නාච්චිමලේ විනෝදය අග ඛේදවාචකය | සිළුමිණ

නාච්චිමලේ විනෝදය අග ඛේදවාචකය

 ඔවුන් ඉරිදා හිමිදිරි පාන්දරම රත්නපුර සමන් දේවාලයට යෑමට පිටත් වූයේ මෙවන් විපතක් සිදුවේ යැයි කිසිදු සැක සංකාවක් හිතේ නැතිවය. නමුදු සමන් දේවාලය වැද පුදාගෙන එන ගමනේදී ඔවුන් ඉංගිරිය, නාච්චිමලේ ප්‍රදේශයට ගියේ දිය නෑම සඳහාය. කිසිවකු නොසිතු අයුරින් මෙම මෙම ගමනට සහභාගි වූ අය අතතුරින් තරුණයන් තිදෙ‍නකු දියේ ගිලී මියගියේ ගම් දෙකක් හඬවමිනි. මියගිය තරුණයන්ගේ තොරතුරු සෙවිමේ අරමුණින් ඉකුත් බදාදා රත්මලාන තෙලවල පාරේ පිහිටි ඔවුන්ගේ නිවෙසට ගියෙමු.

නිවෙසට යන මඟ දෙපස තරුණයන්ගේ ඡායාරූපවලින් මෙන්ම සුදු කොඩිවලින් සරසා තිබිණි. අපට හමුවු හැම කෙනකුගේම දෑසේ දුක් කඳුළුය.

රත්මලාන බෙලෙක් කඩේ හන්දිය පොළේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය රුවන් දිලින (සුදා) හා මධුරංග සුදර්ශන (මධු) දෙසොහොයුරන් ගමේ මෙන්ම බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේ ද කොයිකාගේත් හිත් දිනා සිටි අයය. ඒ බව වඩාත් පසක් වුයේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකැරෙන දිනයේ බෙලෙක් කඩේ හන්දිය වෙළෙදපොළ වසා තිබෙනු දැකිමෙනි.

“ඉරිදා පාන්දර තමයි ගෙදර අය මේ ගමන යන්න පිටත් වුණේ. හැමදාම මමත් මේ ගමන යනවා. ඒත් මම මේ පාර ගමනට සහභාගි වුණේ නැහැ. ලොකු පුතයි පොඩි පුතයි ඇතුළුව ඔක්කෝම අට දෙනෙක් රත්නපුර ගමනට සහභාගි වුණා. ලොකු පුතාගේ නෝනා, එයාගේ දරුවෝ දෙන්නා. වගේම පොඩිපුතාගේ නෝනත් ගමන ගියා. පොඩි පුතා විවාහ වෙලා හරියටම මාසයයි දවස් අටයි. පුතාලා මුලින්ම සමන් දේවාලයට ගිහිල්ලා පුජාව තියලා වන්දනාමාන කරගෙන තමයි ඉංගිරිය නාච්චිමලේට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලා පුතාලා නාච්චිමලේ නාන්න පටන් අරගෙන තියෙන්නේ. එතකොට වෙලාව හවස දෙකට විතර ඇතිලු. පැය දෙකක් විතර පුතාලා වතුරේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ දියෙන් ගොඩට ඇවිල්ලා කෑම කාලා තියෙනවා. ඒ වෙලාවේ පොඩි වැහි පොදක් වැටිලා තියෙනවා. අවට හිටපු හැමෝම වගේ වාහනවලට නැඟලා. නමුත් මගේ පුතාලා දෙන්නයි එයාගේ යාළුවා රමිඳුත් ආයෙත් වතුරට පැනලා තියෙනවා. එතැන වළක් වගේ තැනක් තියෙනවලු ඒකට තමයි පුතාලා පැනලා තියෙන්නේ. ටික වෙලාවක් මේගොල්ලන් පේන්න ඉඳලා නැහැ. ටිකකින් මගේ අක්කගේ පුතා දැකලා තියෙනවා. ඔළුවක් උඩ එනවා. ඉන් පස්සේ තමයි හැමෝම කෑගහලා තියෙන්නේ. ගමේ මිනිස්සු ඇවිල්ලා තමයි පුතාලගෙ සිරුරු හොයාගෙන තියෙන්නේ. ඒ විනාඩි හතළිහකට විතර පස්සෙයි. මට දුවයි පුතාලා දෙන්නයි හිටියේ. දැන් ඉතින් මට මගේ කොල්ලෝ දෙන්නා නැති වුණා. ලොකු පුතා මධුට දරුවන් දෙන්නෙක් ඉන්නවා. අපි කාටද අපේ මේ දුක කියන්නේ.” සුදාගේ හා මධුගේ පියා වන ඊ. කේ. සිරිපාල මහතා පවසන්නේය.

