
වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු මෙම බස් රථයට ගොඩ වන්නේ බේරුවල 'චීන කොටුව' පෙදෙසෙහි පිහිටි මෙරට සුප්‍රසිද්ධ මැණික් වෙළෙඳපොළක් වෙත යෑම සඳහාය. ඔහු අත තිබුණේ පැත්තෙන් එල්ලාගෙන යා හැකි විශාල ප්‍රමාණයේ ලෙදර් බෑගය (සයිඩ් බෑගය) කි. එම බෑගයෙහි පසෙකින් පිහිටි පැති සාක්කුවක තිබුණේ මැණික් ගල් තොගයක් අඩංගු පසුම්බියකි. මැණික් ගල් 116කින් සමන්විත එහි වටිනාකම රුපියල් කෝටි හතරකට ආසන්නය. රුපියල් කෝටි ගණනක් වටිනා මෙම බෑගයද සමඟ බසයට ගොඩවුණු ව්‍යාපාරිකයා අසුන් ගන්නේ රියදුරු අසුනට පිටුපසින් පූජ්‍ය පක්ෂයට වෙන්වූ ආසනයේ කවුළුව සමීපයෙනි. මෙලෙස ධාවනය වු බසයට කටුකුරුන්ද හන්දියෙන් ගොඩ වන්නේ 'පික්පොකට් ගැසීමෙහි' කෙළපැමිණි පුද්ගලයෙකි. සියල්ල වෙනස් වන්නේ එතැන් සිටය.
තම 'ගොදුර' වෙනුවෙන් සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීම පිණිස උකුසු ඇසින් මඟීන් දෙස ඉවසීමෙන් බලා සිටිමින් කල් මැරූ 'පික්පොකට්කරුගේ' දෑසට හසුවන්නේ ගමනාන්තයට ආසන්න වීමත් සමඟ විශාල බෑගයද කර දරා පා පුවරුව සමීපයට අසීරුවෙන් ළංවෙමින් සිටි ව්‍යාපාරිකයාය.
චීනකොටුව හන්දියට ආසන්නවත්ම වාහන තදබදය නිසා වාහන ගොන්න අතර මඳක් සිරවී නතර වන බස්රථයේ ඉදිරියට ඇදෙන ව්‍යාපාරිකයාගේ සිරුරට ව්‍යාජ රඟපෑමක් ගෙනහැර පාමින් තද වන පික්පොකට්කරු බෑගයේ පැති සාක්කුව අසුරු සැණින් විවෘත කරන අතර, ඔහුගේ ඇස ගැටෙන්නේ එතුළ වූ පසුම්බියකි.
"අද නම් කල්ල මරේ තමා..." පික්පොකට්කරුගේ දෑස 'දිදුලන්නට' පටන්ගන්නේ පසුම්බිය සිය අතට පත්වීමත් සමඟිනි. බසයෙන් බැසීමටවත් ඉස්පාසුවක් නොතිබූ ඔහු බසය තුළදීම ක්ෂණයකින් එය විවෘත කරන්නේ වාසනාව උරාගා බැලීමට සිත ඉස්පාසුවක් නොතිබූ බැවිනි. සිතේ ගොඩනැඟි දහසකුත් එකක් බලාපොරොත්තු තත්පරයකටත් අඩු කාලයකදී නැති වන්නේ පසුම්බියෙහි මුදල් වෙනුවට පත්තර පිටු කිහිපයකුත්, ඉටිකොළ කැබැල්ලකුත් දැකීමෙන් පසුවය.
"ෂික්... මටත් අන්ත හිඟන්නෙක්ද කොහෙද..." තොල් මතුරමින් පසුම්බිය පාපුවරුව අසලම රැඳී සිටි බසයේ කොන්දොස්තර සමීපයේ අතහරින පික්පොකට්කරු ඉන් බැස යන්නේ සිංහල භාෂාවේ උච්චතම වදන් කිහිපයක්ද සිතින් පවසා ව්‍යාපාරිකයාට දෙස්දෙවොල් තබමිනි.
තමා පසුම්බිය නොගත්තද සිදුකළ සොරකම හේතුවෙන් සිතෙහි පවතින චකිතය නිසා තමන් පිටුපස කිසිවකු ලුහුබඳින්නේදැයි වරින්වර පසුපස බලමින් පාර පනින ඔහු මාර්ගය අනෙක්පස පිහිටි පෞද්ගලික ඖෂධ හලකට ඇතුළුව එහි මඳ වේලාවක් කල් මරමින් අනතුරක් නොමැති බව පසක්කර හීන්සීරුවේ ඉන් පිටව යන්නේ "දවසම මස්තබාල්දු කළ" ව්‍යාපාරිකයාට යළි යළිත් බැණ වදිමින්ය.
මේ අතර මැණික් වෙෙළඳපොළට පිවිස සිය ගමන් මල්ල විවෘත කිරීමට සූදානම් වන ව්‍යාපාරිකයාගේ ඉහමොළ රත් වන්නේ මැණික් තොගය තිබූ බෑග් 'සාක්කුව' කිසිවකු විසින් විවරකර එය සොරකම් කර ඇති බව දුටු විටය.
ආසන්නයේම පිහිටි බේරුවල පොලිස් ස්ථානයේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කළ ව්‍යාපාරිකයාත්, අතට ආ වාසිය උරගා බැලීමට වාසනාවක් නොමැති වූ පික්පොකට්කරුත් සුන් වූ සිතින් පිටව යද්දී, බසයේ තිබී සිය පයේ වදින පසුම්බියක් දකින කොන්දොස්තර එය අහුලා විවෘත කර පරීක්ෂා කරන්නේ මඟියෙකුගෙන් බිම වැටුණු පසුම්බියක් බවට සිතට ඉඟියක් ලැබෙද්දීය.
