
“අනේ ලොකු අම්මේ. ඉක්මනට ඇවිත් මාව බේර ගන්න. අනුරාධ මාව මරන්නයි හදන්නෙ. එයා මාව මරනවා. අනේ බේරගන්න...“ අයේෂා දියණියගෙන් ලැබුණ එම ඇමතුමෙන් ඇගේ ලොකු අම්මාගේ ඇඟ සීතල වී ගියේ ඇය මෙවැන්නක් කිසිදිනක බලාපොරොත්තු නොවූ නිසාය. එම ඇමතුමත් සමඟ දුරකතනය විසන්ධි වී ගිය බැවින් ලොකු අම්මා තව තවත් කලබලයට පත් වූවාය. ඇගේ 'ඇස' නතර වුවෙ ඔරලෝසුව වෙතය. එවිට වේලාව රාත්‍රි 12.45 ට පමණ විය. අයේෂා අට හැවිරිදි පුතු සමඟ ලොකු අම්මාගේ නිවෙසට ආවේ රාත්‍රී නවයහමාරට පමණය. ඒ පැමිණ මොහොතක් කතා කරමින් සිට ඇය පිටව ගියේ නැවත මෙවන් වදනක් තමාට පැවසීමට යැයි නිකමටවත් සිතුනානම් ඇය සමඟ තමන්ද එම නිවෙසට යනවා නොවේදැයි සිතූ ලොකු අම්මා පුතා සහ ලේළිය සමඟ අයේෂාගේ නිවෙස බලා පිටත් වීමට පය ඉක්මන් කළාය.
අයේෂා පදිංචිව සිටියේ බොරැල්ල, සර්පන්ටයින් පාරේ ජාතික මහල් නිවාස සංකීර්ණයේ 'ඒ' කොටසේය. ලොකු අම්මා පදිංචිව සිටියේ ද ‘එම්‘ කොටසේ බැවින් නිවෙස් දෙක අතර දුර මීටර් 50 ක් පමණ වී තිබිණ. ඔවුන් එහි යන විට නිවාස සංකීර්ණය පාමුල වැටී සිටියේ 'අනුරාධය'. මේ පිරිස දුටු විට ඔහු නැගිටීමට උත්සාහ කර නැවත වැටුණේ සවිබල සිඳී ගිය නිසා විය යුතුය. මෙයින් තවත් තැති ගත් ලොකු අම්මලා සිවුවන මහලේ තුන්වන නිවෙස වෙත දිව ගියේ තත්ත්වය බරපතළ බව වටහා ගෙනය. එහෙත් දොර අගුළු දමා තිබු නිසා ඔවුන්ට සිදු වූයේ දොර කැඩීමටය. අයේෂා සිටියේ සාලයේ ලේ විලක් මැද වැටීය. 1990 සුව සැරිය ගිලන් රථය ආවේ ලොකු අම්මලාගේ දැනුම් දීමටය. අයේෂා මිය ගොස් සිටි බැවින් ඔවුන් කටයුතු කළේ ගෙල සහ අත්වල තුවාල සහිතව මිදුලේ වැටී සිටි අනුරාධව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටය.
බොරැල්ල පොලිසියේ ජංගම මුර සංචාරක රථය ගමන් කළේ එම අවස්ථාවේ සර්පන්ටයින් පාර ආසන්නයේය. මෙම නිවාස සංකීර්ණය දෙසින් ඇසුණු කෑගැසීම පිළිබඳ සොයා බැලූ නිලධාරීන් මෙම ඝාතනය පිළිබඳ පොලිසියට දැනුම් දෙන අතර, පොලිස් හදිසි දුරකතන අංකයට ද ඇමතුම් ලැබී තිබිණ.
බොරැල්ල පොලිස් ස්ථානාධිපති ජනක විතානගේ මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළේ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි චානක අබේසිරිගුණවර්ධනගේ අධීක්ෂණයෙනි.
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිරෝෂ් වික්‍රමරත්න, සැරයන් (72025) කුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන (49091) නිරෝෂන්, (70648) බුලත්සිංහල, (76770) බුද්ධික යන නිලධාරින් සිද්ධිය වූ නිවෙස වෙත යන්නේ ඉන් පසුවය.
මෙසේ ඝාතනය වී ඇත්තේ ඉඳිකැටිය හේවගේ අයේෂා කුමාරි නැමැති 32 හැවිරිදි තිදරු මවක බව අනාවරණය වන්නේ ඒ අනුවය. මේ කතාව සුලමුල හෙළි වන්නේ පොලිසිය ඒ ගැන සිදු කරන ලද විමර්ශනයේදීය.
