
මාස පහකට ඉහතදී නොසිතූ නොපැතූ විලසින් අප අතරින් සදහටම වෙන් නොවූයේ නම් ඊයේ (මාර්තු 11) ආදිල් සීය ජීවිතයේ 27 වැනි උපන් දිනය සමරන්නට නියමිතව තිබිණ. එසේ වූයේ නම් වෙනදා මෙන් ම මා ඔහුට කතාකොට දුක සැප කොහොමද සති අන්තයට තිබෙන සූදානම කෙසේ ද අධ්‍යාපන කටයුතු හා ක්‍රිකට් ඇතුළු බොහෝ දෑ විමසන්නට ඉඩ තිබිණ. එනමුත් අද දින මම අද ඔහු ගැන සිහි කරමින්, ඔහු අප අතර ඉතිරි කර ගිය සොඳුරු මතක ආවර්ජනය කරමින් ඔහුගේ ආත්මය යහපත් වේවා යැයි ප්‍රාර්ථනා කරමින් සිත සනසාගන්නට වෙහෙසෙන්නෙමි.
ආදිල් මල්ලී සම්බන්ධයෙන් ඇති මාගේ පැරණිම හා සොඳුරුතම මතක සටහන 1991 මාර්තු 11 වැනිදා තරම් ඈතට දිවයයි. ඒ වනවිට මාගේ වයස අවුරුදු 6 කට ආසන්න වූ අතර, ඒ ආදිල් ගේ පළමුවැනි ජන්ම දිනයයි. අතේ තිබුණු රුපියල් සියයෙන් ආදිල්ට හොඳ උපන් දින තෑග්ගක් ගෙනැත්දීමේ දැඩි අදිටනක් මා තුළ විය. පාසල නිම වූ පසු මාගේ නැන්දණියන් සමඟ මරදානේ සාප්පුවකට ගිය මම තැඹිලි පැහැති සිලිං බිලිං හඬ නඟන සෙල්ලම් බඩුවක් මිලදී ගතිමි. නිවෙසට ළඟා වූ සැණින් ඔහුට තෑග්ග පිරිනමා ඔහු සමඟ සෙල්ලම් කළ අයුරු තවමත් මගේ මතකයෙහි රැවු දෙයි.
කම්පනය
උපන් බිම හැරදා සැතපුම් දහස් ගණනක් දුර ලන්ඩනයට ගොස් මාසයක් ඇතුළත 2016 ඔක්තෝබර් 11 වැනිදා සවස හෝ 12 වැනිදා අලුයම ආදරණීය ආදිල් සදහටම අප සියල්ල අතහැර යන්නට ගියේ ය. උසස්ම තත්ත්වයේ වෛද්‍ය විද්‍යා තාක්ෂණික පහසුකම් කොතෙක් තිබුණ ද ඒ සියල්ල පරදවා ඔහු මෙලොවින් වෙන් කළ වෛද්‍ය විද්‍යාත්මක හේතුව අදටත් අපැහැදිලිය. “දෙවියන් කෙරෙන් පැමිණෙන අපි නැවතත් දෙවියන් වෙතටම යන්නෙමු.” දෙවියන්ට තමන්ගේ නිර්මාණයක් ආපසු ගැනීමට හේතුවක් අවශ්‍ය නැත. ආදිල් සහ අප අතර මේ දුරස්කම පවතින්නේ කෙටි කලකට පමණක් බව ද අපි දනිමු. නිසැක වශයෙන් ම ඔහු සිටින්නේ හොඳ තැනකය. සර්වබලධාරී අල්ලාහ් ඔහුට කමා කර අනුකම්පා කර ඔහුව ස්වර්ගයට ඇතුළු කරන සේක්වා.
