අර්ශස් සුවයට තෙල් හැන්දේ ප්‍රතිකාරය | Page 586 | සිළුමිණ

අර්ශස් සුවයට තෙල් හැන්දේ ප්‍රතිකාරය

 සීතාවක යුගයෙන් ඇරැඹී පරම්පරා පහළොවක් තිස්සේ පැවැත එමින් ජපානය, මැදපෙරදිග දක්වා විහිදුණු ඇස්වත්තේ වෛද්‍ය කර්මයෙන් අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි සුවපත් කර ගන්නට හැකි වේ නම් කියා කාටත් සිතෙනු ඇත. හිටිහැටියේ මතු වන කොන්දේ රුදාව, දණහිස් කැක්කුම්, හතිය, ඇදුම, අර්ශස්, රුධිර පීඩනය හා දියවැඩියාව වැනි බෝ නොවන රෝග සඳහා මේ වෙදකමෙන් ලබා ගත හැකි සහනය කෙබඳු වේදැයි අපි වෙදැදුරාගෙන් විමසුවෙමු.

“කොන්දේ අමාරුව බහුලව ඇති වන්නේ අපේ ජීවන රටාව, රැකියාවල ස්වභාවය ආදිය නිසයි. විශේෂයෙන් බසයට, කෝච්චියට දිවීම, කලබලකාරී ගමන් රටාව, උස සෙරෙප්පු පැලඳීම වැනි දේ නිසා මේ තත්ත්වය ඇති වනවා. ඒවායින් වැළකීමෙන් වේදනාව අඩු කර ගත හැකියි. කාර්යාලවල පුටුවේ රෝදවලින් එහා මෙහා ගමන් කිරීමෙන් වැළකිය යුතුයි. පරිගණක භාවිතයේදී පුටුවේ කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමත් අත්‍යවශ්‍යයි. දවසම හිටගෙන කටයුතු කරන අයගේ, රියැදුරන්ගේ තරුණාස්ථි හෙවත් කාටිලේජ කැඩී යනවා. හැම තැනම ගිහින් හොඳ කරන්න බෑ කියලා ප්‍රතික්ෂේප කළ අය අප ළඟට ගෙනැත් හදිස්සි කරන නෑදෑයොත් ඉන්නවා. කල් ගත වුණු ලෙඩෙක් එක රැයින් සුව කරන්න බෑ. ඒ සඳහා ඉවසීම ඉතා වැදගත්. ඒ වගේම අප ළඟට ගෙනෙන හැම රෝගියාමත් අප භාර ගන්නේ නැහැ. පරම්පරා 15ක් අපට මේ වෙදකම නොනැසී පවත්වාගෙන යාමට හැකියාව ලැබුණේ හොර, බොරු නැතිව ශාස්ත්‍රය කරගෙන ආ නිසයි.“

ඔහු මෙසේ කියන විට හදිසි කොන්දෙ රුදා සඳහා අත්බෙහෙතක් අසාගැනීම අප කාටත් වැදගත් වේයැයි සිතුණි. එය සිළුමිණ පාඨකටන් වෙත කීමට මහවෙදගේ වෙද මහතා නිර්ලෝභී විය.

“සුදුලූනු, අරත්ත අල, බැබිල මුල් තැම්බූ වතුරෙන් යෝග රාජ ගුලි හෝ වාත රෝග කල්කය හෝ නවරත්න ගුලිය උදේ සවස බීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. දුරදිග ගිය කොන්දේ අමාරු වුණත් ශූලහර තෙල් ගා නික කොළ, පාවට්ටා කොළ, බෙහෙත් එඬරු, ගම්මිරිස් කොළ, සුදුලූනු, කොට්ටපොල් එකට කොටා සාදා ගත් පොට්ටනියකින් තවා විවේකීව සිටීමෙන් ශල්‍යකර්මයකට නොගොස් බේරාගන්න පුළුවන්.“

ඔහු කීවේ ශල්‍යකර්මයට ගෙන ගිය රෝගීන් ගිලන් රථවලින් ගෙනා පසු සුව කළ ආකාරය සිහිපත් කරමිනි. කොන්ද රිදීමට එකම හේතුව මෙය නොවිය හැකිය. එවැනි රෝගයකින් පෙළුණු නෝමන් ක්‍රිස්ටෝෆර් මහතා වෙදැදුරු මහවෙදගේ පිළිබඳ කීවේ සිය ආගම ගැන ද විශ්වාසය පළ කරමිනි.

