![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/05/26/tl_4.jpg?itok=2dNZJmth)
දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ අභාවප්‍රාප්ත වූ භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ සූරීන් නිතරම පැවසුවේ කොළඹ ඉදිකරන මහල් ගොඩනැඟිලි භූමි කම්පාවලට ඔරොත්තු දෙන ලෙස ඉදිකළ යුතු බවයි.
නමුත් අද කොළඹ ඉදිවන මහල් ගොඩනැගිලි සුළඟක්වත් නැතිව කඩා වැටෙන අයුරු පසුගිය සතියේ වැල්ලවත්තෙන් වාර්තා විය.
අලුත්ම තොරතුරු අනුව වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැඟිලි ඇළ මාර්ගයක් අසල නියමිත වරලත් ඉංජිනේරු සැලසුම් අනුව ඉදි නොකළ අනවසර ගොඩනැඟිල්ලකි.
මහ නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසන පරිදි මෙවැනි අනවසර බාල ප්‍රමිතියේ ගොඩනැඟිලි 1800ක් වැල්ලවත්ත බම්බලපිටිය දක්වා ප්‍රදේශවල ඇත.
මේ අතර කොළඹ නගර සභාව පවසන්නේ අනවසර අනුමත සැලසුම් නැති ගොඩනැඟිලි 10000ක් ඇති බවයි.
නමුත් ඒවාට ජලය, විදුලිය ආදි පොදු පහසුකම් රජයෙන් නීත්‍යනුකූලව ලැබී ඇත. එසේනම් ඒ ගොඩනැඟිලි ඉදිකර ඊට පසු ඒවා නීත්‍යනුකූල බවට පත්වී ඇත. ඇමැතිවරයා එසේ කීවත් මෙවැනි ගොඩනැඟිලි ඉදිකිරීම වැළැක්වීමට පැහැදිලි ක්‍රියාදාමයක් රජය සතුව ඇතැයි නොපෙනේ.
මේ අතර ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසන්නේ ඇළ මාර්ගයක හෝ ගංගාවක සිට අඩි 20කට මෙපිට කිසිම ඉදිකිරීමක් කළ නොහැකි බවයි. ඒ අනුව ඉදිකළ ඉවත් කළ යුතු තට්ටු ගොඩනැඟිලි 36ක් වැල්ලවත්ත බම්බලපිටිය ප්‍රදේශවල ඇතැයි ද අසේල මහතා පවසයි. ඒ අනුව ඒවා වහාම කඩා ඉවත් කිරීමට අදාළව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව සභාපතිවරයාගේ අදහසයි.
මේ අතර බස්නාහිර පළාත් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසන්නේ අනවසර හා දුර්වල ප්‍රමිතිය අනුව ඉදිකළ ගොඩනැඟිලි 1800 අයිතිකරුවන්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බවයි.
කෙසේ වුවත් ආරක්ෂිත ප්‍රමිති අනුව මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පින්, වරලත් ඉංජිනේරුවරුන් ව්‍යුහාත්මක ඉංජිනේරුවරුන් ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවන් හා අයිතිකරු එක්ව සාමූහිකව ඉටුකළ යුතු සංවර්ධන හා අදාළ පළාත් පාලන ආයතනයේ කාර්මික නිලධාරීන් ක්‍රියාදාමයකි. නමුත් අද අපේ රටේ සමහර පළාත් පාලන ආයතනවල ඉංජිනේරුවරුන් හා කාර්මික නිලධාරීන් කරන වංචා දූෂණ නිසා බාල ගොඩනැඟිලි ඉදිකිරීමට හැකියාව ලැබී ඇතැයි මේ පිළිබඳව අපට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ඉංජිනේරුවරු කිහිප දෙනෙක් පැවැසූහ.
මේ මහල් ගොඩනැඟිලිවල පමණක් නොව ගමේ නිවසක සැලසුම් පවා හැදීමට අදාළ පළාත් පාලන ආයතනවල කාර්මික නිලධාරීහු දැඩි කැමැත්තක් දක්වති. ඔවුන්ට වඩා ප්‍රවීණ අයෙක් ඒ සැලසුම ඇන්දොත් එය එම නිලධාරීහු ප්‍රතික්ෂේප කිරීමේ රටාවක් ද පවතී. වරලත් ඉංජිනේරුවරු අනුමත කරන සැලසුම් පවා මොකක් හෝ බොරුවක් පෙන්වා ප්‍රතික්ෂේප කරන ඉංජිනේරුවරු කාර්මික නිලධාරීහු සමහර පළාත් පාලන ආයතනවල සිටිති. මේ නිසාම දක්ෂ වරලත් ඉංජිනේරුවරුන් හා ව්‍යුහාත්මක ඉංජිනේරුවරුන් මහල් ගොඩනැඟිලිවලට අදාළ සැලසුම් හා සුවිශේෂ විස්තර සහිත ඇස්තමේන්තු සකස් කිරීමට උනන්දුවක් දක්වන්නේ නැත.
මෙරට ප්‍රවීණ ඉංජිනේරුවරුන් පවසන පරිදි යම් තට්ටු ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලවා ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැඟිල්ලේ දළ සැලසුමක් සකස් කිරීමයි. ඊට පසු අයිතිකරු එය වරලත් ව්‍යුහාත්මක ඉංජිනේරුවරයකුට බාර දී සුවිශේෂ තාක්ෂණික උපදෙස් හා ගණන් මිනුම් දත්ත සහිත පූර්ණ ගොඩනැඟිලි සැලසුමක් සකස් කළ යුතුය. මුල් සරල ගෘහ නිර්මාණ සැලැස්ම පිටු 4 - 5කට සීමා වූවත් පූර්ණ සැලැස්ම සමහර විට පිටු 5- - 60 දක්වා වූ සැලසුම් වීමට පුළුවන. පාදම පිළිබඳව තට්ටුවල කොන්ක්‍රීට් පිළිබඳව ඒවාට දැමිය යුතු සුදුසුම කම්බි පිළිබඳව ඉන් දැනුම්වත් කෙරේ.