ඒ ශෝකජනක සැන්දෑවේ සිදුවී ඇති අමිහිරිම සිද්ධිය කන වැකීමත් එය මගේ මවුපියන් හා සොහොයුරන්ට දන්වන්නට සිදුවීමත් නිසා ඇතිවූ කම්පනය අප මත මුළු ලෝකයම කඩා වැටුණා මෙන් විය. විනාඩි කිහිපයක් ඇතුළත අපට දැඩි තීරණයක් ගන්නට සිදුවිය. ආදිල්ගේ අවසන් කටයුතු ලන්ඩනයේදී සිදු කිරීමේ තීරණයයි. ඒ ඉන් අදහස් වූයේ අපට ඔහුව තව එක්වතාවක් සියැසින් දැකගන්නට නොලැබෙන බවයි. ඔහුගේ සිරුර සමාදානයේ සැතපෙන්නට හරින්නට පෙර කළ යුතු වු වැඩකටයුතු රාශියක් විය. ඒ සියල්ල පසෙක තිබියදී ඔහුගේ හදිසි මරණයට හේතුව ද අපැහැදිලි තත්ත්වයක විය. මේ තත්ත්වය නිසා ඔහුගේ සිරුර මවුබිමට රැගෙන ඒමට අවස්ථාව සනසන්නට තරම් දෙවියෝ කාරුණික වූහ. අද ඔහුගේ දේහය අපේ නිවෙසට ආසන්න ස්ථානයක සැතපෙයි. විනාඩි කිහිපයක පා ගමනින් එතැනට ළඟා වන්නට හැකි වීම අපට සැනසුමකි. අපේ ආදිල්ට ‘අස්සලාම් අලයික්කුම්’ යයි සුපුරුදු ළෙන්ගතු ආශිංසනය දක්වන්නටත් ඔහු වෙනුවෙන් යාඥා කරන්නටත් ඔහු නැති පාළුව කෙතරම් දැනෙන්නේ දැයි ඔහුට කියන්නටත් දැන් අපට අවස්ථාව ඇත. දැන් ඔහු අපෙන් වියෝ වී මාස 5 ක් ගත වී අවසන් ය. එහෙත් තවමත් සියල්ල අමුතු ය; අස්වාභාවිකය. එය තවදුරටත් නොබලමින් අවදි වන්නට සිතෙන අන්දමේ බියකරු සිහිනයකි. කෙසේ වෙතත් ඒ දෙවියන්ගේ කැමැත්තයි. අපි එය පිළිගත යුතු වෙමු. එහෙත් හැඟුම්බර මනුෂ්‍යයන් වශයෙන් ඊට හැඩගැසීම අසීරු ය.
සමත්කම්
ආදිල් ආදී රාජකීයයෙකි. උසස් අධ්‍යාපනය සඳහා ආසියානු ජාත්‍යන්තර පාසලට ඇතුළු වූ ඔහු නීති උපාධිධාරියෙකි. එමෙන් ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් බිහි වූ නීතිඥයෙකි. ආදිල් තරුණ නියෝජිතයකු වශයෙන් එක්සත් ජාතීන් හමුවේ සිය මවුබිම නියෝජනය කළේය. එසේ ම ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් ද විය. ලන්ඩනයේ දේශපාලන විද්‍යා හා ආර්ථික විද්‍යා විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු වශයෙන් සංසන්දනාත්මක දේශපාලනය හැදෑරූ ඔහු වෙව්නිං ශිෂ්‍යත්ව ලාභියෙකි. ආදිල්ගේ අකල් වියෝවත් සමඟ ඔහුගේ හිතවත්හු රැසක් ඔහු සමරනුවස් විවිධ කටයුතුවල නියැළුණහ. රාජකීය විද්‍යාලයේ 2009 කණ්ඩායමේ හා නීති විද්‍යාලයේ මිතුරන් ආගමික වතාවත් සංවිධානය කළ අතර ආසියානු ජාත්‍යන්තර පාසලේ මිතුරන් විසින් ආදිල් බාකීර් මාකර් අනුස්මරණ ක්‍රිකට් තරගය සංවිධාන කළහ. එය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම හා ආදි සිසුන්ගේ කණ්ඩායම අතර තරගයක් වූ අතර වාර්ෂිකව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට පුදනු පිණිස ආදිල් බාකීර් මාකාර් ශූරතා පළිහයක් ද පාසලට පිරිනමන ලදී. ඔහුගේ නීතිඥ සගයන් විසින් කළුතර පෙදෙසේ අනාථ නිවාසයක දරුවනට ක්‍රියාකාරකම් දිනයක් පවත්වන ලදී. ආදිල් ඉගෙනුම ලැබූ ලන්ඩන් ආර්ථික හා දේශපාලන විද්‍යාලය ආදිල් වෙනුවෙන් අනුස්මරණ වැඩසටහනක් කළ අතර වෙව්නිං විද්‍යාර්ථීන්ගේ දිනයේදී විනාඩියක නිහඬතාවක් පවත්වන ලදී. ලන්ඩන් දේශපාලන හා ආර්ථික විද්‍යාලයේ ඉස්ලාමීය සමාජය ආදීල් නමින් ජල ව්‍යාපෘතියක් සඳහා ආධාර රැස් කරති. මේ අතර ඔහුගේ එක් මිතුරෙක් තමාට මවුබිමට ඒමට යන ගමන් වියදම පරිත්‍යාග කරමින් දුප්පත් නිවෙසක වහලය අලුත්වැඩියා කර දී ඇත. ආදිල් ඉෙගනුම ලැබූ සහ පසුව ගුරුවරයකු වශයෙන් ද සේවය කළ අහාදියා ඉරිදා පාසලේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් එක්ව ආගමික වැඩසටහනක් කළ බව ද සඳහන් කළ යුතුය. බේරුවල ගෝල්ඩන්ගේට් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අධ්‍යයන විශිෂ්ටතාව වෙනුවෙන් දෙන ත්‍යාගය ‘ආදිල් බාකීර් මාකාර්’ ත්‍යාගය වශයෙන් නම් කිරීමට එහි ආචාර්ය මණ්ඩලය තීරණය කර ඇත. ආදීල්ගේ මෙවන් විශිෂ්ට ක්‍රියාවල නිරත වූ දන්නා නොදන්නා සියලු දෙනාට ම ද ඔහු වෙනුවෙන් යාඥා කරන සැමට ද හදපිරි ස්තුතිය පුද කරනු කැමැත්තෙමි.
