
ටිබෙට් ජාතික ආධ්‍යාත්මික නායක දලයි ලාමා
සාමය හා සහකම්පනය ජන හදවත් තුළ ඇති කිරීමෙහිලා කාන්තාවන් සතු හැකියාව පිරිමින් ගේ හැකියාවට වඩා බෙහෙවින් ඉහළ වන බව ටිබෙට් ජාතික අාධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා ප්‍රකාශ කර තිබේ. ලෝකයේ කවර කොනක කවර කාර්යයක නියැළී සිටිය ද ආදරය කරුණාව හා සංහිඳියාවේ වර්ධනය උදෙසා කාන්තාව ගෙන් ලැබිය හැකි දායකත්වය සුළු කොට තැකිය නොහැකි යැයි ද දලයි ලාමා තුමා පවසයි.
‘ජාතිය ගොඩනැඟීම සඳහා කාන්තාව ගේ දායකත්වය’ යන මැයෙන් පසුගියදා ඉන්දියාවේ විජයවඩා ප්‍රදේශයෙහි පැවැත්වුණු කාන්තා පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට ලොව නන් දෙසින් සහභාගි වූ 12000කට අධික කාන්තාවන් හමුවේ දලයිලාමාතුමා මේ බව පවසා තිබේ. එහිදී රැස්ව සිටි කාන්තාවන් අමතා එතුමා ප්‍රකාශ කළේ කාන්තාවන් හැමවිටම පිරිමින්ට වඩා හැකියාවන් ගෙන් පිරිපුන් බව ය. සහනුකම්පාව සහ ආදරය යන විෂයයන් ගත් කල ඒ වඩාත් ප්‍රකට වන බව ද එතුමා පැවැසීය.
අසූ විය (80) පසු කළ දලයිලාමා තුමා පවසන්නේ පුරුෂ මූලික සමාජයක් ගොඩනැංවීමට පාර කියන පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ය. “අහිංසක සිත් ඇති ළමයින් මෙන් නොව වැඩිහිටියන් භෞතික සම්පත් මිස යහගුණ හෝ සාරධර්ම පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකරන බව ද එතුමා පවසයි. අනුන්ගේ දුක හඳුනන සානුකම්පිත හදවත් ඇත්තන් බිහි කිරීමට නම් පවතින අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළ යුතු බව එතුමාගේ අදහසය.
දැඩි තරගකාරී බව ඊර්ෂ්‍යාව වෛරය කුහක බව යන දුර්ගුණ වර්ධනය කිරීමට වත්මන් තරගකාරී අධ්‍යාපන රටාව හේතු වන බව එතුමාගේ මතයයි.
විසි එක් වැනි සියවසේ සමාජයෙහි ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය මෙන් ම අසහනකාරී පරිසරය තුරන් කිරීමට නම් අතීතය දෙස ආපසු හැරී බලා පාඩම් උගත යුතු කාලය එළඹ ඇතැයි ද දලයිලාමා තුමා පවසයි. සාමයෙන් ජීවත්වන්නන්ට ප්‍රචණ්ඩත්වයෙහි විපාක විඳින්නන් හට වෙනස් කොට සැලකිය නොහැකි බවත් 21 වැනි සියවසෙහි සාමය උදාකර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප සිතා බැලිය යුතු බවත් එතුමා පවසයි.
දලයිලාමා තුමා ආදරය සහ සහනුකම්පාව පිළිබඳ උගත්තේ සිය මවගෙන් යැයි ඔහු පවසා තිබේ. කිසි දිනෙක මගේ මව මා දෙස තරහ මුහුණක් පෙන්වා නැත. ආදරය සහ සහකම්පනය පිළිබඳ පාඩම ලොවට කියාදෙන්නේ අම්මා ය. කාන්තාවය. පිරිමින් හා සංසන්දනය කරන කල ගැහැනුන් ලොවට දායාද කර ඇත්තේ ආදරය සහ සහකම්පනය ලොවට උගන්වනු සඳහා ය.
