වායු දූෂණය අඩු කිරීමට‍ පොලිසිය හා පර්යේෂණ ආයතන | සිළුමිණ

වායු දූෂණය අඩු කිරීමට‍ පොලිසිය හා පර්යේෂණ ආයතන

පසුගිය සතියේ අපි ලියූ ‘ළඟදිම අපටත් ගෑස් මුහුණු’ ලිපියට විවිධ අයුරින් පාඨක ප්‍රතිචාර ලැබිණි. අප එම ලිපියෙන් අවධාරණය කළේ වායු දූෂණයේ නම් නිහඬ මාරයා ක්‍රමයෙන් අපේ රටේ පාසල් දරුවන් හා වටිනා ජන ජීවිත මරා දමන තත්ත්වයට පැමිණෙමින් තිබෙන බවයි.

මෙය වැළැක්වීමට හැකි ප්‍රධාන බලධාරියකු වන්නේ පොලීසියයි. පොලීසියට වායු දූෂණය වැළැක්වීමට බලතල තිබුණත් එය ක්‍රියාවට නංවන්නේ නැතැයි ප්‍රවීණ පරිසර නීතිඥයෝ පවා පවසති. අපේ රටේ වායු දූෂණ තත්ත්වය රටට කියා දිය යුතු අනෙක් පිරිස අපේ රටේ රජයේ මුදලින් යැපෙන විද්‍යාත්මක පර්යේෂණ ආයතනයි. කාර්මික තාක්ෂණ ආයතනය වැනි ආයතනය ඒ අතර පෙරමුණේ සිටී. එහෙත් ඒ ආයතන තම පර්යේෂණ පිළිබඳව ජනතාව ජනමාධ්‍ය මඟින් දැනුම්වත් කරන්නේ ඉතා අඩුවෙනි.

වායු දූෂණය මැඬීමට කරන පර්යේෂණ පිළිබඳ තොරතුරු අදාළ ආයතනවලට ලබාදීම සහ ජනමාධ්‍ය මඟින් ජනතාවට ලබාදීම රට වෙනුවෙන් රාජකාරි කරන ඔවුන්ගේ රාජකාරි කටයුත්තට අයත් යයි මම සිතමි. එමෙන් ම අපේ රටේ වායු දූෂණයේ තත්ත්වය පිළිබඳව දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත. ඒ සඳහා කාර්මික තාක්ෂණ ආයතනය ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් කළ හැකි කාර්යභාරය විශාල බව පරිසර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ. වායු දූෂණය පිළිබඳව කතා කරන අවධානය යොමු කරන අය පවසන්නේ මහ පාරේ මහ දවල් පැහැදිලිව දුම් දම දමා දුවන වාහන ඇල්ලීමට පොලීසියට බලයක් නැද්ද කියා ය. මාර්ග ආරක්ෂාවේ යෙදෙන පොලිස් නිලධාරීන් වැඩිපුර අල්ලන්නේ හයියෙන් යන වාහන ඉරි කපන වාහන පමණකි. එහෙත් දුම් දමන වාහන අල්ලන් නැත්තේ ඇයි? එසේ වුවත් මාර්ග ආරක්ෂාවේ නියුතු පොලිස් නිලධාරින්ට විෂ දුම් නිතරම ආශ්වාසය කිරීමට සිදුවන්නේ ද මේ දුම් දමන වාහන නිසා බව ඔවුන් සිතන්නේ නැද්ද?

පාරේ ධාවනය වන දුම් දමන වාහන කෝච්චි වගේ යන වාහන අල්ලන්නට පොලීසියට බලයක් නැද්ද?

පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මෙයට පිළිතුරු දෙමින් අප පවසන්නේ වායු දූෂණය සිදු කරන වාහනවලට මහ පාරේ ම අල්ලා දඬුවම් දීමට දඩ ගැසීමට ඇති බලතල පිළිබඳ පොලිස්පතිවරයා දෙවරක් චක්‍රලේඛ දෙකක් මඟින් මෙරට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කර ඇති බවයි. එහෙත් සමහර පොලිස් ස්ථානාධිපතිවරු මෝටර් රථ ප්‍රවාහන අංශයේ පොලිස් නිලධාරීන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා අයුරින් කටයුතු කරති. රවින්ද්‍රනාත් දාබ‍රේ මහතා සපයන පරිදි ඕනෑම පොලිස් නිලධාරියකුට ජාතික පාරිසරික පනත යටතේ වායු දූෂණය කරන වාහනයක් අල්ලා උසාවි යැවීමට පුළුවන.

‍මෝටර් රථ ආඥා පනතේ වගන්ති අනුව වායු විමෝචන අනුමත බලපත්‍රය හා රක්ෂණ සහතිකය නැතිව වාහනයක් පැදවීම රුපියල් 25000 දක්වා දඩයක් නියම කළ හැකි වරදකි.

එහෙත් දුම් දමන වාහනයකින් වායු විමෝචන වාහන බලපත්‍රය පොලිස් නිලධාරීන් ඉල්ලා නොසිටින්නේ ඇයි? වාහන සම්බන්ධව පුංචි දේකට දඩ ගහන පොලීසිය මෙහිදී අසරණ වූයේ කෙසේ ද?

