සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු පරිසර සුරැකුම | සිළුමිණ

සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු පරිසර සුරැකුම

 අලුත් අවුරුද්ද තව දින 4 - 5 කින් උදා වෙයි. ඒ සමඟම අප අවට පරිසරය ද ක්‍රමයෙන් අලුත් අවුරුද්දක් පිළිගැනීමට සූදානම් වෙයි.

අවුරුද්දක් කිට්ටු කිට්ටු එරබදු මල් මොට්ටු මොට්ටු යැයි කියන්නේත් අවුරුද්දට කොහා ඇවිත් කියන්නේත් පරිසර හිතකාමී බව අලුත් අවුරුද්දට සම්බන්ධ බව පෙන්වීමට මෙනි. කෙසේ වුවත් අලුත් අවුරුද්ද යනු මුළු රටේම පාරිසරික වෙනස්කම් සිදුවන වකවානුවකි.

අලුත් අවුරුද්දේ ස්වාභාවික පාරිසරික පෙරළියක් ඇතිවී ගහකොළවල මල් ගෙඩි ඇතිවී ලස්සන වසන්ත කාලය උදා වුණත් අලුත් අවුරුද්දේ රතිඤ්ඤා දැල්වීමෙන් නම් අනතුරු රැසක් ඇති වන බව කිව යුතුය.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරී රම්‍යා පුෂ්පානි සොයිසා මහත්මිය පවසන්නේ පසුගිය වසර දෙකේදී අලුත් අවුරුදු දින 4 - 5 ඇතුළත හදිසි අනතුරු 2000ක් පමණ සිදුවී ඇති බවයි. ඉන් රතිඤ්ඤා නිසා සිදුවූ අනතුරු 30ක් පමණ විය.

මේ ගිනිකෙළි අනතුරු ඇස්වලට විශාල හානි ගෙන දීමට ඉඩ තිබේ. විශේෂයෙන් රතිඤ්ඤා අතේ තබාගෙන දැල්වීම, දැල්වීම් සිදු නොවුණු රතිඤ්ඤා නැවත නැවත පරීක්ෂාවට ලක්කිරීම ආදිය නිසා අපේ මේ තරුණයන්ට ජීවිතයටම කැළලක් ඇතිවීමට ඉඩ තිබේ. මුහුණට ඇඟිලිවලට ඇසට හානි සිදු වුව හොත් ඒවා මාරාන්තික මෙන්ම ජිවිත කාලයට බලපාන ඒවා ද වීමට පුළුවන.

ඒ අනුව රතිඤ්ඤා පත්තු කිරීමේදී අතේ තබාගෙන නොව ඈත තබා යම් ආධාරකයක් මඟින් පත්තු කිරීම හෝ කොළයක් මඟින් පත්තු කිරීම කළ යුතුය.

ඊට අමතරව කුඩා දරුවන්ට විශාල රතිඤ්ඤා පත්තු කිරීමට ලබාදීම කිසිසේත්ම නොකළ යුතුය.

රම්‍යා පුෂ්පානි සොයිසා මහත්මිය තවදුරටත් අවධාරණය කරන්නේ දෙමාපියන් මේ අවුරුදු සමයේ දරුවන්ට රතිඤ්ඤා දල්වන්නට දෙන්නේනම් ඉතා පරිස්සම් විය යුතු බවයි.

අපරීක්ෂාකාරී ලෙස නිලා පත්තු කිරීමෙන් ද දෑස් අන්ධ වූ අවස්ථා තිබේ. ඒ අනුව පවුලේ අය එකට එක්වී ප්‍රීතියට පත්වන මේ සමයේ පුංචි වැරැද්දක් නිසා මුළු ජීවිතයටම කැළලක් ඇති කර ගැනීමට ඉඩ සලසා නොගන්නා ලෙස ඉල්ලීමක් කෙරේ.

