‘උමාඔය’ පරිසර පාඩම තවමත් ඉවර නැත | Page 3 | සිළුමිණ

‘උමාඔය’ පරිසර පාඩම තවමත් ඉවර නැත

 පරිසරයේ සමබර බවට ලොකු හානියක් කළොත් පරිසරය පෙරළා අපට ප්‍රතිවිපාක දක්වන බව පසුගිය දිනවල බණ්ඩාරවෙල ඇල්ල හා වැලිමඩ යන ප්‍රදේශවලදී උමාඔය ව්‍යාපෘතිය නිසා සිදු වූ පරිසර හානිය නිසා තවත් ප්‍රත්‍යක්ෂ විය.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, ඇල්ල, වැලිමඩ ප්‍රදේශවල නිවාස 7035ක් ඉරිතළා ගිලා බැස පවුල් 8000ක් පමණ සංවර්ධන අනාථයන් බවට පත් කළ මේ ව්‍යාපෘතිය මඟින් දැන් ඌවේ ලොකුම පරිසර හානිය සිදු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පෙන්වා ‍දී ඇත.

ඔහු පෙන්වා දෙන පරිදි ඉහත ප්‍රදේශවල ගෙවල් 7000ක් ගිලාබැසීමත් ඉරි තැළීම් සිදු වී ඇත. ඊට අමතරව ළිං 3000ක් සිදී ඇති අතර, ප්‍රදේශයේ ඇළදොළ සියල්ල සිදී ගොස් ඇත. වගා පාළු වී ඇත. බණ්ඩාරවෙල නගරයේ තට්ටු හා ගොඩනැඟිලිද ගිලාබසිමින් පවතී.

උමා ඔය ප්‍රධාන උමඟ වන කරඳගොල්ල සිට ඩයිරබා දක්වා ප්‍රධාන උම‍ඟේ සිදු වන විශාලම පාරිසරික ගැටලුව භූගත ජලය උමඟ ඇතුළතට ගලා යෑමයි. ඒ අනුව තවමත් තත්පරයකට ලීටර් 830ක් ඒ උමඟ ඔස්සේ ‘අලිකොට ආර‘ ජලාශයට ගමන් කරනු ලැබේ. උමඟ කණින විට උම‍ඟේ ඇති හුණුගල් කුටීර පුපුරන විට ඒ ඇතුළත ඇති ජලය උමඟ ඇතුළත ගලන අතර, ඒ නිසා භූගත ජල මට්ටම අඩු වීම හා නිවාස ඉරිතැළීම ගිලා යෑම හා ළිං සිඳීම සිදු වී ඇතැයි පරිසරවේදීන්ගේ හා භූ විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.

මේ අනුව දිනකට අපතේ යන ජල ප්‍රමාණය ලීටර් කෝටි 9කට ආසන්න ප්‍රමාණයකි. දැනට බණ්ඩාරවෙල ඇල්ල, වැලිමඩ ප්‍රදේශවල පාරි‍සරික ප්‍රශ්න උග්‍ර වී ඇත්තේ භූගත ජලය මේ අයුරින් ඉවත් වීම නිසාය. මේ ප්‍රදේශවල බිමට ජලය බවුසරවලින් ලැබෙන නමුත් ඔවුන්ගේ එළවුළු, අර්තාපල්, මල් වගාවලට ජලය නැත. ප්‍රදේශයේ කෘෂිකාර්මික ජීවන රටාව උඩුයටිකුරු වී තිබේ. මෙවැනි ව්‍යාපෘතියක් කිරීමේදී පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතුය. උමාඔය පාරිසරික ඇගයීම ශ්‍රී ජයවර්ධනපුර හා පේරාදෙණිය සරසවියෙන් තවත් භූ විද්‍යාඥවරයකුගේ සහභාගිත්වය ඇතිව සකස් කර ඇත. ඒ වාර්තාව සකස් කරනු ලබන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූවොත් වන පාරිසරික බලපෑම සොයා බැලීමටයි. සිදු වන පාරිසරික හානිය අවම කිරීමටද පිළියම් මෙවැනි වාර්තාවක සඳහන් වේ. ඊට පසු එය මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කෙරේ. පසුව මධ්‍යම පරිසර අධිකාරිය මේ පාරිසරික ඇගෙයීම් වාර්තාව පිළිබඳ තාක්ෂණික ඇගැයීම් කමිටුවක් මගින් විමර්ශනය කරනු ලැබේ.

ඊට පසු මේ ව්‍යාපෘතියට සම්බන්ධ වන හා ඉන් බලපෑමට ලක් වන ආයතනවල ප්‍රධානීන්ද පරිසර ඇගයීම් කමිටු රැස්වීම්වලට කැඳවනු ලැබේ. ඊට පසු මධ්‍යම පරිසර අධිකාරියේ විද්වත් උපදේශක මණ්ඩලයක්ද මේ පාරිසරික ඇගයීම් වාර්තාව ගවේෂණය කර අඩුපාඩු සකස් කළ යුතුව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියද පෙන්වා දෙන්නීය. කෙසේ වුවත් උමාඔය පරිසර ඇගැයීම 2011 අප්‍රේල් 12 වැනිදා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් අනුමත කර තිබේ.

ඊට පසු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ නමුත් මේ පාරිසරික ඇගයීම් වාර්තාවේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ ඉරාන සමාගම් කටයුතු කර නැති බව පරිස‍රවේදීහු පෙන්වා දෙති.

