ඔය හදිසි මුණ ගැසීමේ තේරුම මොකක්ද? | Page 3 | සිළුමිණ

ඔය හදිසි මුණ ගැසීමේ තේරුම මොකක්ද?

අතිශයින් විවාද සම්පන්න දිනයක් නොවූයෙන් තවදුරටත් රැඳී සිටීමේ උදාසීනකම නරේන්ද්‍රට දැනෙන්නට විය. ඔහු පාර්ලිමේන්තු සබා ගැබෙන් පිටතට ආවේය. අනතුරුව ඔහුට සිතුණේ පුස්තකාලයට ගොස් පත්තර පිටු පෙරළා බැලීමටය. විදුලි සෝපානය ඔහු ඉහළට ගෙන යන අතර ඔහු ජංගම දුරකථනයේ ඇතැම් මඟ හැරුණ අංක සොයන්නට විය.

නේෂන්ගෙන් ඇමතුම් හයකි. මෙදින නේෂන් සහ රෝජා සඳපාණි කොළඹ ඒමට නියමිත දිනයයි.

යාපන ගමන විනෝදාත්මක සංචාරයක් නොවන බව නරේන්ද්‍ර එහි යෑමට පෙර සිටම ගත් තීරණය නිවැරැදි විය.

එය ශෝකාන්තයක් වූයේ නේෂන්ටත් රවිහාරිටත් පමණක් නොවේ. මිනිසුන් වශයෙන් ඔවුන්ගේ ශෝකයට එක් නොවී සිටීමට රෝජා සඳපාණිටත් රාහුලටත් නොහැකිවීම නරේන්ද්‍රට පුදුමයක් වූයේ ද නැත.

රවිහාරීගේ දෙනෙතින් කඳුළු උතුරන විට රාහුල පත් අසරණකමෙහි ගැඹුරත්, රෝජා සඳපාණිගේ ගොළුව ගිය ශෝකයත් නරේන්ද්‍රගේ සිත කම්පා කරවන්නක් වුවත් ඔහු තම හැඟීම් ඉඟියකින් බැල්මකින් පවා දැනෙන්නට ඉඩ හැරියේ නැත.

 

නේෂන් ඔහුගේ උපන් ගමට පිරිස කැඳවාගෙන ගියේය. ත්‍රස්තවාදයේ පීඩනයෙන් හැකිළුණු ගමක් යළිත් පිබිදෙමින් තිබෙනු දැකීම සිතට යම් සහනයක් යැයි නේෂන් කීවේ දුක්මුසුවය.

මවුපියන් විසූ මහගෙදර බොහෝ කාලයක් නේෂන් එනු ඇතැයි බලා සිට, අපේක්ෂා භංගත්වයෙන් ගරා වැටී ඇත.

කුඩා රවිහාරි, මනෝහාරි, ඉන්ද්‍රජිත් සහ චන්දිරම් එක්ව විදුලි කණුවේ ගැසූ කොන්ක්‍රීට් ඇණයට තරම් ශක්තියක් තමා උපන් මහ ගෙදරට නොවීමේ ශෝකය නේෂන් පිට කළේ වේග සුසුමකිනි.

“යාපනයට තවත් චණ්ඩ මාරුත, කුණාටු සුළිසුළං අවශ්‍ය නැහැ.”

නේෂන්ගේ සුසුමට සංවේදී වූ නරේන්ද්‍ර කීවේ සිනාසෙමිනි. ඒ සිනාවේ සැඟවුණු ශෝකය නේෂන් දුටුවේය.

“රට අලුතෙන් ගොඩ නගන්න ඕනෑ කියලා අපි කෑගැහුවට ඇත්තට ම අලුත් වෙන්න ඕන අපේ සිතුම් පැතුම් බලාපොරොත්තු අපේක්ෂා. සාමය සහජීවනය ළං කර නොගත්තොත් රටේ අනාගතය කොහාට යයිද කියන්න බැහැ.”