“මීට අවරුදු 4කට කලින් මගේ පිට දෙපැත්තේ කැක්කුමක් ආවා. වත්තලින් ඉංග්‍රීසි බෙහෙත් ගත්තා. දොස්තරලා කීවා මස්පිඬු ඇදිලා කියලා.වේදනාව අඩුයි වගේ නිසා මම රට ගියා. එහෙදි අමාරු වෙලා ලොකු ඉන්ජෙක්ෂන් 21ක් ගැහුවා. බැරි තැන ලංකාවට එව්වා. ආපහු බේත් ගන්න යද්දී දොස්තර ඇහුවා. ඇයි අමාරුවෙන් ඇවිදින්නේ කියලා. මම ඇවිද්දේ හරියට මන්දබුද්ධික ළමයෙක් ඇවිදිනවා වගේ. කකුල් පණ නෑ. පස්සේ එම්ආර්අයි එකකුත් කළා. අතට ඉන්ජෙක්ෂන් ගහලා ඩයි එකක් යවලා කීවා සුෂුම්නාවේ ගෙඩියක්, ශල්‍යකර්මයට ලක්ෂ 12ක් යනවා, හැබැයි 80%ක අවදානමක් තිබෙනවා කියලා. අපි තවත් තැනකට ගියා. එතැන ගාණ ලක්ෂ 8යි. හැබැයි අවදානම එකමයි. ඒ වෙද්දි මම ගියේ රෝද පුටුවේ. මගේ පිට කොකු දාලා අදිනවා වගේ වේදනාවක් තිබුණා. පස්සේ දුවගේ යාළුවෙක් කීවා එයාගේ තාත්තා බයිසිකලෙන් වැටිලා සති දෙකෙන් හොඳ වුණා, මෙතැනට ගිහින් බලන්න කියලා. මහවෙදගේ වෙද මහත්තයා දෙවි කෙනෙක් වගේ කීවා සුෂුම්නාවේ ගෙඩිය උඩින් ස්නායු වැඩිලා ඒත් ටික දවසකින් හොඳ කර දෙන්නම් කියලා. මාව ගෝනියේ දාලා උස්සගෙන එහේ මෙහේ ගෙනිච්චේ මළ කඳක් වගේ. මාස එකහමාරක් තෙල් බේත් කළා. දැන් මම මෝටර් බයිසිකලුත් පදිනවා. දෙවියො තමයි අපට මේ වෙද මහත්තයාව මුණගැස්සුවේ.“

නෝමන් මහතා තමන් ලැබූ සුවය නිසා අසල් වැසි නිවෙසේ දියණියට ද වෙද මහතාගෙන් පිහිටක් ලබා ගන්නට කටයුතු කළේය.

“අපේ අල්ලපු ගෙදර දුවට දැන් වයස 19යි. ඒ දරුවා අවුරුදු නවයක් තිස්සේ බේත් ගත්තා එක එක තැන්වලින් ආමාශයේ හිලක් කියලා. මොනවා හරි කෑව ගමන් ආමාශයෙන් කෑම ඇඟ ඇතුළට වැටෙනවා. ඒ වේදනාවට දරුවා කෑගහනවා පාර කෙළවරට ඇහෙනවා. මහවෙදගේ වෙද මහත්තයා ගැන අපේ තිබුණු විශ්වාසය නිසා ඒ දුවව ගෙනිච්චා. මාසයක් විතර නේවාසිකව බෙහෙත් කරලා පස්සේ සති දෙකෙන් දෙකට එන්න කීවා. දේව පිහිටෙන් ඒ දරුවට දැන් සුවයි.“

ඔවුන් මෙසේ පවසන විට තවත් බොහෝ දෙනකු විඳවන ඉරුවාරදය නිට්ටාවට සුව කිරීමට හැකියාවක් සිංහල බෙහෙත්වල තිබේදැයි අසන්නට සිතුණි.

“ඉරුවාරදය නැත් නම් කෝටරක ප්‍රදාහයට හේතුව අපේ ශ්ලේෂ්මල හෙවත් සෙම ඇති වූ විට පරිස්සම් නොවීම නිසා ගල් වෙලා කෝටරකවල එහෙමත් නැත්නම් කවුරුත් දන්න සයිනස් කුහර දෙක ඇතුළේ හිර වීමයි. නිර්ගුණ්ඩාදිය, නිශාදිය වැනි තෙලක් නහයට බින්දු කීපයක් දමා නස්න කර හිසටත් එම තෙල් දමා, හීන්උඳුපියලිය කොළ, සියඹලා කොළ, රතුලූනු, අමු කහ එකට කොටා පොට්ටනි බැඳ නළල තැවීමෙන් විශාල සහනයක් ලබා ගන්න පුළුවන්. නහය හිර වී හුස්ම ගැනීම අපහසු වගේ නම්, බෙලි කොළ දුම් ටිකක් අල්ලන්න. අපේ වෛද්‍ය ක්‍රමයට අනුව ඉරුවාරදයට බෙහෙත් කරන්න නම් උදේ 10ට කලින් ප්‍රතිකාර කළ යුතුයි. බටහිර ක්‍රමයට වේදනාව නසනවා පමණයි. අපේ ක්‍රමයට සෙම අස් කරලා නිට්ටාවට සුව කරනවා.“

