![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/08/11/tl-2.jpg?itok=2VAjSpkK)
එතුමා බලන්ඩ තැඹිලි, මයියොක්කා, තිබ්බොටු, එලබටු, වම්බොටු ඉහේ තියාගන මැදමූලනට ගියපු හත්කෝරලේ මිනිස්සු කාණ්ඩෙක පින්තූර පත්තරේ පළවෙලා. අබිලිංගෙ කඩේට ආපු මිනිස්සු බඩු ගැනිල්ල පැත්තක තියෙද්දී පින්තූරෙ දිහා කන්ඩ වාගෙ බලාගෙන ඉන්නවා.
මයික් විජේ බලං ඉන්නෙ තැඹිලි වල්ල දිහා. හැන්දෑවෙ සීනි කිරිඤ්ඤං සප්පායං වෙලා උදේ පාන්දරිං කුකුළටත් හොරෙං ගෙහුං අනුන්ගෙ ඉඩමකිං හරි තැඹිලි ගෙඩියක් බොන එක විජේගෙ පොරතිපත්තිය නෙවැ. තැඹිලි දැක්කම ගොඩයට මැජික් වගේ. මයික් විජේගෙ මායියා බලං ඉන්නෙ තිබ්බොටු මල්ල දිහා.
“හප්පච්චියේ තිබ්බොටු ටිකක් දැක්ක කල්” උන්දෑ කම්මුලට අත තියාගන හූල්ලනවා. යකඩ මරං මයියොක්කා මල්ල දිහා කට ඇරගෙන ඉන්නවා.
“මයියොක්කා අල කෑල්ලක් දෑවුරුද්දකින් කෑවෙ නෑ” යකඩ මරංට කියවුණා.
අපේ නිමලෙ බලං ඉන්නෙ වම්බොටු මල්ල දිහා. නිමලෙගෙ ඇස් දෙක උඩ ගෙහුං. ගෝනි බිල්ලෙක් දැක්ක වගේ ගැහෙනවා.
“මොකෝ මලේ බය වෙලා” මං ඇහුවා.
“මට වම්බොට්ටා මතක් උනා බණ්ඩයියෙ” නිමලෙ කියයි.
ඔයිම්මෙයිං කවුරු කවුරුත් මැදමූලනෙ ගමන ගැන කතාව.
“අපරාදෙ මං දන්නව නම් යනවනෙ” තිලකෙ කියයි.
“රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නෙ කොහොමද? ඉඩම කාන්තාරයක් වෙලා තියෙද්දී කොහෙන් ද දැකුම් අරං යන්නෙ?” නිමලෙ ඇහුවා.
“අබිලිංගෙ ණය පොතට වැටෙන්ඩ බී ලූණු පන්සීයක්වත් අරං යන්ඩ තිබ්බනෙ” තිලකෙ උත්තර දුන්නා.
“යකඩො උන්නැහෙට අහේමක් තියනවද? ජනාදිපති පැන්සොං එක හම්බු වෙනවා. මන්තිරි පඩිය හම්බුවෙනවා.”
“පඩියක් කොහෙද ඉතුරු වෙන්නෙ? අර දෙමවුපිය කවුතුකාගාරෙ හදන්ඩ ගියපු වියදම් ආපහු ගෙවන්ඩ උනානෙ. ඒකට ලක්ස ගාණක් ණය වුණා පොලී මුදලාලිට.”
“දඩුවං මුදලාලිට ද?”
“මොන පිස්සු ද? උන්දෑ මරලා හඳවල් කීයක් ගියා ද? අලුත් දඬුවං මුදලාලිලා රට පුරා ම ඉන්නවනෙ.”
කන්න හතරකට කෙළවිලා තියෙද්දී මැදමූලනට දැකුම් අරං ගියෙ අහවල් එකට ද කියලා හැමෝ ම කතාව.
යකඩ මරංගෙ අදහස
“අපට කන්ඩ නැතත් අපි කෙළෙහි ගුණ ඇති මිනිස්සු. අපේ අම්මලට සිල් රෙදි දුන්නෙ ඔබ තුමා. මායියට උදලු, මුල්ලු දුන්නෙ ඔබ තුමා. ඒකෙං හාරලා තමයි දැං කටු අලයක්වත් කන්නෙ. අම්මලා කේලම් කිය කියා ගම දෙවනත් කරන එක නැවතුණේ ඔබතුමා නිකං දුන්නු රෙද්ද ඇඳං සිල් ගන්ඩ පන්සල් ගිය එකෙං. ඒකයි අපි කඩවලින් ණයට බඩු අරං බැහැදකින්ඩ ආවේ.”
මයික් විජේගෙ අදහස
“ඔබ තුමා දකුණෙං ඉල්ලන් නැතුව මෙහෙං ඉල්ලපු එක අපට ලොකු ගවුරවයක්. මෙච්චර කල් මෙහෙ එවුං කී දෙනෙක් පාර්ලිමේන්තු ඇරිය ද? මොකද්ද ඇති වැඩේ. අඩු ගානෙ මූණෙ හිනාවක් තියෙනවද? ඔබ තුමා මොකවත් නොකෙරුවත් කමක් නෑ. පැත්ත පළාතෙ නාවට කමක් නෑ. ඔය හිනා පොඩ්ඩයි සාටකෙයි පොටෝ එකකිං හරි ටීවී එකෙං හරි දැක්කත් ඇති රත්තරනේ.”
නිමලෙගෙ අදහස
“මෙච්චර විනාසයක් නියඟෙං වෙලා තියෙද්දී නිකමට පැත්ත පළාතෙ ආවෙ නෑ. ඒත් අපි ආගන්තුක සත්කාරෙ දන්න මිනිස්සු. ඔහේට චන්දෙ දුන්නෙ දකුණෙ ඉඳල අපි ළඟට ආවනෙ කියල හිතාගන. දිනුවැයින් පස්සෙ හත්කෝරළේට සත පහක වැඩක් කෙරුවෙ නෑ. අපි මේ ලට්ට ලොට්ට ගෙනැත් දෙන්නෙ ඔහේට වැඩිය අපේ මිනිස්සු ළඟ හොඳ ගතිගුණ තියන බව කිරියාවෙම්ම ඔප්පු කරලා යන්න. අදින් පස්සෙ මේ පැත්ත පළාතෙ එන්ඩ එපා. ඕං අපි ගියා.”