ඔබේ සටන්කාමිත්වය - රටේ ආදායම | Page 3 | සිළුමිණ

ඔබේ සටන්කාමිත්වය - රටේ ආදායම

 අපට විදේශ විනිමය ඉපැයීම සඳහා සංචාරක ව්‍යාපාරය උපකාරී වුවත් කලාපයේ අනෙකුත් තරගකාරී රටවල් නිසා අපට වඩාත් ආකර්ෂණීය දෑ විදේශීය සංචාරකයින්ට පිරිනැමීමට සිදුව ඇත. මෙහි වැදගත්කම අවබෝධ කරගත් අය විදේශීය සංචාරකයන්ට මල් මාලා දැමීම, රාත්‍රී සමාජ ශාලාවලදී ඔවුන්ට බොන්න අරන් දීම වැනි සිල්ලර උපාය මාර්ගවලින් මේ තත්ත්වයට මුහුණ දීමට උත්සුක වෙත්' නමුත් කිසිවෙකුත් හඳුනා නොගත් විදේශ විනිමය ඉපැයීම් සඳහා වූ අවස්ථාවන් රැසක් අප සතුය'

සාමාන්‍යයෙන් වෙනත් ශීලාචාර රටවල නම් වෛද්‍යවරු, රෝගී බවට පත්ව අසරණ වූ ජනයාට කරුණාවෙන් ප්‍රතිකාර කරන අතර එසේ නොවන වෛද්‍යවරු ඇත්නම් ඔවුහු තමන් ලබන වැටුපට ශ්‍රමය සපයා සිය රාජකාරිය ඉටු කරති.

එහෙත් අනාගතයේ උපත ලබා රෝගී වීමට නියමිත ජනයා වෙනුවෙන්, අද රෝගී ව අසරණ වූ දුප්පත් ජනයා ප්‍රාණ ඇපයට ගෙන වැඩ වර්ජනය කරන වෛද්‍යවරුන් සිටින වෙනත් රටක් නම් මේ මිහිපිට කෙලෙසක සොයාගන්නද? එවැනි වෛද්‍යවරු සියැසින් දැක බලා ගැනීමට කැමැති විදේශීය සංචාරකයින් බුරුතු පිටින් මෙරටට ඇදී එනවා නොඅනුමානය. එවන් වෛද්‍යවරුන් සමග ඡායාරූපවලට පෙනී සිට පෙරළා සිය මවු රටට යන ඔවුන් ඒවා පෙන්වා තම නෑ සිය මිතුරන් විස්මයට පත් කරනු ඇත්තේ නොවේද? ඒ දකින තවත් සංචාරකයින් මේ ආශ්චර්යය දැක බලා ගැනීමට මෙහි එනු ඇත.

සාමාන්‍යයෙන් වෙනත් රටවල නම් ශීලාචාර ජනයා නීතියට හිස නමා කටයුතු කරන අතර, පොදු නීති කඩ කරන්නට අවසර ඉල්ලා සිටීමක් දක්නට නොවේ. බස් රියැදුරනට වුවද මෙය වලංගුය. මාර්ග නීති තිබෙන්නේ සියල්ලන්ගේ ආරක්ෂාව උදෙසා වන බැවිනි.

එහෙත් මාර්ග නීති කඩ කරන්නට අවසර ඉල්ලා උද්ඝෝෂණ කරන බස් රියැදුරන් සිටින වෙනත් රටක්, අඩු තරමින් ප්‍රබන්ධ කතාවක්වත් මෙලොව කිනම් ලෙසකින් සොයාගන්නද?

එවැනි බස් රියැදුරන් සියැසින් දැක බලාගැනීමට කැමැති විදේශීය සංචාරකයන් බුරුතු පිටින් මෙරටට ඇදී එනවා නොඅනුමානය. මෙරට මාර්ග නීති කඩ කරන්නට අවසර ඉල්ලා උද්ඝෝෂණ කරන පෞද්ගලික බස් රියැදුරන් හා ඡායාරූපවලට පෙනී සිට පෙරළා සිය මවු රටට ගොස් ඒවා පෙන්වා තම නෑසිය මිතුරන් ද විස්මයට පත් කරනු ඇත්තේ නොවේද? ඒ දකින තවත් විදේශිකයන් මේ ආශ්චර්යය දැක බලා ගැනීමට මෙහි එනු ඇත.

ජීවිතයත් මරණයත් අතර උදාහරණ පසෙකින් තබමු. ලොව පුරා බොහෝ ජනයා අධික මිලක් ගෙවා ලංකාවෙන් ආනයනය කළ තේ පානය කරන්නේ එහි රසය හා සුවඳ විඳිමිනි. නමුත් එවන් තේ නිපදවන අපේ අය කරන්නේ වතුර නටන මුට්ටියට ම තේ කොළ දමා එහි පැහැය දෙස බලා, උණු වතුර අඩු වැඩි කොට, සීනි යහමින් යොදා පැණි රසැති පානයක් භුක්ති විඳීමයි. තමන්ගේ ප්‍රියතම තේ නිපදවන රටේ ඇත්තන් එම තේවලට කරන අරුම පුදුම හිරිහැරය සියැසින් දැක බලාගැනීමට උනන්දු නොවන සංචාරකයකු මිහිපිට සිටිය හැකිද?

හොඳින් සිතා බැලූවහොත් මේ හැසිරීම් තවදුරටත් ලජ්ජාවට කරුණු නොව නවමු ධනෝපායන මාර්ග බව ඔබට පැහැදිලි වනු ඇති.

දර්ශන කරුණාතිලක

Comments