මේ පිළිබඳව තවදුරටත් අපට කරුණු දැක්වූ රවින්ද්‍රනාත් දාබරේ මහතා පැවසුවේ පාරේ රාජකාරිවල නියුක්ත පොලිස් නිලධාරීන්ට කැමරා සහිත අඩු මුදලේ ජංගම දුරකථනයක් ලබාදීම අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව දුම් දමන වාහනයක් දුටු කල වාහනයේ අංකය සමඟ වාහනයේ ඡායාරූපගත කර එය සාක්ෂියක් ලෙස සලකා නඩු පැවරීමට පුළුවන. දැන් තත්ත්වය යටතේ දුම් දමන වාහන අල්ලා නඩු දැමීමත් ඒවා ඔප්පු කිරීමට බැරි අවස්ථා ද බොහෝ ඇත. මේ පිළිබඳ පොලිස්පතිතුමාගේ අවධානය වහාම යොමු විය යුතුය. මක් නිසාද යත් මේ විස දුම් දමන වාහන නිසා ක්‍රමයෙන් නිහඬ ලෙස මරණයට පත් වන්නේ ඒ වාහන අයිති අය හෝ එහි රියදුරු පමණක් නොවේ. පොලිස් නිලධාරීන් ද ඇතුළුව මෙරට දිස්ත්‍රික්ක 22 කෝටි දෙකක පමණ ජනතාව බව සැවොම මතක තබාගත යුතු ය.

අපේ රටේ ඇති රජයට අයත් විද්‍යාත්මක පර්යේෂණ ආයතනවලින් පර්යේෂණ සිදු කරන්නේ අපේ රටේ සල්ලි වලිනි. තවත් විදියකට කීවොත් රටේ ජනතාව විවිධ අයුරින් ගෙවන ක්‍රමයෙන් වැඩි වන බදු මුදල් වලිනි. අද ජනතාව පරිසරය පිළිබඳව නිතරම වැඩි අවධානයක් යොමු කරති. ඒ අනුව ඔවුහු තම ජීවත්වන පරිසරයේ තිබෙන වායු ගෝලීය තත්ත්වය පිළිබඳව දැනගන්නට කැමැති ය. එසේ නම් එම තොරතුරු මහජනතාවට ලබාදිය යුත්තේ ඒ පිළිබඳව පර්යේෂණ කරන ආයතනයි. ජනමාධ්‍ය මඟින් ඊට පූර්ණ සහාය ලබාදීමට මෙරට විද්‍යා මාධ්‍යවේදීහු නිතරම බලා සිටිති. එහෙත් කාර්මික තාක්ෂණ ආයතනය කරන පරීක්ෂණ පිළිබඳව තොරතුරු ඉක්මනින් මාධ්‍ය ලබාදීමට නොහැකි බව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අප තොරතුරු ඉල්ලූ විට පවසන්නේ තොරතුරු දැනගැනීමේ නීතිය අනුව ලිඛිත ඉල්ලීමක් කරන්න. එවිට දින 14කට පෙර පර්යේෂණ තොරතුරු දෙන්නම් යන්නයි. එහෙත් දිනපතා සතිපතා පුවත්පතකට ඊට පසු දිනට හෝ ඊළඟ සතියේ ඒ පුවත විශේෂාංගය පළ කළ යුතුය. ඒ තොරතුරු දැනගැනීමේ පනත අනුව පුවත්පත්වල දින 14 කදී තොරතුරු දෙන්නේ නම් හැමදාම අපට ලියන්නට සිදුවන්නේ පිළුණු වූ ප්‍රවෘත්තිය. පිළුණු වූ පරණ විශේෂාංගය. එය පුවත්පත්වලට බංකොලොත් බවකි.

අප පසුගිය සතියේ ‘ළඟදීම අපටත් ගෑස් මුහුණු’ විශේෂාංගය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ තොරතුරු ලබාගැනීමට එහි අධ්‍යක්ෂ ජනරාල්ට පර්යේෂණ නිලධාරීන්ට පමණක් නොව විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේරත් මහතාට ද දුරකථන ඇමතුම් 15ක් 20ක් ලබාදුනිමි. එහෙත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය වෙලාවට අපට තොරතුරු දුන්නේ නැත.

මීට අමතරව රටේ පර්යේෂණ ආයතනවල මෙතරම් තද බල නීති නැතත් තොරතුරු පනත අනුව තොරතුරු ලබාදෙන නිලධාරීන් ඒවාට තවම පත් කර නැත. එසේ නම් ජනතාවට වැදගත් වන ජල දූෂණය වායු දූෂණය පිළිබඳව, පාරිසරික සංවේදී ප්‍රවෘත්ති ඇතුළු පර්යේෂණ තොරතුරු අප රට වෙනුවෙන් පළ කරන්නේ කෙසේද?

‘නීල හරිත රටක්’ බිහි කිරීමට ජනාධිපතිතුමා උත්සාහ දරන මේ අවධියේ රටේ සල්ලිවලින් කරන පර්යේෂණ පිළිබඳව ඒ ආයතන මසකට වරක්වත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තබා රටට හෙළි කළ යුතු ය. එය ඒ ආයතනයේ ප්‍රධානීන්ට ද ඉතා වැදගත්වේ. ඔවුන්ගේ උන්නතියට ඉදිරි පැවැත්මට ද මේවා අත්‍යවශ්‍ය වේ.

කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු මෙරට විද්‍යාත්මක ආයතනවලින් විද්‍යාත්මක පර්යේෂණ තොරතුරු ජනමාධ්‍යයට ලබාදීමට තොරතුරු නිලධාරියකුගේ හෝ මාධ්‍ය නිලධාරි මහත්මියකගේ සම්බන්ධීකරණය මත මීට වඩා වැදගත් වැඩපිළිවෙලක් යොදන ලෙස විද්‍යා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගෙනුත් අතිරේක ලේකම් හේරත් මහතාගෙනුත් ඉල්ලා සිටිමු.

Comments