![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/01/27/tl-6.jpg?itok=eRVVw2sC)
මේ ලෝකයේ 'බිස්නස්' ක්‍රියාත්මක වීම ඇරඹුණේ මිනිසා මොලොව පහළ වීමට සමකාලීන අවස්ථාවක දී යැයි කියන්නට බැරි කමක් නැත්තේය. ඒ මොකද කියන්නේ නම් ආදම් ට ඒවා තහනම් ගහේ ගෙඩි කන්නට දෙන්නේ සර්පයා විසින් කරනු ලැබූ පෙළඹවීමට අනුවය. මේ කියන දේ ඇත්ත නම් සර්පයාට ආදම් සමග බේරා ගන්නට ගනුදෙනුවක් තිබී ඇත්තේ ය. ඒවා පාර්ශ්වකරුවකු වන්නේ එකී ගනුදෙනුව සම්පූර්ණ කර දෙන්නටය. සිදුවීම සිදු වී ඇති අන්දමට නම් මැදිහත් විය යුතු පැත්ත ගැන තෝරා ගැනීමක් ඒවාට තිබී නැත. හරියට අද කාලයේ වගේමය. ඉස්සර වෙන්නාට නැත්නම් වැඩිම ඔෆර් එක දෙන්නාට සපෝට්එක වැඩිය. ඒ බිස්නස්වල හැටිය.
මේ බිස්නස්වල වැඩ වචනයේ තරමට නොවේය. මහා බලවත්ය. කොටින්ම කියන්නේ නම් එදා මෙන්ම අදද ලෝකය පාලනය කරන්නේ බිස්නස් ය. හැබැයි පොඩි වෙනසක් තියෙන්නේ ය. එදා බිස්නස් ලෝකය පාලනය කළේ දේශපාලනය යන වචනය පිටිපස්සේ හැංගිලාය. තමන් කැමති දේශපාලනඥයාට නැතිනම් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයාට ඡන්දය දෙන්නට මිනිසුන් පෙළඹවූයේ බිස්නස්කාරයාය. ඒ වෙනුවෙන් වියදම් කළේ බිස්නස්කාරයාය. පසුව රෑකඩ දේශපාලනඥයා පසුපසු සිටිමින් ලාභ ලැබුවේ ද බිස්නස්කාරයාය.
අද එසේ නැත. අද බිස්නස් ඉදිරියටම ඇවිල්ලාය. දේශපාලනඥයා ද දැන් ඉන්නනේ බිස්නස්වලටත් පස්සෙන්ය. දේශපාලනඥයෝ බිස්නස්කාරයෝ වුණේ අද ඊයෙක නොවේය. බිස්නස්කාරයෝ දේශපාලනඥයෝ වුණේද අද ඊයෙක නොවේය. එහෙත් දැන් බිස්නස්කාරයෝ ඉතා සියුම් ලෙස 'දේශපාලනය විතරක් කරන' දේශපාලනඥයෝ බෝඩ් එකෙන් කපා දමමින් සිටින්නෝය. පිටියම තනි අයිතියට ගනිමින් සිටින්නෝය.
ඒ ගැන කියන්නට ලංකාව උදාහරණයට ගත යුතු නැත. අමෙරිකාව වැනි කුඩා රටක් ගැන කතා කිරීම හොඳටෝම ඇතිය. අමෙරිකාවේ බිස්නස්කාරයෝ දේශපාලනය කළේ අද ඊයෙක නොවේය. වොෂිංටන්ලා නොව ඔවුන්ට පසුව පැමිණි බොහෝ ජනාධිපතිවරු බිස්නස්කාරයන්ට ඕනෑ විදිහට රට පාලනය කළෝය. ඉඳලා හිටලා බිස්නස්කාරයෝ ජනාධිපතිකමටද තරග කළහ. හරියට ලංකාවේ ද උදාහරණ ඇත්තේය. පැරදී ගියත් බිස්නස් එකේ බදු නිදහස් කර ගත්තෝය. ඒ එදාය.