පික්පොකට්කරු මෙන් කලබල නොවී සීරුවෙන් එය අතගා බලන කොන්දොස්තරට එහි ඇතුළතින් පිහිටි සාක්කුවක බහා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් තොගය හසුවන්නේ ඉහේ මල් ගොන්නක්ම පිපෙද්දීය.
බේරුවල පොලිසියේ ගොනුකළ පැමිණිල්ල කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතද යොමු වන අතර, කළුතර ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරගේ ප්‍රධානත්වයෙන්, වැටලීම් ඒකක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් සිල්වා, උපපොලිස් පරීක්ෂක දයාසේන, සැරයන්වරුන් වන (37109)රත්නායක, (44817)ගුණවර්ධන, (49251)සරත්, කොස්තාපල්වරුන් වන (69993)ජයලත්, (26674)කුමාර සහ (15308)තාරක යන පිරිස පරීක්ෂණ ආරම්භ කරන්නේ කෙසේ හෝ 'මැණික් හොරා' නීතියේ රැහැනට කොටුකර ගැනීමේ අපේක්ෂාවෙනි.
ව්‍යාපාරිකයා බසයෙන් බැස ගිය ස්ථානය ආසන්නයේ මාර්ගය දෙපස සීසීටීවී පරීක්ෂා කිරීමේදී පොලිසියේ උකුසු ඇස යොමු වන්නේ සැකයෙන් බියෙන් පාර මාරු වන පික්පොකට්කරු වෙතය.
ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමා පසුම්බියක් සොරාගත් බවත්, නමුත් එතුළ මුදල් නොතිබූ බැවින් බසයේම බිම අතහැර ගිය බවටත් සැකකරු ප්‍රකාශ කරන්නේ පරීක්ෂණ තව තවත් සංකීර්ණ තත්ත්වයට පත් කරමිනි. ඉන් පසුව පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුවන්නේ සිද්ධියට පාදක වූ බසය සොයා ගැනීම සඳහාය.
ඒ වන විටත් ව්‍යාපාරිකයා සන්තකයේ තිබුණු බසයෙන් ලබා දුන් ප්‍රවේශ පත්‍රයෙහි සඳහන් අංකයට ඇමතුමක් ලබාදී බසයේ රියදුරු සම්බන්ධ කරගන්නා පරීක්ෂණ කණ්ඩායම රියදුරුගෙන් ප්‍රශ්න කළද ඔහු පවසන්නේ "තමන් මේ පිළිබඳ කිසිත් නොදන්නා බවත්, කොන්දොස්තරවරයාගෙන් ඒ ගැන අසන ලෙසත්"ය.
රියදුරුගෙන් ලබාගන්නා කොන්දොස්තරවරයාගේ දුරකතන අංකයට කතා කර විමසූ විට ඔහු පවසන්නේද "තමන් කිසිත් නොදන්නා බවකි, බසයෙන් බැස යද්දී මාර්ගයේ එය වැටෙන්නට හැකි බවත්, නැතහොත් බසයේ වැටී තිබියදී මඟියෙකු විසින් එය අහුළාගන්නට ඇති බවත්"ය.
මේ සිද්ධිය සිදු විය හැකි උදාහරණද ගෙනහැර දක්වමින් අදහස් දක්වන කොන්දොස්තර තැනගේ කතා විලාසය ගැන පොලිසියේ සහජ බුද්ධියට සැකයේ ඉඟි ලැබෙද්දී ඔවුන් ඉන්පසු යොමු වන්නේ බස් රථය පරීක්ෂා කිරීම පිණිසය. පොලිස් නිලධාරීන්ගේ බලාපොරොත්තු අලුත් කරමින් බසයේ සී.සී.ටී.වී. පද්ධතියක් සවිකර ඇති බවට දැනගන්නට ලැබෙන අතර, නමුත් පොලිසියට ලබාදෙන සීසීටීවී කැමරා පද්ධතියේ එම දර්ශන කිසිවක් අඩංගු නොවන්නේ පරීක්ෂණ අවුල් ජාලයක් බවට පත්කරමින්ය.
"මේකෙ ඉලෙක්ට්‍රික් ෂෝර්ට් එකක්. මේක පිව්චිලා..." කොන්දොස්තර සඳහන් කරද්දී රියදුරුගේ දෑස්ද උඩ යන්නේ එතෙක් තමන් නොදන්නා සී.සී.ටී.වීයේ සිදුවූ 'ඉලෙක්ට්‍රික් ෂෝර්ට්' එක ඇසීමෙනි.
නමුත් පොලිසිය නොමඟ යැවීමට කොන්දොස්තරවරයාගේ 'ලුණු ඇඹුල්' ප්‍රමාණවත් නොවෙද්දී අවසානයේ තමන් විසින් අදාළ පසුම්බිය ඇහිඳ ගත් බවත්, එය සිය නිවසේ අල්මාරියේ සඟවා ඇති බවත් සැකකාර කොන්දොස්තරවරයා පිළිගත්තේය.
පසුව ඌරුබොක්ක ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් මැණික් තොගය සිය බාරයට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වන අතර, 36 හැවිරිදි කොන්දොස්තරවරයාද පොලිස් අත්අඩංගුවට පත්වන්නේ "පය හැපී හඳුනාගත් වාසනාව" පාරා වළල්ලක් වෙමින් තමන් වෙත අවාසනාව රැගෙන එද්දීය.