නරේන්ද්‍ර යාපනයේ සිට ආපසු එන ගමනේදී ඉතා ප්‍රවේශමින් තෝරා බේරා ගත් වදන් මුවින් පිට කළේ පියාටත් වඩා ඕනෑකමින් දියණිය තමාට සවන් දෙනු දකිමිනි.

**********

නරේන්ද්‍ර නේෂන්ට දුරකථන ඇමතුමක් ගත්තේ විදුලි සෝපානයෙන් පිටතට පය තබමිනි.

“ඩොක්ටර් තාම බිම්සරලගෙ ගෙදරද?”

දෙදිනකට පෙර යාපනයේ සිට ආපසු එන අතර නේෂන් සහ දියණිය ෂර්මිලාගේ මහගෙදරට රැගෙන යෑමේ වගකීම රාහුල බාරගෙන තිබිණි. අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑයට යොදුනක් පමණ දුරින් වූ මහගෙදර අබියස නවතන ලද වෑන් රථයෙන් බසින ඥාති දියණිය පිළිගැනීමට බිම්සර පැමිණි සැටි දුක් දසුනක් විය.

නරේන්ද්‍ර බිම්සර දෙස බලා සිටියේය. ඔහු මඳ දුරක් පියවර ඔසවා යළිත් ගල් ගැසුණාසේ එස වූ පය බිම තැබුවේය.

රෝජා සඳපාණි තිගැස්සුණු දෙනෙතින් ඈත මෑත වට පිට බලනු දුටු නරේන්ද්‍ර ඇයට ළං විය.

“ඇයි දෝණි බයවෙලා වගේ? බයවෙන්න එපා. මේ ඔයාගෙ අම්මගෙ මහගෙදර. අර ඉන්නෙ මාමා...”

තරුණිය හිස සැළුවාය.

‘මං මාමව ඉන්ටර්නෙට් ‍එකෙන් දැකලා තියෙනවා. කතා කරලා තියෙනවා.”

ඇය කීවේ දුක්බරවය.

“මාමා තමා මට සිංහල ඉගෙනගන්න කිව්වෙ?”

“ගිහින් කතා කරන්න.”

තරුණිය වෙත එමින් සිටි බිම්සර ක්ෂණිකව ආ මඟ වෙනස් කර නේෂන්ට ළංව ඔහු වැලඳ ගත්තේය.

නේෂන් වික්ෂිප්ත විය. මේ මිනිසාට තමා ජීවිතයෙන් ණය ගැති බව ඔහුගේ මතකයට නැගෙන්නට විය. එල්.ටී.ටී. ප්‍රහාරයකින් මිය ගිය බිරියගේ සමීපතම ලේ ඥාතියා ඔහුය.

“මල්ලී”

නේෂන් තොල මැතිරුවේය.

“අපි අපේ රටට ආවා.හඳුනාගන්න ඇති. මේ මගෙ දුව.”

“අක්කා වගේමයි” බිම්සර නේෂන් තම ග්‍රහණයෙන් මුදවා රෝජා සඳපාණි තුරුලු කර ගනිමින් කීවේ බිරිය ජෙතාලිටය.

දෙහෝරාවකට වැඩි කාලයක් බිම්සර නිවෙසේ සිට විසිපස්වසරක අතීතය හා බැඳුණු කතා බහ ‍තොරතුරු තුළ ගැලී සිටි නරේන්ද්‍ර ආපසු ගමනට සූදානම් විය.

“න‍රේන්ද්‍ර මාමා අපි රුවන්වැලිසෑයත් වැඳගෙන ම යමු.” රාහුල යෝජනා කළේය.

“අපි තව දවස් දෙකකින් කොළඹ එනවා. මං එන්න කලින් නරේන්ද්‍රට කෝල් එකක් දෙන්නම්.”

