සල්මල්පැලැස්සේ කංසා ජාවාරම්කාරයෝ | සිළුමිණ

සල්මල්පැලැස්සේ කංසා ජාවාරම්කාරයෝ

 

රටේ අන් දිස්ත්‍රික්ක සමඟ සසඳන විට රට ඇතුළත කංසා වගා කිරීමේ ජාවාරම මහ ඉහළින් සිදු කිරීම පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් උසුලන්නේ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකය. ඒ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් තණමල්විල සහ හම්බෙගමුව ඇතුළු අවට ප්‍රදේශත්, හම්බන්තොට දිස්ක්‍රික්කයට අයත් ලුණුගම්වෙහෙර රක්ෂිතය සහ අවට පිහිටි කුඩා වන ලැහැබ මෙන්ම යාල ජාතික වනෝද්‍යානයට අයත් කෑලෑ කොටස් ඇතුළේය.

කංසා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා පමණක් භාවිතයට අවසර හිමිව ඇති අතර රට ඇතුළත කංසා වගා කිරීම අලෙවි කිරීම නීතියෙන් තහනම්ය. නීතිය එසේ වුවත් ජාවාරම්කරුවන් නීති පොත පැත්තකට දමා සිය අරමුණු ඉටු කර ගැනීමට කුමන හෝ ජාවාරමක නිරත වීම සාමාන්‍ය දෙයක් බවට පත්කරගෙන ඇත. කංසා වගා කිරීම පහසු කාර්යයක් නොවුණත් ජාවාරම්කරුවෝ අමාරුවෙන් හෝ ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා මේ වගාව සිදු කරනු ලබන්නේ එහි ඇති වාසිය පිළිබඳව මනා අවබෝධයක් ඔවුන් සතුව ඇති නිසාය. මේ නිසාම හිර ගෙවල් හතක ගියත් කංසා ජාවාරම්කරුවන් මෙම ජාවාරම නවතා නොමැතිය. කංසා වගා කිරීම නිරතුරුවම ඇති හැකි මුදලාලි කෙනෙකු විසින් මෙහෙයවන අතර පොලිස් වැටලීම්වලදී අත්අඩංගුවට පත්වන්නේ ඔහුගේ ගෝලබාලයන් පමණි. තම ගෝලයෙකු අත්අඩංගුවට පත් වුවහොත් ඔහු වෙනුවෙන් අවශ්‍ය සියලු වියදම් වගේම ඔහුගේ නිවසේ අඩුපාඩුද මුදලාලි සොයා බලන්නේ ගෝලයා නැති වුවත් ගෙදර අයට අඩුපාඩුවක් නොකරමිනි. මේ නිසා කංසා වගා කිරීමේ ජාවාරම සඳහා 'ගෝලබාලයන්ද' සැදී පැහැදී සිටිනේ හිරේ ගියත් අවුලක් නොමැති නිසාත්, ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමට කංසා මුදලාලි ඉදිරිපත් වන නිසාත්ය. මේ නිසාම වැටලීම් කොතෙකුත් කළත් කංසා වගාව නැවතිය නොහැකි බව අද වන විට පෙනෙන්නට ඇති ප්‍රධාන කරුණකි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක වන තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ රාජකාරිය බවට පත්ව ඇත්තේ තංගල්ල පොලිස් කොට්ඨාසයේ පවතින නොවිසඳුණු අපරාධ විමර්ශනය මෙන්ම හදිසි වැටලීම් සිදු කිරීමයි. ගමේ පොලිසියෙන් සිදු නොවන ඕනෑම අපරාධයක් හෝ ජාවාරමක් පිළිබඳ තොරතුරක් ලද වහාම මෙම ඒකකයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ඒ අනුව ඉකුත් 25 වන දින පෙරවරුවේ තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට විශේෂ තොරතුරක් ලැබුණි. ඉන් කියවුණේ කිසියම් පිරිසක් කතරගම පොලිස් බළ ප්‍රදේශයට අයත් ලුණුගම්වෙහෙර රක්ෂිතයේ පිහිටි 'සල්මල් පැලැස්ස' ප්‍රදේශයේ කංසා හේනක අස්වනු නෙළමින් සිටින බවය. පෙරවරුවේ ලද මෙම තොරතුර පිළිබඳව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයවීර ඇතුළු කණ්ඩායම තංගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි වෙත දන්වා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලදී. ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් වහාම ලුණුගම්වෙහෙර රක්ෂිත ප්‍රදේශයට ඇතුළු විය. ඒ වන විටත් වේලාව සවස 04 පසු වී තිබුණි. කංසා ජාවාරම්කරුවන් නිතරම සිය ජාවාරම කරගෙන යන්නේ ඔත්තුකරුවන් මග දිගට යොදා ගනිමින්ය. මේ නිසාම මෙම වැටලීම සිදුකළ යුත්තේද ඉතා රහසිගතවය. ඒ අනුව උප පොලිස් පරික්ෂක ජයවීර ඇතුළු නිලධාරි කණ්ඩායම ඉතා රහසිගතව ලුණුගම්වෙහෙර රක්ෂිතයට ඇතුළු වී ලද තොරතුරට අනුව 'සල්මල් පැලැස්ස' ප්‍රදේශයට ඇතුළු වූහ. පැය කිහිපයක් තිස්සේ ගිය දුෂ්කර ගමනකින් පසු වැටලීම් නිලධාරීන් ටිකෙන් ටික අදාළ කංසා හේන පිහිටි ස්ථානයට ළඟා වූහ. ඒ වන විටත් සිවු දෙනෙකු එම ස්ථානයේ අඩි හතක් පමණ උසට වැඩී තිබුණු කංසා ගස් අලෙවිය සඳහා වේලීමට කපමින් සිටියේය. සියලු තොරතුරු තහවුරු කරගත් වැටලීම් නිලධාරීන් එකවරම කංසා හේනට කඩා වැදී එහි සිටි පුද්ගලයන් සිවු දෙනා අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත් සැකකරුවන්ට මාංචු දමා ප්‍රශ්න කැරිණි.