අප පැවසීමට තරමක් මැලි කරන තවත් බෝ නොවන රෝගයකි අර්ශස්. එය නිට්ටාවට සුව කළ හැකි නම් කියා රහසේ සිතන කී දෙනකු අප අතර ඇතිද?

“අර්ශස්වල භයානකම අවස්ථාව තමයි භගන්දරා. එහිදී ගුද මාර්ගයේ කෙළවර මුඛ කීපයක් සමඟ ඇති වන පිළිකා විශේෂයක් භගන්දපිළිකය නමින් හඳුන්වනවා. රෝගය වැලඳුණු ගමන් ආවොත් නම් ක්ෂාර කර්ම හෙවත් ඒ මුඛ තුළින් බේත් නූල් නොයවා, ශල්‍යකර්ම නොකර, තෙල්-මැල්ලුම්-තැවිලි සහිත අපේ පාරම්පරික ක්‍රමයෙන් සුව කරන්න පුළුවන්. ඒ සඳහාම හදන පාරම්පරික තෙල් හැන්දක් සමඟ කොහිල, වැල්කොහිල හෝ හාතාවාරිය කැඳ හිස් බඩ බීමෙන් ලෙඩේ නිට්ටාවටම සුව වෙනවා. බඩවැල්වල අර්ශස් පවා සුව වනවා. අත්දුටුයි. සාමාන්‍ය අර්ශස්වල බඩ වේළන, ලේ පිට වන රෝගී තත්ත්ව තිබෙනවා. ඒවාටත් ගුලි, චූර්ණ, අරිෂ්ට සහ කෂාය වර්ග තිබෙනවා. තාවකාලික සහනය සඳහා අර්ශස් තෛලය, සර්වවිෂාදිය, පිණ්ඩ තෛලය වැනි දෙයක් අදාළ ප්‍රදේශයේ ආලේප කිරීම හොඳයි.“

මේ කාලේ අසන්න ලැබෙන තවත් බහුල රෝගයක් වන්නේ දණහිස් සන්ධි ගෙවී යෑමයි. ඇතැමුන් ශල්‍යකර්ම මඟින් ප්ලාස්ටික් දණහිස් දැමීම ද දැකිය හැකියි.

“දණහිස් සන්ධිප්‍රදාහයට දණහිසේ තිබෙන කාටිලේජ වර්ධනය වන පාරම්පරික පත්තු වර්ග තිබෙනවා. පොඩි වයසේ අයට බාල ප්‍රමේහය හැදුණොත් පසු කාලීනව ආතරයිටීස් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මුලදීම සුව කර ගැනීම හොඳයි. හන්දි ගෙවී ගියොත් කොතරම් වියදම් කර දණහිසක් දැම්මත් සියයට සියයක් හොඳ වන්නේ නෑ. වාත විදුරංග, වාත රාක්ෂ, ශූලහර වැනි තෙලක් ගා මී පොතු, හරංකහ අල, තල, සතකුප්ප, සුදුලූනු කොටා පොට්ටනි වණ්ඩුවේ තම්බා තැවීම මුල් අවස්ථාවේ නම් හොඳයි. පෝෂණ, වර්ධන ප්‍රතිකාර තිබෙන්නේ නම් අපේ පාරම්පරික ක්‍රමවලයි.“

අවුරුදු 82ක් වයසැති කාරියවසම් මහතා දණහිසෙන් පහළ පණ නැතිව සිට පසුගියදා සුව වූ අයෙකි.

“මම මාස තුනක් විතර ඇවිදගන්න බැරුව හිටියා. ඉංග්‍රීසි වෙදකම් ගත්තා; එක්ස්රේ කළා. පස්සේ ආරංචි වෙලා තමයි මේ මහවෙදගේ වෙදමහත්මයා ළඟට ආවේ. දින 8යි හිටියේ. මම දැන් මේ යන්නේ සුව වෙලා කාර් එකේ. හරි ගුණවන්ත මහත්මයෙක්. අපට බය නැතුව ඕන කෙනෙක්ට මෙතැනට එන්න කියන්න පුළුවන්.“

දියවැඩියාව අද බහුලවම ඇති රෝග තත්ත්වයකි. වයස් සීමාවකින් තොරව ගොදුරු වන මේ රෝගය නිට්ටාවට සුව කළ හැක්කක්ද? යන්නත් වෙන්ස්ලි මහවෙදගේ වෙදමහතාගෙන් විමසුවෙමි.