ඒ දුරකථන ඇමතුම පැමිණ ඇත. නේෂන් සහ දියණිය එන්නේ සුඛෝපභෝගී නගරාන්තර බස් සේවයකිනි. බිම්සරගේ පයක ආබාධයක් නිසා වාහනය පැදවීම අපහසුව ඇත.

“ඩොක්ටර් දැන් එන්න පිටත් වෙලාද? කොළඹට එන කොට කීය වෙයිද? මං එන්නම් ඔයාව ගන්න ස්ටෑන්ඩ් එකට.”

නරේන්ද්‍ර නේෂන් අමතන්නට විය.

“එපා නරේන්. අපි කැබ් එකක් අරන් පිළියන්දල ගෙදරට යන්නම්. කරදර වෙන්න එපා. ස්තුතියි.”

“කරදරයක් නෙමේ මං එනවා. මං හිතන්නෙ පහ විතර වෙනකොට ඔයාලට කොළඹට එන්න පුළුවන්.”

නරේන්ද්‍ර දුරකථනය විසන්ධි කළේය. ඕනෑම සිදුවීමක අවසාන විනිශ්චය හෝ තීරණය තමා සතු යැයි සිතන යම් අධිපතිවාදී හැඟීමක් නරේන්ද්‍ර සිත ඇතැයි වටහා ගැනීම තුළ තවත් තර්ක විතර්ක අවශ්‍ය නැතැයි නේෂන් සිතුවේ නරේන්ද්‍රගේ උපකාරය ප්‍රතික්ෂේප කිරීම නැවතිණි. ඔහු බස් නැවතුමට ඒම තිර බව පිළිගැනීමට නේෂන් වෛද්‍යවරයාට සිතිණි.

නරේන්ද්‍ර සතුටු සිතින් පුවත්පතක් දිග අරින්නට විය.

“සර්...”

ඉතා සෙමින් කිසිවෙක් තමා අමතනු ඔහුට දැනිණ. ඔහු ආපසු හැරුණේය. රුක්නාද් මන්ත්‍රිවරයා ඔහු පිටුපස සිටියේය.

“අර දෙන්නා ගෙදර ඇවිත් ද?”

රුක්නාද් ඇසුවේ මඳක් සසල හැඟීම් සිත ඇතිවය. නරේන්ද්‍ර මුව උපන්නේ හාස්‍ය ජනක සිනාවකි.

“රුක්නාද් අර ගෑනු ළමයි ඔයා ගැන කියන කතාව ඇත්ත.”

ඔහු කීවේ ඒ හාස්‍යජනක සිනාව වසන් කර ගැනීමේ වුවමනාවෙන් තොරවය.

“සර් කියන්නෙ මොන ගෑනු ළමයි ගැනද කියලා මට තේරෙන්නෙ නැහැ.”

“රෝජාසඳපාණියි රවිහාරියි කියනවනෙ රුක්නාද්ගෙ නම බො‍හෝම ගැළපෙන නමක් කියලා.”

“කාටද?”

“ඔයාටම තමා. රුක් කියන්නෙ ගස්. නාද් කියන්නෙ හඬ. ශබ්දය. නාදය. ගස්වල හඬ සියුම්. ඒත් වෙලාවකට ඒ හඬ බොහොම සියුම් විදිහට අපිට දැනෙන්නෙ. ඔයා කාට හරි ළං වෙන්නෙත් ගහක දල්ලක් හෙළවෙන තරම්වත් හඬක් නැතිව...”

“සර් කියන කතාව මට තේරෙන්නෙ නෑ...”

රුක්නාද් කීවේ සිතෙහි උපන් නොසංසුන් කලබලය සඟවා ගැනීමේ උත්සාහයක් ඇතිවය. ගසක දල්ලක් ලෙස නොව චණ්ඩ මාරුතයකින් සැලෙන විසල් අතු පතර ගැටුමකින් මතුවන මහා වේදනාබර හඬක් ඇතිව හෝ තමා කිසිවෙකුට තවමත් ළං නොවන බව මේ වියපත් මිනිසාට පැහැදිලි කර දෙන්නට යෑම අරුත් විරහිත යැයි තරුණ රුක්නාද්ට සිතිණි.