ශාරීරික තුවාල ඇති කිරීමට අමතරව රතිඤ්ඤා නිසා විශාල ශබ්ද දූෂණයක් ද අලුත් අවුරුදු දිනවල ඇති වේ. ඒ පිළිබඳව ද විශේෂයෙන් රෝහල් අසල බරපතළ රෝගීන් සිටින නිවාස අසල කුඩා දරුවන් සිටින ස්ථානවල විශාල ශබ්දයකින් යුත් විශාල අලිඩොන් වැනි විශාල රතිඤ්ඤා පත්තු කිරීම ප්‍රඥාගෝචර නොවේ.

අලුත් අවුරුද්දට අලුත් රෙදි ගැනීම නිරන්තරයෙන්ම සිදුවන දෙයකි. ඒ අනුව ඒ රෙදි ඔතා ඇති පොලිතින් ඉවත් කර අලුත් රෙදි ඇඳීම නිරන්තරයෙන්ම සිදු වේ. නමුත් රෙදි පිළි අලෙවි සල්වල ගෙවල්වල එසේ පොලිතින් ඉවත් කිරීම ක්‍රමානුකූලව සිදුවෙයි.

ඒ එකතු වන පොලිතින් තොග ලෙස සකස් කර ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රාදේශීය සභාවලට බාර දීම කළ හැකිය.

එපමණක් නොව රටේ පොදු ජනතාව ද මේ අලුත් අවුරුද්දට ගොඩගැසෙන පොලිතින් ප්ලාස්ටික් කන්දරාව පිළිබඳව පාරිසර හිතකාමීව අවධානය යොමු කළ යුතුය.

ඊට අමතරව මේ අලුත් අවුරුදු සමයේ සිදුවන තවත් ලොකු සත්ත්ව හිංසාවක් තිබේ. ඒ ගවයන්ට වද දී සලකන තිරික්කල රේස් තරගයි. සිංහල අලුත් අවුරුද්දට සතුට බෙදා ගන්නා අප මේ අහිංසක ගවයන්ට තිරික්කල රේස් තරගවලදී දෙන වද කෙතරම්ද? වලිගය විකීම, තදබල ලෙස කෝටු පහර එල්ල කිරීම, රත්වූ යම් යම් දේ පිටුපස තැබීම ඒ අතර දක්නට ලැබේ. සත්ත්ව හිංසා පනත් අනුව මෙවැනි අද රටට උචිත නැති තිරික්කල රේස් පැවැත්වීම නැවැත්වීමට දැන් කාලය එළඹ තිබේයැයි වනජීවි සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පවසයි.

ඒ සමඟම රටේ විවිධ ස්ථානවල පවත්වන අලුත් අවුරුදු උත්සවවලදී පරිසර හිතකාමී ලෙස සංදර්ශන කටයුතුවල යෙදිය යුතුය.

සිංහල අවුරුද්ද හා ලබැඳි තවත් පාරිසරික හිතකාමී කටයුත්තක් වනුයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවයයි.

හිසට එක් කොළ වර්ගයක් ද පයට තව කොළ වර්ගයක් ද තබා නානු ගා හිසතෙල් ගෑම මුළු අලුත් අවුරුද්ද සුබ වීමට හේතු වනු ඇතැයි මතයක් තිබේ.

පරිසරයේ සුන්දරත්වයත් සමඟ උදාවෙන අලුත් අවුරුද්ද පරිසර හිතකාමීව ගත කර පරිසරයටත් රටටත් තමන්ටත් සුදුසු ජීවන ගමනක් අලුත් අවුරුද්දේ යෑමට සුදුසු පරිසරයක් ඇතිකර ගැනීම පරිසර හිතකාමී සැමගේ අරමුණ විය යුතු බව අපේ අදහසයි.

ඒ අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මේ වකවානුවේ අපේ සිත්සතන් පරිසර සංරක්ෂණයට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බව කිව යුතුමය.

 

Comments