![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/01/11/2.jpg?itok=VHohC0c1)
“මට ළමය දැක්කම කෑගැස්සුණා. කකුල් දෙකම බිම ගෑවිලා තිබුණා. මං කිවුවා ළමයට මොකුත් වෙලා නෑ ඉස්පිරිතාලෙ අරන් යමු කියලා. එතකොට පන්සලට නිතර යන එන සුමනදාස මාමා කිවුවා නෑ නෑ දැන් හුඟක් වෙලානෙ කියලා... ඒ හිටපු විදියට කෙනකුට එහෙම එල්ලෙන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඇරත් මහණ වෙන්න ආසාවෙන් හිටිය ළමයට එහෙම දෙයක් කරගන්න ඕනකමක් කීයටවත්ම තිබුණෙ නැති බව මට හොඳටම විශ්වාසයි...“ බුද්ධික වීරසිංහට ඒ සිද්ධිය අදහා ගැනීමට නොහැකි හීනයකි.
‘යෙසිත් ගිම්හාන්’ පුතුට අවුරුදු 12 සම්පූර්ණ වෙන්නේ පසුගිය දෙසැම්බර් 24 වැනිදාටය. ඒත් උපන් දිනය සමරන්න ඉඩ නොතියාම මේ දරුවා යන්නම යන්න ගියේය. වල්ගම ශ්‍රී සද්ධාතිස්ස විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ යෙසිත් පාසල් ගමනට සමු දුන්නේ මහණදම් පිරීමේ නොතිත් ආශාවෙනි.
“එදා ඉස්කෝලෙන් අස්වීම ගත්ත වෙලාවෙත් පුතා කිවුවෙ මං මහණ වෙලා ටිචර්ලව බලන්න එනවා කියලයි. එහෙම ගිය දරුවා අද අපට නැතිව ගියා...“ යෙසිත්ගෙ මව ඉනෝකා හැඬූ කඳුළින් කියන සංවේදී කතාව ඇසිය යුතුමය.
“අපිට ඉන්නෙ පුතාලම තුන් දෙනෙක්. වැඩිමලා 'ටනිඳුට' අවුරුදු 15 යි. බාලයා පසිඳුට අවුරුදු 09 යි. මද්දුමයා තමයි මේ පුතා. තුන්දෙනාම එකම ඉස්කෝලෙටයි යන්නේ. පහ වසරෙ ඉඳලා තමයි එයාට මහණ වෙන්න ආසාව ඇති වුණේ. මගේ මහත්තයා බුද්ධික. කරන්නෙ වෙල්ඩින් වැඩ. එයා වෙනිවැල්කොළ සම්බෝධි පන්සලේ වැඩ වගයක් කළා. නිවාඩු දවස්වලට එයා එක්ක පුතත් ගියා. සිල් ගන්නත් ඒ පන්සලටම ගියා. ඒ පන්සලේ සුමනසාර හාමුදුරුවො අඳුරන මහත්තයෙක් ඉන්නවා 'දුමින්ද' කියලා. එයා මාර්ගයෙන් තමයි පුතාව මහණ කරන්න ලෙනවර පන්සලට බාර දුන්නෙ. ඒ සැප්තැම්බර් 21 වැනිදා. කීප වතාවක් අපි පුතාව බලන්න ගියා. එයා හරි සතුටින් හිටියා. අන්තිමට ගියේ ඔක්තෝබර් 23 වැනිද. ඒ කඨින උත්සවයට. අපි ගෙදර ආවෙ පහුවදා. පුතාගෙ වම් ඇහැට වේරහැර යුද හමුදා රෝහලෙන් බේත් කරනවා. ඒකට ගෙදර එක්ක යන්න හැදුවම ලොකු හාමුදුරුවෝ කිවුවා ‘අවශ්‍ය නෑ මෙහෙන් බේත් කරමු’ කියලා.
ඒ නිසා බුද්ධික 25 වැනිද රෑ හතට විතර ක්ලිනික් කාඩ් එක ගිහින් දුන්නා. ඒ වෙලාවෙ පුතාගෙ වෙනසක් තිබිල තියෙනවා. ‘නිතර මෙහෙ යන්න එන්න එපා. කෝල් කරන්නත් එපා’ කියලා ලොකු හාමුදුරුවෝ බුද්ධිකට කියලා තියෙනවා. පොඩි හාමුදුරුවෝ පිරිවෙනට යන නිසා පුතා වැඩිපුරම ඉන්නෙ ලොකු හාමුදුරුවන් එක්කයි. පන්සලට එන කාගෙහරි ෆෝන් එකකින් හාමුදුරුවන්ට හොරෙන් පුතා අපිට කතා කරනවා. නැති වෙන්න දවස් තුනකට කලිනුත් පුතා පොඩි හාමුදුරුවන්ගේ ෆෝන් එකෙන් ‘අම්මා කෝ... අම්මට කතා කරන්න ඕනෑ තාත්තෙ’ කියලා තියෙනවා. ඒ වෙලාවෙ බුද්ධික වැඩ. එයා ගෙදර ඇවිත් මේ ගැන කියල රෑ අටට විතර ඒ නොම්මරේට කෝල් ගත්තා.