“සීනි නිට්ටාවට සුව කළ කෙනකු හෝ සුව කරගත් කෙනකු කොහේවත් නෑ. එහෙත් පාලනය කළ හැකියි. හැබැයි ඉස්සර පාරම්පරික ක්‍රම තිබිලා තිබෙනවා නිට්ටාවට සුව කරන. ඒවා අදට ගැළපෙන්නේ නෑ. මොකද: අද අප කනබොන විදිහත්, වැඩ කරන රටාවත් එදාට වඩා බොහෝ වෙනස්. ඒ නිසා ඒ බෙහෙත්වල ගුණ අද බලවත් නෑ. පාන්පිටි, යීස්ට් යෙදූ කෑම, කෙටි කෑම, පැණි බීම ක්ෂණික කෑම ආදියෙන් කට පරිස්සම් කර ගන්නවා නම් හොඳ මට්ටමෙන් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. එවිට ඖෂධ ශරීරයට ඇතුළු වන ප්‍රමාණය අඩු වන නිසා ඇස්, වකුගඩු, හෘදයවස්තුව වැනි අවයවවලට සිදු වන හානියත් අඩුයි. දියවැඩියාවෙන් පෙළෙන වෙනත් අපහසුතා ඇති රෝගීන් සඳහා අපේ පරම්පරා වෙද ක්‍රමයේ වෙනම සීනි රහිත බේත් වර්ග තිබෙනවා.“

බොහෝ විට අප අසා ඇත්තේ අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා දිවි ඇති තුරු බෙහෙත් ගත යුතු බවය.

“රුධිර පීඩනය වෙනස් වූ රෝගීන් සඳහා අපේ ගුලි විශේෂයක් තිබෙනවා. එයින් රෝගය නිට්ටාවට සුව වෙනවා. මුලින් රෝග විනිශ්චය කරලා මාසයක් පමණ ගුලි බීලා ක්‍රමයෙන් වේල් ගාන අඩු කරන්න පුළුවන්. ඒ වගේම මේ දේ නම් කිව යුතුමයි. ආහාර පාලනය නොකිරීම, නිදි වැරීම, ප්‍රශ්න-ගැටලු, ණය-තුරුස් ආදියෙන් මනස පුළුවන් තරම් නිදහස් කරගන්න බලන්න. ඒවා රුධිර පීඩනයට හේතු වෙනවා.“

පීනස, ඇදුම පාරිසරික හේතු මත ඇති වන රෝග ලෙසත් හඳුන්වයි. මේවා නිට්ටාවට සුව කිරීම සඳහා ද සිංහල බේත් වර්ග ඇති බව අපි දනිමු.

“පීනස් රෝග නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ඇදුම රෝගීන්ගේ ශ්ලේෂ්මල කොටස් නිතර ඉවත් කළ යුතුයි. තදින්ම රෝගය වැලඳී ඇත්නම් මාස 6ක් පමණ මසකට වර බැගින් සෙම අස් කිරීමෙන් නිට්ටාවට සුව වනවා. ඒ සඳහාත් තමන්ගේ පැවැත්ම බලපානවා. දූවිල්ලේ යන විට ආවරණයක් පැලඳීම, පින්නෙන් වැළකීම, අවේලාවේ නොනෑම වැනි දේ ගැන සැලකිලිමත් වීම වැදගත්.“

මිනිසුන්ට හැදෙන රෝග විවිධාකාරය. ඇතැම්හු දද, කුෂ්ට, රක්ත කුෂ්ට, ඉස්ම ගලන දද වැනි තත්ත්වයන් නිසා ජීවිත කාලයම විඳවති. සමහරු නොසැලකිලිමත්කම නිසා ඇති වන රෝගවලින්ද තවත් සමහරු අහේතුකව හට ගන්නා රෝග නිසා ද පෙළෙති. ඇතැම් විට එයින් විඳවන්නේ රෝගියා පමණක් නොවේ. මේ සියල්ලට විසඳුම් තිබේ. රෝගය මර්දනය කිරීමට වඩා එහි මුල සොයා ප්‍රතිකාර කිරීම පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රයේ උපක්‍රමයයි. ඉවසීමෙන් ඒ ක්‍රමයේ ප්‍රතිඵල අත් කර ගැනීම රෝග සුව කරගැනීමේ උපායයි.

සේයා රූ - සමන් ශ්‍රී වෙදගේ

Comments

පිටු