එහිදී අනාවරණය වූයේ එම පුද්ගලයන් තණමල්විල සහ කතරගම පදිංචි වයස අවුරුදු 30, 41, 48 හා 50 වයස්වල පසුවන පුද්ගලයන් බවයි. ජාවාරම්කරුවන් කංසා හේන ඇතුළත කුඩා පැලක්ද ඉදිකර තිබුණු අතර වැටලීම් නිලධාරීන් එහි සිදු කළ සෝදිසියේදි අලෙවිය සඳහා සකස් කර තිබුණු වියළි ගංජා කිලෝ 23 ග්රෑම් 400ක ප්‍රමාණයක් සමඟ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක්ද අත්අඩංගුවට ගැනිණි. වැටලීම සිදු කළ කංසා හේන අක්කර දෙකකින් පමණ සමන්විත වූ අතර එහි තිබූ කංසා ගස් අඩි 07ක් පමණ උසට වැඩී තිබුණි.

මෙම කංසා හේන පවත්වාගෙන යනු ලබන ප්‍රධාන සැකකරු පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ අත්අඩංගුවට පත් ස්ථානයට මඳක් දුරින් තවත් කංසා හේනක් ඇති බවත් එහි මෙම කංසා හේන අයිති ජාවාරම්කරු ඒ මොහොතේ එහි රැඳී සිටින බවත්ය. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එහි රඳවා කිලෝමීටර් කාලකට පමණ ඔබ්බෙන් පිහිටි එම කංසා හේනද අනෙකුත් කංසා හේන වැටලීමට තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වූහ. පොලිස් නිලධාරීන් කණ්ඩායම එහි යන විට එම හේනේ පිහිටි පැලකට වී සිටි ප්‍රධාන ජාවාරම්කරු සහ ඔහුගේ සහායට පැමිණි කතරගම සහ තණමල්විල පදිංචි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. ඔවුන් සතුව තිබී තවත් මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් අත්අඩංගුවට ගැනීමට වැටලීම් නිලධාරීන්ට හැකි විය. එම කංසා හේන අක්කර භාගයකින් පමණ සමන්විතය. කංසා හේන් දෙකෙන්ම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කංසා සාම්පල ලබා ගැනීමෙන් පසු ඉතිරි කංසා ගස් ගලවා ගිනි තබා විනාශ කරන ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනොගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කංසා ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැසක්ද අනාවරණය කරගැනීමට වැටලීම් නිලධාරීන් සමත් වී තිබේ. සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට පත් ගිනිඅවි දෙක හා වියළි කංසා සමඟ අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට කතරගම පොලිසියට බාර දීමට කටයුතු යොදා තිබිණි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රිගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයවීර පොලිස් කොස්තාපල්වරුන් වන (70372) සුදාරක, (71452)ඉන්දික, (72939)සංජය, (84229) සමන් සහ (75587) අමිල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරන ලදි.

Comments