ඒ වුණාට ෆෝන් එක වැඩ කළේ නෑ. 28 වැනිදා මං පොඩි පුතා පන්තියෙන් අරන් එන්න ගිය වෙලාවෙ ලොකු හාමුදුරුවෝ අපේ ගෙදර ඇවිත් පුතා ගෙදර ආවද කියල ලොකු පුතාගෙන් අහලා තියෙනවා. ගේ ළඟදි බුද්ධිකටත් කෝල් කරල ගිම්හාන් පන්සලේ නෑ. හැමතැනම බැලුවා, ගෙදර ආවද බලන්න ආව කියලා කියල තියෙනවා. ඒ ගමන එයා වැඩ නතර කරල යාළුවෙක් එක්ක හවස තුනහමාරට විතර පන්සලට ගිහින්.
පොඩි හාමුදුරුවෝ දානෙකට ගිහින් ගිම්හාන්ට කෑම පාර්සලයක් ගෙනත් දුන්නා. ඒක අරන් ධර්ම ශාලාව පැත්තට ගිහින් කාලා ඇවිත් ඇඳට වෙලා හිටියා. මම දවල් දානෙට ගිහින් ආවට පස්සෙ ගිම්හාන් හිටියෙ නැති හින්ද හොයන්න ගත්තා කියලා ලොකු හාමුදුරුවො බුද්ධිකට කියලා තියෙනවා.
ඒ වෙලාවෙ ලොකු හාමුදුරුවො වයස 60 ක විතර කෙනෙක් එක්ක ආවාස ගෙට උඩහට වෙන්න කතා කර කර ඉඳලා තියෙනවා. පස්සෙ එයා ගල උඩ කැලේ පැත්තෙ පුතාව හොයන කොට පහළින් හාමුදුරුවො කෝල් කරල ඉක්මනට පහළට එන්න ගිම්හාන් ගබඩා කාමරේ එල්ලිලා ඉන්නවා කියලා කෑගහලා තියෙනවා. පන්සලට පිටින් ආව ගෑනු කෙනෙක් තමයි ඒක දැකල තියෙන්නෙ.
ධර්ම ශාලාවට පිටි පස්සෙ දැල් ගහල දහම් පාසලේ ඩෙස් බංකු දාල තියෙන කාමරේ ඒක. පිටින් ලොක් කරල හාමුදුරුවො ළඟයි යතුර තියෙන්නෙ. ගබඩා කාමරේ දැල පොඩ්ඩක් ගලවල තිබිලා. රිංගන්නවත් බැරි තරමෙ චුට්ටක්. ඒකෙන් රිංගුවනම් හීරිලා තුවාල වෙන්න ඕනෑ. ඒ වුණාට දරුවගෙ ඇඟේ තුවාල මොකුත් තිබුණෙ නෑ. සිවුරු පටියකින් එල්ලිලා තිබුණෙ. එයාට ඒ විදියට එල්ලෙන්න පුළුවන්කමක් නෑ කියලයි බුද්ධික කියන්නෙ. අපි බාර දුන්නට පස්සෙ ළමයා ගැන බලන්න ඕනෑ හාමුදුරුවෝ. ඒ වුණාට මේ මරණේ ගැන අපේ හිත හැදෙන්න වචනයක්වත් කතා කළේ නෑ. අදටත් එහෙමයි. බුද්ධික එතනදිම කියලා තියෙනවා ළමයගේ මරණය ගැන සැකයි කියලා. විධිමත් පරීක්ෂණයක් බලාපොරොත්තුවෙන් තමයි අපි මිරිහානට බාර දුන්නෙ. නැවත ගොඩඅරන් කරපු පරික්ෂණයෙදි ළමයගෙ කකුලෙ ඇට දෙකක් ඈත් වෙලා තියෙනවා කියල කිවුවා. ඒ ගැන තවදුරටත් පරික්ෂණ කරනවා. එහෙම දෙයක් වුණේ කොහොමද? ඇයි එහෙමනං මුලින් වතාවෙ මේවා අහුවුණේ නැත්තෙ. අපිට තියෙන ප්‍රශ්න තමයි මේවා.
හැමදාම උදේට ගිලන්පස බුද්ධ පූජාව තියන්නෙ පුතාලු. නැති වුණ දවසෙ උදෙත් ඒ වැඩ කරල තියෙනවා. මිදුලත් අතුගාල. හැමතැනම පුතාව හෙවුවනං ඇයි ගබඩා කාමරේ විතරක් බැලුවෙ නැත්තෙ.
ඉස්පිරිතාලෙ අරන් යං කිවුවහම දැන් හුඟක් වෙලා කියල වයසක මාමා කිවුවෙ කොහොමද? කා ළඟද මේවට උත්තර තියෙන්නෙ. අපිට උහුලගෙන ඉන්න පුළුවන්කමක් නෑ මේ දුක. අපිට අපේ පුතා නැතිවෙලා ඉවරයි. ඒත් තවත් දරුවෙකුට මේ වගෙ දෙයක් වෙන්න දෙන්න බෑ. කවදහරි ඇත්ත ජය ගන්න ඕනෑ. මගේ දරුවට සාධාරණයක් කරල දෙන්න කියලයි මං ඉල්ලන්නෙ...“
ගිම්හාන් වීරසිංහගේ මරණය ගැන විධිමත් විමර්ශනයක් සිදුකොට සත්‍ය සොයා ගැනීම වගකිවයුතු පාර්ශ්වයන්හි වගකීමයි. එම නිසා සිදුවන පරීක්ෂණ අනුව ගිම්හාන්ගේ මරණය සිදු වූයේ කුමනාකාරයෙන් ද යන්න ඉදිරියේදී හෙළි වනු ඇති බවට සැමගේ විශ්වාසයයි.