තෙත් බිම් සුරැකීම සහ කුඩා ජල විදුලි බලාගාර ගැටලුව | සිළුමිණ

තෙත් බිම් සුරැකීම සහ කුඩා ජල විදුලි බලාගාර ගැටලුව

 අපේ රටේ තෙත් බිම් හෙක්ටයාර 175000ක් පමණ ඇත. ඒ තෙත් බිම් සියල්ල සුරැකීම අපේ ර‍ෙට් ජෛව විවිධත්ව සංරක්ෂණයට අත්‍යවශ්‍ය කටයුත්තකි. එතෙර මෙතෙර තෙත් බිම් සුරකින ලෝක තෙත් බිම් සුරැකීමේ දිනය පෙබරවාරි දෙවැනිදාට යෙදී තිබිණි.

ස්වාභාවික විපත් පාලනය කරන ජෛව විවිධත්වයෙන් සපිරි සුවිශේෂ පරිසර පද්ධතියක් වන තෙත් බිම් සුරැකීම යනු මෙරට ජෛව විවිධත්වය පරිසර පද්ධතිය සුරකින පරිසර සමතුලිතතාව ඇති කරන මහඟු ක්‍රියාදාමයකි.

මෙරට තෙත් බිම් දිනය පිළිබඳ ප්‍රධාන ‍උත්සවය 2 වැනිදා කොළඹදී පැවැත්විණි. මෙවර තේමාව වූයේ ‘ආපදා පිරිස අවම කිරීම සඳහා තෙත් බිම්’ යන්නයි.

ජගත් පරිසර සම්මුතියක් වූ රම්සා සම්මුතියට අනුව තෙත් බිමකට සුවිශේෂ වර්ග කිරීමක් සිදු කර ඇත. ඒ අනුව බාදිය මට්ටමේ සිට මීටර් 6ට අඩු මුහුදු පෙදෙස් ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවතින්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති කෘත්‍රිම හෝ ස්වාභාවික වගුරුබිම්, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, හැල ඉඩම් තෙත් බිම් ගණයට අයත් වේ.

අපේ රට මේ තෙත් බිම්වලින් ඉතා පොහොසත් ඒ අනුව වර්ග කිලෝමීටරයට හෙක්ටයාර 2.7ක් තරම් වූ ජලාශ්‍රිත තෙත් බිම් ප්‍රදේශයක් අපට අයිතිව පවතී. ශ්‍රී ලංකාව තෙත් බිම් හෙක්ටයාර 175000ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය වෙයි‍. ශ්‍රී ලංකාවේ තෙත් බිම් භූමි ලක්ෂණ අනුව වර්ග කළ හැකි ය. ඒ අනුව මිරිදිය තෙත් බිම් ප්‍රධාන වේ. කරදිය තෙත් බිම් හා කිවුල්දිය තෙත්බිම් ද ඒ අතර වේ.

අන්තර්ජාතික ලෙස වැදගත්කමකින් යුත් තෙත් බිම් 41ක් සිරිලක භූමිය ඇතුළත ව්‍යාප්ත වෙමින් තිබේ. මුතුරාජවෙල, බූන්දල, බෙල්ලන්විල, අත්තිඩිය ඒ අතර ප්‍රමුඛත්වයක් ගනී.

තෙත් බිම්වල පාරිසරික අගය ඉතා ඉහළින් එය ගංවතුර පාලනය කරයි. වැස්ස වැඩි වූ විට ඒ වැස්ස මේ තෙත් බිම්වලින් ස්පොන්ජියක් ලෙස ය. පසුව නියඟ කාලවලදී ඒ ජලය භූගත ජලය ලෙස උල්පත් පෝෂණය කරයි.

තෙත් බිම්වල ඉහළ ම ජෛව විවිධත්වයක් තිබේ. ශ්‍රී ලංකාවේ ගොඩබිම ජීවත් වන පෘෂ්ඨවංශිකයන්ගෙන් සියයට 30ක් ම වාසය කරන්නේ මේ තෙත් බිම්වල ය.

එමෙන් ම අලුත් ම සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මසුන්, උරගයන්, උභය ජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායින්ගෙන් සියයට 32ක් ජීවත් වන්නේ තෙත් බිම්වල ය. එපමණක් නොව සංචාරක පක්ෂීන්ගෙන් සියයට 50ක් ම තෙත් බිම් පරිසරය ඇතුළත දැකීම පුළුවන් බව පරිසරවේදීහු පෙන්වා දෙති.‍‍

මේ අතර පසුගිය සතිවල දැඩි ආන්දෝලනයට ලක් වූ කරුණක් වූයේ කුඩා ජල විදුලි බලාගාර නිසා මෙරට දිය ඇලිවලට මහත් විනාශයක් සිදුව ඇති බවයි. මෙරට දිය ඇලි වනාහි සුවිශේෂි තෙත් බිමකි. එය තෙත් බිමක් පමණක් නොවේ. අවට සුන්දරත්වය ද ජෛව විවිධත්වය ද සුරකින සුවිශේෂ පරිසර කලාපයකි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පෙන්වා දෙන පරිදි මෙරට දැනට කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ දිය ඇලි 183කින් මෙගා වොට් 210ක් පමණ විදුලි බලයක් නිපදවනු ලැබේ. ඊට අමතරව මෙරට දිය ඇලි 650ක් ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට පිඹුරුපත් සකසා තිබේ.