බාහිර ලෝකයේ සාමය උදා කළ හැක්කේ අභ්‍යන්තර සාමය උදා කර ගැනීමෙන් පමණක් බව ද
බාහිර සාමය ඇති කරගත හැක්කේ අභ්‍යන්තර සාමය තුළින් පමණකැයි කී දලයිලාමා තුමා විසි එක්වැනි සියවස සාමයේ සියවස බවට පත් කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව අප විසින් සිතා බැලිය යුතු යැයි ද පැවැසීය.
ලෝකයේ තිබෙන රටවල් 200 ම කාන්තාවන් විසින් පාලනය කරනු ලබන්නේ නම් ලෝකය වඩාත් සාමකාමී ආරක්ෂිත ස්ථානයක් වනු නිසැක බව ද හෙතෙම පැවැසීය.
ඉන්දියාවේ විජයවඩාහි පැවැති මෙම අන්තර්ජාතික කාන්තා සමුළුවට පැමිණි දලයි ලාමා තුමා පුරා පැය තුනක් එහි ආරම්භක සැසිවාරයෙහි ගත කළේ ය. අධික රස්නයෙන් දැඩි ලෙස පීඩා විඳි එතුමා සිය හිස තෙත තුවායකින් ආවරණය කරගෙන සිටි බව ද වාර්තා වේ.
මෙම හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ආරම්භක සැසිය අමතමින් පවසා සිටියේ කාන්තාව සිය අගය හා ශක්තිය හඳුනා ගෙන ඔවුන් ගේ අයිතීන් උදෙසා පෙනී සිටිය යුතු බවය.
බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කතා නායිකා සාෂියා ශාමින් චෞද්රි පවසා සිටියේ 1972 තරම් ඈත අතීතයේ පටන් බංග්ලාදේශ පාර්ලිමේන්තුවෙහි කාන්තාවන්ට ආසන වෙන්කර තිබූ බවය. වර්තමානය වන විට බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධූරය, විපක්ෂ නායක ධූරය හා කතානායක ධූරය යන ප්‍රබලතම තනතුරු තුනම කාන්තාවන් විසින් දරන අතර ඔවුන් ඇතුළු මන්ත්‍රීවරියන් 70 ක් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව ද ඈ කීවාය.
පුදුචෙරි හි ආණ්ඩුකාර කිරාන් බේදී පැවැසුෙව් කාන්තාවන් ඉදිරියට ගෙන ඒමේ වගකීම මෙන් ම අනාගත නායිකාවන් බිහි කිරීමට වගකීම ද රැඳී ඇත්තේ කාන්තාවන් අතෙහි බව ය. සිත කය හා ආත්මය එක්තැන් වූ සාමකාමී ජාතියකින් යුතු භාරතයක් ඈ ප්‍රාර්ථනා කළා ය. එක්සත් සංගම් ඇමැති වෙන්කයියා නායිදු පවසා සිටියේ ඉන්දීය රජය කාන්තාවන් බලගැන්වීම පිළිබඳව බැරෑරුම් ලෙස සිතන බව ය. නීති සම්පාදන ක්ෂේත්‍රයෙහි 33% ක කාන්තා නියෝජනයක් සඳහා ආසන වෙන් කිරීමට ඔවුන් සූදානම් වන අතර රාජ්‍ය සභාවේ බහුතරය ලබාගත් විට ඒ පනත සම්මත වනු ඇතැයි ද කී ය.
අන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන ඇමැති චන්ද්‍රාබාබු නායිදු පැවැසුවේ ඔවුන් ගේ පක්ෂය කලක පටන් කාන්තාවන් බලගැන්වීම කෙරෙහි උනන්දු වූ බව ය. අපේ පක්ෂයේ නිර්මාතෘ එන්.ටී. රාම රාවෝ ප්‍රථම වරට කාන්තාවන්ට දේපළ හිමිකම් පිළිබඳව අයිතිය ලබාදීම හා 33% ක් කාන්තාවන් දේශපාලන බලය ලබාදීම සහ පළාත් පාලන ආයතනවල ආසන කාන්තාවන් සඳහා වෙන් කිරීමට මුල් වූ බව ද කීවේ ය.