ඊට අමතරව ඒ පාරිසරික ඇගැයීම් වාර්තාවේ අඩුපාඩු පවතින බවත් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන පෙන්වා දුන් නමුත් ඒ පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය හා ව්‍යාපෘති නිලධාරීන් අවධානය යොමු කර නැත. හේමන්ත විතානගේ මහතා පෙන්වා දෙන පරිදි පාරිසරික ඇගයීම් වාර්තාවක් මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ පුහුල්පොළ සිට කරඳගොල්ල දක්වා ප්‍රදේශයට පමණි. පසුව 2012දී කරඳගොල්ල සිට හම්බන්තොට දක්වා ප්‍රදේශයට තවත් ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර අනුමත කරවාගෙන ඇත.

මේ අනුව මේ පාරිසරික ඇගයීම් වාර්තා අනුමත කිරීම පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය අනුගමනය කර ඇති ක්‍රියාදාමය පරිසර හිතකාමී නොවේ‍; විද්‍යානුකූලද නොවේ. ඊට එකල පාලකයන්ගේ මැති-ඇමැතිවරුන්ගේ බලපෑම්ද හේතු වන්නට ඇත.

මේ අනුව භූ විද්‍යාඥයන් පවසන්නේ පාරිසරික ඇගැයීම් වාර්තාව, පසුව ඉදිරිපත් වූ සංශෝධන යෝජනා පසෙකට දමා මේ ව්‍යාපෘතිය හිතු මතේ ඉරාන සමාගමක් මඟින් ක්‍රියාවට නැංවීම් නිසාත් භූමිය පිළිබඳව නිසි භූ විද්‍යානුකූල ගවේෂණ සිදු නොකළ නිසාත් මේ පරිසර හානිය සිදු වී ඇති බවයි.

පසුගිය කාලයේ මෙරට ඉදි වූ මවුආර, වෙහෙරගල, ඉහළ කොත්මලේ, රඹකැන්ඔය, දැදුරුඔය සියලු මහා පරිමාණ වාරිමාර්ග හා ජල විදුලි ව්‍යාපෘතිවල නායකත්වය ගෙන කටයුතු කළේ මෙහෙයවූයේ ශ්‍රී ලාංකික වාරි හා විදුලි ඉංජිනේරුවෝය.

2008දී වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ මවුආර හා වෙහෙරගල වාරි ව්‍යාපෘතිවල අධ්‍යක්ෂවරයා වූ ඉංජිනේරු ඒ.ඩී.‍එස්.‍ ගුණවර්ධන මහතා මේ ව්‍යාපෘතිය මීට වඩා රුපියල් කෝටි 375කට වඩා අඩු වියදමකට මෙරට ඉංජිනේරුවන් හා මෙරට ඉංජිනේරු හා ඉංජිනේරු උපදේශක ආයතනවලට කළ හැකි බව 2009දී පැවසීය. ඒ, ඒ මහතාගේ වාරිමාර්ග ක්ෂේත්‍රයේ වසර 40ක පමණ පළපුරුද්ද අනුවය.

ඉරාන සමාගමට නොදී මේ ව්‍යාපෘතිය එදා අපේ ඉංජිනේරුවරුන්ට හා අ‍ෙප් දේශීය ඉංජිනේරු උපදේශන ආයතනවලට දීමට කටයුතු කළා නම් මෙතරම් විනාශයක් සිදු වන්නේ නැත. කිලෝ මීටර් 13ක උමඟක් යන්ත්‍ර සූත්‍ර නැතිව ඉදි කළ ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය මෙහෙයවූ ඉංජිනේරු ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා වැනි කළමනාකරණ ඉංජිනේරුවන් හා ඉංජිනේරු ඒඩීඑස් ගුණවර්ධන වැනි රටට හිතැති පරිපාලන ඉංජිනේරුවරුන් සිටින රටක අපට මේ උමාඔය ව්‍යාපෘතිය පරිසර හානි අවම කර අඩු වියදමින් සිදු කිරීමට ඉඩ තිබිණි.

මේ පිළිබඳ පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ මෙවැනි ව්‍යාපෘතියක් කිරීමට පෙර උමඟ යන ප්‍රදේශයේ පෘෂ්ඨය හා ගර්භය භූ විද්‍යාත්මක ලෙස පරික්ෂා කළ යුතු බවයි. මූලික අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ පේ‍රාදෙණිය සරසවියේ භූගර්භ විද්‍යා මහාචාර්ය සීබී දිසානායක මහතා පැවසුවේ යන්ත්‍රයකින් කැණීම් සිදු වන විට තිබෙන භූ පැළුම්වල සිදුරු තවත් විශාල වී, භූගත ජලය උමඟට ගලා එන බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසන්නේ උමාඔය මඟින් සිදු වන මේ පාරිසරික හා සමාජීය හානිය අනුව බලන විට මෙය රටට ප්‍රතිලාභ නැති ව්‍යාපෘතියක් බවත් පත් වෙමින් තිබෙන බවයි. ඉදිරියේදී මේ ව්‍යාපෘතිය මඟින් බෝගහපැලැස්සේ වනාන්තර අක්කර 4000ක් කපා සංවර්ධනය කිරීමටද යෝජිතව ඇත‍. එය අලි මිනිස් ගැටුමකටද මුලපුරන වැඩකි. මේ අනුව අපේ රටට ප්‍රතිලාභ නැති, ඉරානයට ප්‍රතිලාභ ලැබුණු මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම පිළිබඳ රජය තවදුරටත් කල්පනා කළ යුතු බව පරිසරවේදීන්ගේ මතයයි.


නිහාල් පී. අබේසිංහ

Comments