ඉන් දැනටමත් විදුලි බලාගාර 400ක් ඉදිකිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියට ඉල්ලුම් කර තිබෙන අතර, මේ සියලු බලාගාර ඉදි වුව හොත් ඒ ආසන්න ප්‍රදේශවල ජෛව විවිධත්වයට හා ජල පද්ධතියට විශාල හානියක් සිදු‍ වන බව හේමන්ත විතානගේ මහතා පවසයි.

මේ අතර දැනට මෙරට දිය ඇලිවලින් ජලය ගෙන ක්‍රියාත්මක කරන කුඩා ජල විදුලි බලාගාර නිසා ඒ සියලු දිය ඇලිවලින් පහළට ගලා ගිය ජලය කිලෝමීටර් කිහිපයක් සිඳී ගොස් තිබේ. මේ අනුව කු‍ඩා ජල විදුලි බලාගාර නිසා ඒ දිය ඇලිවල සිඳී ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 210කි.

ඒ අනුව ඒ ප්‍රදේශවල ජනතාවට සත්ත්ව ශාක පද්ධතිවලට සිදු වූ ජෛව විවිධත්ව විනාශය අතිවිශාල බව ද හේමන්ත විතානගේ මහතා පවසයි.

මධ්‍යම කඳුකරය ආශ්‍රිතව පිහිටා ඇති ජල මාර්ගයන් භාවිත කරමින් ක්‍රියාත්මක කරන කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර හේතු කරගෙන සිදු වන හානිදායක පරිසර තත්ත්වයන්ට එරෙහිව උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට දී පවත්වන ලදී.

පරිසර ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් විසින් සංවිධානය කරන ලද මේ වි‍රෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසුවේ, මේ වන විට පුනර්ජනනීය බලශක්ති අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති සහ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියට යොමු කොට ඇති ව්‍යාපෘති පිළිබඳව, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ඉහළ පෙළේ කමිටුවක් මඟින් විමර්ශනය කර, ඉන් පසුව අනුමැතිය සඳහා සලකා බැලීමට තීරණය කර ඇති බවයි. එසේ ම මේ වනවිටත් ගැටලු සහගත සියලු ව්‍යාපෘති පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සහ පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් විමර්ශනයන් කර එම ව්‍යාපෘති ක්‍රියාකාරිත්වය පිළිබඳව තීරණයක් ගැනීමට ද අපේක්ෂා කෙරේ. මින් ඉදිරියට කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා වන ඉල්ලීම් සලකා බැලීමට ප්‍රථම අදාළ ජල පෝෂක ප්‍රදේශ පිළිබඳ උපාය මාර්ගික පාරිසරික ඇගයීමක් (Strategic Environment Assessment - SEA) මඟින් සියලු පාරිසරික තත්ත්වයන් විමර්ශනය කිරීමෙන් පසු අවසර ලබාදීමේ හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව තීරණය කරන බව ද සභාපතිවරයා පවසයි.

එහෙත් මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ දැනට ඉදි කිරීමට ඉල්ලුම් කර ඇති සියලු ජල විදුලි බලාගාරවලට අවසර ලබා දීම නවත්වා දමන ලෙසත් ඊට අමතරව දැනට සියයට 50 ක් පමණක් ඉදිකෙරෙමින් පවතින බලාගාරවල ඉදිකිරීම් නවතා පූර්ණ පාරිසරික පරීක්ෂණයක් කරන ලෙස ද එම සංවිධාන ඉල්ලා සිටී.

මේ අනුව බලන විට අපේ රටේ තෙත් බිම් මෙන් ම කුඩා දිය ඇලි ද සුරැකීම මෙරට ජෛව විවිධත්වයට පරිසර සුන්දරත්වයට අත්‍යවශ්‍ය ක්‍රියාදාමයකි‍.

1990 අංක 01 දරන පනතින් සංශෝධිත 1964 අංක 44 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත, 1987 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත, 1988 අභ්‍යන්තර ජල පාලනය පිළිබඳ රෙගුලාසි මාලාව හා ඉඩම් සංවර්ධනය කිරීමේ ආඥා පනත යන පනත් අනුව ස්වාභාවික විපත් පාලනය කරන තෙත් බිම් සුරැකීමට නෛතික බලය ඇත. ඒ අනුව පාරිසරික රාජ්‍ය ආයතන අවශ්‍ය කටයුතු කරනු ඇතැයි පරිසරවේදීන්ගේ හා පරිසරයට ආදරය කරන පොදු මහජනතාවගේ ද පැතුමයි.

 

 

Comments