
අද අංක 01
රොබෝ කිව්වම අද ඕනෑ තරම්. හැමතැනම රොබෝ. අරකටත් රොබෝ, මේකටත් රොබෝ. කොච්චර රොබෝල හිටියත් මිනිස්සු රොබෝ හදන එක නවත්තන්නෙත් නෑ. ඒ නිසාම පසුගිය වසරේ හොඳම නව නිපැයුම් දහය අතරින් පළමුවැනි තැන දිනා ගත්තේත් රොබෝවක්.
මේ රොබෝ තරමක් වෙනස්. මොකද මෙයාට බලය ලබාදෙන්නේ විදුලියෙන් හෝ බැටරියකින් නොවන නිසා. මේ රොබෝ බලය ලබා ගන්නේ තමන් විසින්මයි. ඒ සඳහා ඔහු භාවිත කරන්නේ ආහාර. මොනවද මේ රොබෝ ආහාර. බැටරි, චුවින්ගම්, එහෙමත් නැත්නම් ඛනිජ තෙල්? නෑ. මේ එකක්වත් නෙමෙයි. මේ රොබෝ ආහාරයට ගන්නේ මීයන්ව. ඔව්. මේ රොබෝ හදලා තියෙන්නේ මීයන් අල්ලන්න.
බ්‍රිතාන්‍ය ජාතික නව නිපැයුම්කරුවන් දෙදෙනකු වන ජිමී ලොයිසියාවූ සහ ජේම්ස් ආගර් යන දෙදෙනා තමයි මේ මීයන් අල්ලන රොබෝ හෙවත් පූස් රොබෝව හදලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පූස් රොබෝ අශ්‍රිතව තවත් රොබෝවරුන් කිහිප දෙනෙක්ම නිපදවන්නත් මේ දෙදෙනා කටයුතු කර තියෙනවා.
මේ දෙදෙනාගේ සම්මුඛ සාකච්ඡාවක් කොහේවත් සඳහන් වෙලා තිබුණේ නැති නිසා මෙවැනි රෙබෝවක් නිපදවන්න හිතුණේ ඇයි කියලා දැනගන්න විදිහක් ලැබුණේ නැහැ. මොකද මේ වගේ රොබෝ කෙනෙක්ගේ අවශ්‍යතාව මොකක්ද කියලා හිතෙන නිසා. කොහොම වුණත් නූතන යැයි කියන බොහෝ දේ ආදරෙන් වැලඳ ගන්න බොහෝ දෙනා මේ පූස් රොබෝ ගැනත් විශේෂ අවධානයක් ලබා දී තිබෙන බවට තොරතුරු තිබෙනවා.
මේ රොබෝගේ කාර්යභාරය වෙන්නේ ගෘහාශ්‍රිතව වෙසෙන මීයන් සහ කුඩා කෘමීන් ඉවත් කිරීම. ඉතින් නිවෙස පුරා නිදැල්ලේ හැසිරෙන මේ රොබෝ මීයන් සහ නොයෙක් කෘමීන්ට බේරී යන්නට ඉඩ දෙන්නේ නැහැ. විශේෂතම කාරණය වෙන්නේ මෙවැනි කෘමීන් අල්ලාගන්නා රොබෝ උන්ව ආහාරයට ගැනීමයි. මේ නිසා වාසි දෙකක් සැලසෙනවා. එකක් තමයි රොබෝ විසින් මරා දමන එවැනි සතුන් ඉවත් කිරීමට කටයුතු කිරීමට සිදු නොවීම. දෙවැන්න මෙලෙස ආහාරයට ගන්නා සතුන් මගින් රොබෝ තමන්ට අවශ්‍ය ශක්තිය ලබාගන්නා නිසා රොබෝට
අමතරව බලය ලබා දීමට අවශ්‍ය නොවීම.
මේ රොබෝ නිපදවූ නිර්මාණකරුවන් දෙදෙනා එකම ක්‍රමවේදයට අනුව එකිනෙක වෙනස් රොබෝවරුන් වර්ග පහක් පමණ නිපදවන්න කටයුතු කර තියෙනවා.
ඉන් එක් වර්ගයක් ඔබේ කෝපි මේසය මත තබා කෘමි සතුන් එළවීමට හෝ අල්ලාගැනීමට යෙදවිය හැකියි. තවත් වර්ගයක් ඔබේ නිවෙසේ දොර අසල තබා චලනයන්ට ප්‍රතිචාර දක්වන සේ ක්‍රියාත්මක කරවිය හැකියි. තවත් රොබෝ වර්ගයක් ලාම්පු ආවරණයක් සේ කටයුතු කරන අතර කෘමි සත්තු ආලෝකයට ඇදී ඒමත් වළක්වාලීමට කටයුතු කරයි.
අනෙක් සුවිශේෂම රොබෝ වර්ගය වන්නේ මකුළු රොබෝ විශේෂයයි. මේ රොබෝ විශේෂය මකුළු දැලක් සේ ක්‍රියා කරන අතරම සෙසු මකුළුවන් බිත්ති අතර දැල් බැඳීම වළක්වා ලන්නේ ඔවුන් ආහාරයට ගැනීම මගින්.
මෙවැනි රොබෝවන්ගේ සිරුරේ එක් පැත්තක ඇති විදුලි බල්බයකින් තමන් ලබාගත් ආහාර අනුව තමා සතුව ආරෝපණය වී ඇති ශක්ති ප්‍රමාණය කොතෙක්දැයි පෙන්වනු ලබනවා. රොබෝ ක්‍රියාත්මක කරවන්නාට ඒ මගින් ඔහුගේ ආයුකාලය සම්බන්ධව අදසක් ලබාගත හැකියි.
මේ සියල්ල දිහා බැලුවාම හිතෙන්නේ සොබාදහමේ සුන්දර නිර්මාණයක් වන ආහාර දාමයටත් මිනිසා ස්වකීය තාක්ෂණ හස්තය යොදවා ඇති බවයි.