්ම යටියන්තොට නගරයට බෙදාහරින ජලය කිසිම පිරිපදුවකින් තොර බව දැනුම් දුන්නද ඉන් ඵලක් නොවූ බවයි.

හෙලන් පෙරේරා මහත්මිය නාගරික සීමාවේ පදිංචිකාරියකි.

“පයිප්පවලිල් බොර වතුර තමයි නිතරම එන්නේ. වතුර එන වෙලාවේ කිසිම පිළිවෙළක් නෑ. එන වතුර මඩපාට නිසා ළමයින්ගේ සුදු ඇඳුම් හොදන්න බෑ. රෙදි හෝදන වොෂින් මැෂින්වල පවා අඩියේ මඩ බැඳිලා. මේ වතුර මඩ නිසා අපි බිමට ජලය පිටින් ගේනවා. නැත්නම් කඩෙන් වතුර බොතල් ගේන්න වෙනවා. මේ කරදරය අදාළ බලධාරීන්ට දැන්නුවා. ඒත් තවම වැඩක් වුණේ නෑ.”

“මණ්ඩලයෙන් දෙන වතුර බිව්වොත් අපටත් වෙන්නේ උතුරු මැද පළාතේ ජනතාවට මෙන් වකුගඩු රෝග ආශ්‍රීත රෝග බයෙන් ජීවත් වෙන්නයි. නමුත් වෙලාවට බිල්පත් එනවා නොගෙවුවොත් ජලය විසන්ධි කරනවා. හතර වටේම තියෙන ගංගා ඇළ දොළවල වතුර පිරිසුදු වුණත් අපට ලැබෙන්නේ බොර වතුරයි.”නගරවාසියකු වන කේ.එස්.එම්. අන්වර් පවසයි.

යටියන්තොට පදිංචි පී.ඒ.සෝමසිරි ද තමන් පත්ව ඇති අපහසුතාව ගැන අදහස් පළ කළේය.

“නගරයේ පාසල් හයට අවට වැඩිපුර ළමයි එන්නේ අවට ගම්වලිනුයි. විශාල පොත් තොගයක් උස්සාගෙන එනවා මදිවට වතුර බෝතලුත් ගේන්න ළමයින්ට සිදුවෙලා. සතියේ බ්‍රහස් පතින්දා මුළු දවස පුරා සතිපොළ පැවැත් වෙනවා. අවටින් විශාල ජනතාවක් නගරයට එනවා. ඒ අයට වැසිකිළියට පවා යන්න බෑ ජලය නැති නිසා. මේ වැඩෙන් වතුර බෝතල් වෙළෙන්දන්ට නම් වාසියි. ඒත් ජනතාවටනම් දරගන්න බැරි ප්‍රශ්නයක් වෙලා.

මේ ගැටලුව බොහෝ කාලයක සිට පවතිනවා. නොයෙක් විසඳුම් යෙදුවත් පලක් වුණේ නෑ. මෙම ප්‍රදේශයේ රජයේ හා වෙනත් බැංකු හා කාර්යාල බොහොමයක් තියනවා. ඒ අයට බීමට ජලය පිටින් ගේන්න වෙලා. ජල සම්පත් මණ්ඩලය නගරයට ජලය සැපයීමට මැදිහත් නොවුවා නම් ප්‍රදේශයේ ජනතාව අවට කඳු හෙල්වලින් ඇද හැළෙන ජලය පුළුවන් විදිහට අරගෙන පාවිච්චියට ගන්න හැකියාව තිබෙනවා”

කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හා යටියන්තොට සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති කේ. සුජිත් සංජය පෙරේරා මහතා සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ ගැන අදහස් දක්වමින් රුපියල් මිලියන 70ක් ජල පිරිපහදු යන්ත්‍ර ගැනීමට මුදල් වෙන්කළ බවත් ජල සම්පත් මණ්ඩලය එම පිරිපහදු යන්ත්‍ර ගැනීමට ටෙන්ඩර් කැඳවුවද එය ක්‍රීයාත්මක නොවූ බවත් මේ ගැන අදාළ ආයතන දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් පැවසීය. 

 කුමා­ර­සිංහ ගුණ­දාස   
   

Comments