අනුස්මරණය
ඇත්තවශයෙන් ම මේ සා විශාල පිරිසක් ආදිල් අනුස්මරණය කරමින් මෙතරම් වැඩකටයුතුවල නියැළෙන්නේ මන්දැයි මමත් පුදුම වෙමි. මට වැටහෙන ආකාරයට ආදිල්ගේ අකල්මරණයත් සමඟ මේ සියලු දෙනාට තමන් හා බැඳුණු අනගි මතකයන් සහිත සහෘදයකු හිතවතකු ඥාතියකු මිත්‍රයකු අහිමි වුණාය යන හැඟීම දැනෙන්නට ඇත.
ලෝකයේ සෑම දෙසකම මිනිසුන්ට මෙවන් බලපෑමක් ඇති කරන්නට කෙනකුට හැකි වන්නේ කෙසේද කියා ප්‍රශ්නයක් මතු වනු නිසැකය. උත්තරය ඒ ආදිල් වීම ය. ආදිල් යනු ආදිල් ය. ඔහු එතරම්ම සරල නිහතමානී මිත්‍රශීලී තැනැත්තෙකි; නිතරම මුහුණේ සෙනෙහෙබර සිනහවක් රැඳුණු මිනිසෙකි.
ජීවිතයේදීත් මරණයේදීත් ආදිල් අපට ජීවිතය ගැන බොහෝ දෑ කියා දුන්නේ ය. සරල වීම අනුන්ට සැලකීම ගරු කිරීම ආදී මානව ගුණාංගයන්ගෙන් පිරි ඒ පාඩම අප ද මතු පරපුර වෙනුවෙන් ඉතිරි කර යා යුත්තකි.
ආදිල් දෙවියන් කෙරෙහි බෙහෙවින් විශ්වාසවන්ත වූ බැතිමතෙකි. ඔහු දෙවියන් ගැන සවිඥානකව සිටියේ ය.
පෞද්ගලිකව මගේ පැත්තෙන් බලන විට ඔහු කියා දුන් වැදගත්ම පාඩම ජීවිතය හා මරණය පිළිබඳ පාඩමයි. එක් දවසක් ජීවිතයක් බාරගන්නත් ඊට පසු දින එය අතහැර පිටත්ව යන්නත් සූදානමින් සිටීමයි. ඒ මරණයේ නියත ස්වභාවය මා සුබවාදීව තේරුම් ගන්නා ආකාරය එයයි. තමා වටා සිටින පිරිස අගය කරමින් ඔවුනට උදවු උපකාර කරමින් හරි දේ කරමින් මාගේ වාරය පැමිණෙන තෙක් සූදානමින් සිටීමයි මගේ සොයුරා නැවත හමුවන තෙක් වූ මාගේ ජීවිතය සම්බන්ධයෙන් මා උගත් පාඩම වන්නේ.
සමස්තයක් වශයෙන් ගත් කල ආදිල් ඔහුගේ ජීවිතයෙන් හා මරණයෙන් අපට කියාදුන් වැදගත් පාඩම් කිහිපයකි. මේ ඔහු අප සමඟ සිටියේ කෙටි කාලයක් වුවත් ඔහු වැන්නකු ඇසුරු කරන්නට ලැබීම සැබැවින් ම භාග්‍යයකි. ආශිර්වාදයකි. අපට ඔහු සිහි කරන්නට අවශ්‍ය වන්නේ මේ ආකාරයට බව මට සහතිකය.
නැවත හමුවන තෙක් පරිස්සමින් ඉන්න මල්ලී.
ෆාදීල් බාකීර් මාකාර්