“මං සර්ව උදේ හිටන් හොයනවා.”

“මොකටද? මං ඇවිත් පැයක් විතර වෙනවනෙ...”

‘සර් මට අර ලයිට්කණුව ළඟ හඬපු නංගිගෙ අක්කට කතා කරන්න ඕන. සර්ට පුළුවන්නෙ මුණ ගස්සන්න?”

නරේන්ද්‍ර මඳ වේලාවක් තරුණ මන්ත්‍රිවරයා දෙස බලා සිටියේ මේ කුමන ඉල්ලීමක්දැයි වටහා ගත ‍නොහැකි සේ හෝ කුමන පිළිතුරක් ද දෙම්දැයි සිතන්නාසේය.

“සර් මං ගැන වැරැදි තීරණයක් ගන්න එපා. මං මේ සාමාන්‍ය විදිහට කෙල්ලො කොල්ලො කතාවකට යන්න හදනවා නෙමේ.”

“තමුන්නාන්සෙ වගේ වයසක මිනිස්සු කොහොමද කෙල්ලො කොල්ලො කතාවලට යන්නෙ? හිතාගෙන ඉන්නෙ දහ අටේ පැඟිරෙක් කියලද?”

නරේන්ද්‍ර කීවේ හාස්‍යයෙනි. ‘පැඟිරි කොල්ලා’ කතාව රුක්නාද්ට වැටහුණේ නැත. තමාගේ සිංහල දැනීම දුර්වල යැයි වැඩිමහලු මන්ත්‍රිවරයා දැන ගන්නවාටද ඔහු බිය විය. සමහරවිට ඒ තමා වැඩුණු මිනිසෙකැයි කළ හැඳින්වීමක් සේ බාර ගෙන නිහඬ වීම වඩා සුදුසු යැයි ඔහුට සිතිණි.

“සර් මට උදව් කරනවද? සර්ගෙ අක්කගෙ දුවක්නෙ එයා.”

“ඔයා රවිහාරිගෙන් ඇහුවෙ නැද්ද?”

“ඇහුවා. එයා කිව්වා සර්ගෙන් අහන්න. ම‍නෝහාරි මිස් ඇහුම්කන් දෙන්නෙ සර්ට විතරලු.”

“මොකක්ද ඉතින් ඔය හදිස්සි මුණ ගැහීමේ තේරුම?”

රුක්නාද් කල්පනා කරන්නට විය. තම අවශ්‍යතාව හා බලාපොරොත්තුව දෙස මේ සිංහල මන්ත්‍රිවරයා කෙසේ බලනු ඇද්ද? එ සැණින් විශ්වාස නොකරනවාට ද සැකයක් නැත.

තම අරමුණ කුමක් ද? මනෝහාරි ඉන්ද්‍රජිත් ප්‍රමුඛ ළමා මිනිස් සමූහයක් ස්වකීය මිත්‍රත්වයේ සහ උරුමයේ ශක්තිමත් බව ආදරණීය බව පසක් කර ගනිමින් එහි සංකේතයක් සේ විදුලි පහන් කණුවකට ගැසූ කොන්ක්‍රීට් ඇණය තවමත් එහි ඇත. මනෝහාරි සොහොයුරියට ඉන්ද්‍රජිත් සොයා දෙන්නැයි අයදිමින් රවිහාරි හඬා වැටුණේ, අතීත සිංහලයා සතු උතුරේ ගෞරවනීය උරුම හිමිකම් ද ලබා දෙමින් ජාතීන් අතර සහජීවනය ඇති කරන්නැයි බැගෑපත්ව ඉල්ලා සිටින්නාසේය. 

 

Comments