![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/05/05/tl-2.jpg?itok=oDqwVuqQ)
අපේ නිමලෙගෙ බාල කොලුවා පන්ති නායකයා නෙවැ. මෙදා පාර විවාද කණ්ඩායම මෙහෙයවන්ඩත් ලැබිලා, හොඳ මාත්තුරුකාවක් තෝරාගන්ඩ කීවලු. කොලුවා ඕක ගැන මගෙනුත් ඇහුවා.
“පුතේ මං හවහා වෙනකොට හිතලා බලලා කියන්නංකො.”
කොලුවා පිටත් කෙරුවා.
දැං ඉතිං බලබලා ඉඳලා හරියක් නෑ. ගෑටුවා අබිලිංගෙ කඩේට. එතන හොඳම හොඳ වාදවිවාද යන තැනක්. මං ගෙහුං අබිලිංටත් කාරණේ කීවා.
“මං කියන්නද හොඳ මාත්තුරුකාවක්?” අබිලිං ඇහුවා.
“එහෙනං කියමුකො බලන්ඩ...”
“වැඩිය හොඳ ඒකාබද්ද විපක්සෙද? විපක්සෙද”
“නරකමනං නෑ. ඒ උනාට ඉතිං ඔය ඒකාබද්දෙ මුදුනො ටික හෙටා නිද්දා හිර ගෙවල්ඔල ලගින්ඩ පටං ගත්තම ඒකාබද්දයක් කොහෙද ඉතිරි වෙන්නෙ? කොල්ලො විවාද කොරන්නෙ හිරේ ඉන්න උදවිය ගැනද?”
ඔය විදියට කතාබහ යද්දී මයික් විජේත් මැදිහත් වුණා.
“මාත් කියන්නම් එකක්.”
“හා කියමු බලන්ඩ?”
“වැඩිය හොඳ රම්‍යද? සුරම්ය ද? සුබ ද?”
“හප්පච්චියේ ඒකට කණ්ඩායම් තුනක් ඕනෑ වෙනවනෙ. ඒක හරියන්නෑ.”
ඒ අව්අස්සේ නිමලෙත් ආවා.
“මං කියන්ඩද?”
“තෙපරබාන්න දෙයක්යැ. කියන එකනෙ ඇත්තේ.”
“උදැල්ලද? පෑනද?”
“හපොයි පරණ මාත්තුරුකා නෙවැ. උදලු කෙටියක් ඇහැටවත් දකින්ඩ නැතුව කොල්ලො මොනවා කතා කොරන්ඩද?”
ඊට වඩා හොඳයි කළු පෑන ද නිල් පෑන ද කියලා ගත්තා නම්”
“ඒක හරියන්නෑ.”
අන්තිමේදී අබිලිංගෙ මායියා ගෙනාවා මාත්තුරුකාවක්.
“වැඩිය හොඳ ගෝල්පේස ද ගැටඹේද?”
“ඒවා පිට්ටනි නෙවැ. ඒක හරියන්නෑ.”
ඔයිම්මෙයිං හවස් වෙන්ඩත් ළඟයි. යකඩ මරං තමන්ගෙ මාත්තුරුකාව කීවා.
“වැඩිය හොඳ දොස්තරද? කොන්දොස්තරද?”
“අම්මට සිරි ගජ! නියමයි! පට්ටයි! කිරි ගහට ඇන්න වගේ!”
කවුරුත් පොරසාදෙ පළ කොළා.
“ආයෙ දෙකක් නෑ කොන්දොස්තර කණ්ඩායම උඩිම්ම දිනනවා” අබිලිං කීවා.
“දැම්මම කියන්නෙ කොහොමද?”
“කොන්දොස්තරලා ඉතුරු සල්ලි ඉල්ලහුව ම ඇඟට පැන්නට මිනි මරන්නෑ නෙවැ. දොස්තරලා දැන් කරන්නෙ වර්ජන කොරලා ලෙඩ්ඩු මරනඑක.”
ඔයිම්මෙයිං කාගෙත් අදහස උණේ නිමලෙගෙ බාල කොලුවට ඔය මාත්තුරුකාව දෙනඑක. මට නං හිතෙන්නෙ ඉස්කෝලෙනුත් විරුද්ද වෙන එකක් නෑ.
කාගෙකාගෙත් මල පැනලා ඉන්නේ.