
පසුගිය සතිවල දී ඇන්තූරියම් පැළයක් වගා කිරීම පාත්ති සැකසීම පිළිබඳව ඔබ දැනුම්වත් කළෙමු. එහෙත් මේ සියල්ල මෙන්ම පාත්ති රැක බලා ගැනීම ද වැදගත්ය. රැක බලාගැනීමේදී අත්‍යවශ්‍ය දෙයකි සෙවන සහ ජලය. නිසි ප්‍රමිතියකට අනුව ජලය සහ සෙවණ සැපයීමෙන් ලබාගත හැකි මල් ප්‍රමාණය වැඩි කරගත හැකිය. මේ නිසා ඇන්තූරියම් වගාව සඳහා සෙවණ ඉතාමත් වැදගත්ය. සීයයට හැත්තෑවත් අසූවත් අතර ප්‍රමාණයක් සෙවණ සඳහා නිර්දේශිත වේ. පහළ උසක දී වැඩි සෙවණ ප්‍රමාණයක් අවශ්‍ය අතර ඉහළ උසක දී අඩු සෙවණ ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඇන්තූරියම් වගාව සඳහා ස්වාභාවිකව සෙවණ ලබාගැනීම වඩාත් ලාභදායී වන අතර මේ සඳහා කෘතීමව ද සෙවණ ලබාගැනීමට හැකියාව ඇත. නිසි සෙවනක් නොලැබීම ඉතාමත් අවාසි සහගත වන අතර මල්වල පිරිපුන් බව ද අඩුවේ.
බොහෝදෙනා ස්වාභාවිකව සෙවණ ලබාදීම සඳහා ජෑම් ගස්වල සෙවණ යොදාගන්නා අතර කෘතීමව සෙවණ සැපයීමට සෙවන දැල් යොදාගනියි. ලණු පැඳුරු හෝ උණ බම්බු රීප්ප යොදාගෙන ද සෙවණ සැපයීමට හැකිය. අන් වගාවක් මෙන් නොව මල් වැඩිම සඳහාත් එහි වටිනාකම වැඩිවීම සඳහා ද සෙවණ අත්‍යවශ්‍ය වේ.
ඇන්තූරියම් වගාව සඳහා අවශ්‍ය අනිත් අත්‍යවශ්‍ය සාධකය වනුයේ ජලයයි. ඇන්තූරියම් ජලය ප්‍රිය කරන ශාකයක් වුවත් වැඩි පුර ජලය යෙදීම එතරම් සුදුසු නැත. මුල් පද්ධතිය මතට ජලය යෙදීම ඉතා පරිස්සමෙන් කළ යුතු අතර ජලය යෙදීමට අමතර ඒවාට ඉහළින් ජලය වෑස්සීමට සැලැස්විය යුතුය. අංගමාරය සෑදී ඇති පැළවලට නම් ජලය යෙදීය යුත්තේ මූල මණ්ඩලය පමණක් තෙත් වන පරිදිය.