“මට දරුවෝ මහ ගොඩක් නැහැ. හිටිය කොල්ලෝ දෙන්නම හොරු අරගෙන ගියා. අනේ අද මුළු ගමම අඬනවා.” මධුගේ හා සුදු ගේ මව වන ශ්‍රියාලතා මහත්මිය හඬා වැළපෙමින් පවසන්නීය.

මියගිය මධුගේ බිරිය හා දරුවෝ තම සැමියා හා පියා අහිමි වීමේ දුකින් හඬා වැලපෙන්නාහ.

මීට මාසයකුත් දවස් කිහිපයකට පෙර විවාහ දිවියට ඇතුළත් වු සුදු හෙවත් දිලිනගේ වියෝව වාවා ගත නොහැකිව ඔහුගේ බිරිය බලාගත් අත බලා සිටින්නීය. දියේ ගිලීමෙන් මිය ගිය අනෙක් තරුණයා වන්නේ රමිඳු මධුශිකය. ඔහු පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

“රමිඳු කාටවත් වරදක් ඇති දරුවෙක් නෙමෙයි. මධුරංගයි, දිලිනයි, රමිඳු පුතාගේ හොඳම යාළුවෝ. පුතා මේ අයත් එක්ක තමයි රත්නපුරේ ගමන ගියේ. මේ දරුවා අකාලේ මිය ගියා. දිලින පුතාගේ ‍මංගල දවසේ දෙවැනි මනමාලයාට හිටියෙත් රමිඳු පුතා.” රමිඳු පිළිබඳ එසේ පැවැසුවේ ඔහුගේ ඥාතියෙකි.

මේ වෙද්දී මියගිය සැමගේ අවසන් කටයුතු සිදුකර හමාරය. මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා දියේ ගිලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව දහයකට වැඩිය. ඉන් නාච්චිමලේ ආසන්නව සිදුව ඇති මරණ සංඛාව විස්සකට වැඩිය. අපරක්ෂාකාරීබව හෝ නොසැලකිල්ල නිසා හෝ හිතුවක්කාරකම නිසා හෝ සිදුවන්නේ වටිනා තරුණ ජීවිත රැසක් රටට අහිමි වීමය.

කෙසේ වුවත් මේ ඛේදවාචකය පිළිබඳ ඉංගිරිය නාච්චිමලේ සිද්ධිය වූ ප්‍රදේශයේ පදිංචිකරුවකු පැවැසුවේ මෙවැනි කතාවකි.

“නිවාඩු දවස්වලට රටේ විවිධ ප්‍රදේශවලින් මෙතැනට බොහෝ අය එනවා. හුඟක් අය එන්නේ නාන්නටත් වඩා බොන්න. බිව්වට පස්සේ කිසිකෙනෙක් කියන දෙයක් අහන්නෙත් නැහැ. ගමේ මිනිස්සු එන අයට කියනවා මේ තැන්වල බහින්න එපා කියලා. ඒත් ඉතින් ඒ එන අය ඒවා අහන්නෙත් නැහැ. අවුරුද්දකට මේ වගේ මරණ මෙතැන සිද්ධ වෙනවා. මේ වගේ නොදන්නා තැන්වල ජලයේ බැහැලා නාද්දි පරිස්සම් වෙන්න කියලා. පත්තරවලින්වත් ලියන්න” ඒ ප්‍රදේශවාසියා අපෙන් ඉල්ලීමක් කළේය.

මෙවන් ඛේදවාචක හා ඒවායේ ආදීනව පිළිබඳ පුවත් පත් මඟින් කොතෙකුත් හෙළි කළද වැඩි දෙනෙක් ඒ ගැන අවධානය යොමු නොකරති. ඔවුන් සිතනුයේ තාවකාලිකව ලබන විනෝදය ගැන පමණි. මෙවන් ඛේදවාචක එහි අවසන් ප්‍රතිඵලය වේ.

ඡායා- විමල් කරුණාතිලක
 

Comments