ඊට පසු වරලත් ඉංජිනේරුවරයා අනුමත කළ සැලසුම අදාළ පළාත් පාලන ආයතනය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. පසුව එම ආයතනයේ සැලසුම් කමිටුව ඉදිරිපිට එම ඉල්ලීම සලකා බැලේ. අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානියකුගේ අධීක්ෂණය මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජිතයෝ ද මේ කමිටුවට ඇතුළත් වෙති.
කෙසේ වුවත් මෙම නව මහල් ගොඩනැඟිල්ල ඉදිකිරීමට උත්සාහ කරන්නේ ඇළක්, දොළක් වැවක් අසළ නම් මෙම සැලැස්ම අනුමත කිරීමේ කමිටුවට කෘෂිකර්ම, පරිසර, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශවල නියෝජිතයන්ගේ සහභාගිත්වය අනිවාර්ය වෙයි.
මෙම සැලැස්ම අනුමත කළ පසු අදාළ ගොඩනැඟිල්ල ඉදිකිරීමට පාදම සකස් කිරීමත් බිත්ති බැඳීමත් කළ යුත්තේ අදාළ සැලැස්මක් අනුව පමණි. කෙසේ වුවත් අද අපේ රටේ සැලැස්ම අනුමත කිරීම කර ගත්තත් ඉන්පසු අදාළ ගොඩනැඟිල්ල ඉදිකිරීමට ප්‍රමිතියෙන් තොර ගොඩනැඟිලි ද්‍රව්‍ය පාවිච්චිය නිතර සිදු වේ. අනුමත සැලැස්මේ සඳහන් කර ඇති කම්බිවල දිග පළල ඝනකම සහිත කම්බි ගොඩනැඟිල්ලට හරියටම යෙදිය යුතු වුවත් සමහර කොන්ත්‍රාත්වරු කරන්නේ බාල කම්බි හෝ හීනි කම්බි ඒ ගොඩනැඟිල්ලට යෙදීමයි. මේවා වැළැක්වීමට අයිතිකරු මුල් සැලැස්ම සකස් කළ වරලත් ව්‍යුහාත්මක ඉංජිනේරුවරයා ලවා ගොඩනැඟිලි ඉදිකිරීම නිතරම අධීක්ෂණය කළ යුතුව ඇත. එමෙන්ම අඩුපාඩු පිළිබඳව එවෙලේම කොන්ත්‍රාත්කරුට පෙන්වා දිය යුතුය. එවිට සුරක්ෂිත දිගු කලක් පවතින ගොඩනැඟිල්ලක් ඉදිවනු ඇත. එය රටටත් අපටත් කාටවත් බරක් නැති එකක් වේ.
මේ පසුගියදා කඩා වැටුණු සය මහල් ගොඩනැඟිල්ල ඉදිකර ඇත්තේ ජාතික පාරිසරික පනතේ විධි විධාන ද උල්ලංඝනය කිරීමෙනි. වනජීවි සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ පරිසරවේදී සජීව චාමිකර මහතා පවසන පරිදි මීටර් 25කට වඩා පළල අඩු ජල මාර්ගයක් අසල ගොඩනැඟිලි ඉදිකළ යුත්තේ එයට මීටර් 25ක් පමණ ඈතින්ය. එමෙන්ම පළල මීටර් 25කට වැඩි ජල මාර්ගයක ඉවුරේ සිට මීටර් 60ක දුරට අලුත් ගොඩනැඟිලි ඉදිකිරීම තහනම් වේ. මූලික පාරිසරික ඇගැයීම් නොකර මේ ජල මාර්ග අසල තට්ටු ගොඩනැඟිලි ඉදිකිරීම දඬුවම් දිය හැකි වරදක් බව ද සජීව චාමිකර පවසයි.
මේ අනුව බලන විට ලොව භූමි කම්පා අමුතුම විදියකින් ඇතිවන මේ වකවානුවේ මෙරට තට්ටු ගොඩනැඟිලි ඉදිකිරීම අධීක්ෂණයට ජගත් සරසවිවල විද්වතුන් හෝ අදාළ පර්යේෂණ ආයතනවල විද්වතුන් එදා මහාචාර්ය විතානගේ පැවසු අදහස සිතේ තබාගෙන මේ තට්ටු ගොඩනැඟිලි සවිශක්තිමත් ලෙස ඉදිකළ යුතුය.
විශේෂයෙන් මහල් ගොඩනැඟිලි ඉදිකිරීම තට්ටුවෙන් තට්ටුව පරීක්ෂා කිරීමේ පසු ඇගැයීම් තාක්ෂණික ක්‍රමවේදයක් ආරම්භ කළ යුතුය. මුල් තට්ටුවේ අනුමැතිය නැත්නම් ඊළඟ තට්ටුව ඉදිකිරීම තහනම් කළ හැකිය. මේ සඳහා අවශ්‍ය නම් යම් මුදලක් අය කිරීමට ද පුළුවන. කෙසේ වුවත් මේ සඳහා අගතියෙන් තොර නිලධාරීන් යොදා ගැනීම ද අද අත්‍යවශ්‍ය කරුණකි. මේ පිළිබඳව රජයේ හා පළාත් පාලන ආයතනවල අවධානය වහා යොමු විය යුතු බව අවධාරණය කරමු.