ඇමරිකාවේ නම් දැන් බිස්නස්කාරයා කෙලින්ම ජනාධිපතිය. ඊටත් වඩා බිස්නස්කාරයෙක් රාජ්‍ය ලේකම්ය. රටක් පාලනය කරන්නට දේශපාලනය ගැන මැකියාවෙල්ලිගේ දැනුම හෝ මාක්ස් ලෙනින්ලාගේ ඇරිස්ටෝටල්ලාගේ තියරිවලින් වැඩක් නැති බව අමෙරිකාව ප්‍රැක්ටිකල්ම පෙන්වා දුන්නේය.
ඇෙමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියා කියන්නට බැරිය. ලංකාවේ දේශපාලනයේ මුල් පුටු තවමත් බිස්නස්කාරයාට නොගියත් යටි පෙළ එසේ යයි කියන්නට බැරි කමක් නැත්තේය. ඇත්තේ මේ බිස්නස්කාරයෝ අහවල් බිස්නස් එක කරනවා යැයි පැහැදිලිව කියන්නට බැරි කමකි. ඒ මොකද යත් මේ අයගේ බිස්නස් මල්ටි බිස්නස්ය. පොල් ඉඩම් තියෙනවාය, නැව් තියෙනවාය. නැත්නම් බස් තියෙනවාය. බස් සංගම්ද තියෙනවාය. ඉස්කෝල තියෙනවාය. ඩ්‍රග් ඩීලිංය. රේස් බුකිද ඇත්තේය. මේ මොනවාවත් නැත්නම් අඩුම තරමේ මාධ්‍ය ආයතනයක් හෝ ඇත්තේය. මේ සියල්ල කරන්නට දේශපාලනය ආභරණයක් වෙන්නේය. බිස්නස් ලෝකයේ එස්ටැබ්ලිෂ් වීම යනු දේශපාලන ලෝකයේ එස්ටැබ්ලිෂ් වීම හා සමාන; එහෙමත් නැතිනම් ඊටත් වඩා අමාරු කාර්යයක් බව දන්නෝ දන්නේය. ඉතින් එච්චර අමාරු හරියක් කරගන්නා එකා මෙලෝ සුදුසුකමක්, අඩුගණනේ හරියට වචන දෙකක් ගැට ගහගැනීමට හෝ බැරි අයව පාර්ලිමේන්තු යවන්නට වියදම් කරන්නේ අපරාදේ ය. ඒ වෙනුවට තමන්ම ව්‍යවස්ථාදායකය හෝ ඇමෙරිකාවේ මෙන් විධායකයද වී තමන්ටම බෙදා ගන්නා එක හොඳය. එසේ කිරීමෙන් අඩුම තරමේ කාටහෝ දෙන්නට වන ලොකුම ලොකු කුට්ටියක් බිස්නස්කාරයාට ඉතුරු වෙන්නේය. ඒ තමාම බිස්නස් කර තමාම දේශපාලනයත් කිරීමේ අතුරු ප්‍රතිපලයක් විදිහටය.
ලෝකෙම එහෙම නම් අපි විතරක් කෙළින් යන්නේ මොටදැයි විමසිය හැකිය. ඒකත් ඇත්තය. මේවාද ගෝලීයකරණයේ අතුරුඵලය. සියල්ල බිස්නස් ය. හැබැයි මෙතනදී බිස්නස් නිසාම බිහිවූ දේශපාලනඥයා බිස්නස් නිසාම අහෝසි වී යන බවක් පෙනෙන්නේය. පැවැත්ම බේරා ගැනීම දේශපාලනඥයාගේ වැඩක්ය. ඒ ගැන අපට කිසිම කැක්කුමක් නැත. ඒ මන්ද යත් බිස්නස්කාරයාගෙන් මෙන්ම දේශපාලනඥයාගෙන්ද අපට කිසිම ඵලප්‍රයෝජනයක් නැති නිසාය.