පවුලේ වැඩිමලා වූ 'අයේෂා' හැදි වැඩුණේ ලොකු අම්මාගේ සෙවණේය. ඒ ඇගේ මව පියා මෙන්ම බාල සහෝදරයින් දෙදෙනාද පදිංචිව සිටින්නේ ඉතාලියේ වන බැවිනි. ඇය අනුරාධ සමඟ විවාහ වන්නේ මේ අතරය. ඔවුන් අවුරුදු 10 දියණියක් අවුරුදු 08 ක පුතෙක් හා අවුරුදු 04 ක දියණියකගේ මව්පියන් වූ අතර ත්‍රිරෝද රථ රියදුරෙකු වන අනුරාධ ඔවුන්ට හොඳින් සැලකීමට කටයුතු කළේය. එහෙත් මේ කැදැල්ලට කණකොකා හඬන්නට වැඩි කාලයක් ගත නොවීය. ඒ අනුරාධ හෙරොයින් මත්කුඩුවලට යොමු වීමත් සමඟිනි. ඔහු බන්ධනාගාරගත වෙන්නේ ඒ අනුවය. අයේෂා වෙනත් පිරිමියෙකු සමඟ ඇසුරක් ඇති බවට මිතුරෙකු විසින් ඔහුට 'කේලමක්' කියන්නේ ඔය අතරය. ඔහු නිදහස්ව පැමිණ වසරක් පමණ ගත වී ඇති අතර, එදා සිට අයේෂාව සැක කිරීම ඔහුගේ පුරුද්දක්ව තිබිණි. ඇහැට කනට පෙනෙන හැඩකාරියක් වන අයේෂා යන එන ගමන් බිමන් මෙන්ම කරන කියන දේ පිළිබඳ නුහුරට සිතන අනුරාධ සුළු දේටත් ඇය සමඟ රණ්ඩු සරුවල් ඇති කර ගැනීමට කටයුතු කළේ සැකය මුල් කරගෙනය. මේ නිසා ලොකු අම්මා නිතරම කටයුතු කළේ මෙම පවුල සමගි කිරීමටය. දරුවන්ගේ අනාගතය ගැන සිතා කටයුතු කරන ලෙස ඇය අයේෂාටත් අනුරාධටත් නිතරම අවවාද කළාය. පසුගිය නත්තල් දිනයේද ලොකු අම්මා මෙම දරු පවුලට දිවා ආහාරයට ආරාධනා කොට ගුරුහරුකම් ලබා දීමට කටයුතු කළේ ඔවුන් හොඳින් සිටිනු දැකීමට ඇති උවමනාව නිසාය.
මේ සිද්ධිය වූ දින ද දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීම ඝාතනයක් දක්වා දුරදිග යාමට වැඩි වෙලාවක් ගත නොවුණේ ඔහුගේ සිතේ මුල් බැසගෙන තිබු සැකය ඔඩුදුවා ඇති නිසා විය යුතුය. බිරිය ඝාතනය කළ අනුරාධ එම මහල් නිවාසයේ තෙවැනි මහලෙන් බිමට පැන්නේ ජීවිතය නැති කර ගැනීමට වුවත් තවමත් ඔහු ජීවතුන් අතරය. ඒ පොලිස් අත්අඩංගුවේ ආරක්ෂාව මැදය. මේ ඝාතනයට යොදා ගත් පිහිය පොලිසිය විසින් සොයා ගත්තේ ඔහු වැටි සිටිය ස්ථානයේ තිබියදීය.
කොළඹ අලුත්කඩේ, අංක 03 මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී පැවැත්වීමට කටයුතු කළේ බොරැල්ල පොලිසියේ සැරයන් (14704) හේරත් සහ පොලිස් කොස්තාපල් (15449) ධර්මරත්න විසිනි. අයේෂාගේ ශරීරයේ පිට පැත්තේ මරණාසන්න තුවාල පහක්ද ඉදිරිපස පැත්තේ හතක් ද ඇති අතර, ශරීරයේ විවිධ ස්ථානවල තුවාල පහක්ද තිබෙන බව මෙහිදී අනාවරණය වී තිබේ. මෙයින් පෙනෙන්නේ ඔහු ඉවක් බවක් නොමැතිව ඇයට පිහියෙන් ඇන ඇති බවකි.
කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රාහුල් හක් විසින් ලබා දුන් අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙම මරණය සිදු වී ඇත්තේ පපුවට සහ උදරය ප්‍රදේශයට සිදු වූ බහුවිධ ඇනීම් හේතුවෙන් අභ්‍යන්තර ලේ ගැලීම් නිසා හටගත් කම්පනය හේතුවෙන් බවය.