අම්මා විඳින දුක ඉවසා ගන්නට බැරිව පුතා කළ දේ | සිළුමිණ

අම්මා විඳින දුක ඉවසා ගන්නට බැරිව පුතා කළ දේ

වැඩබලන මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණය සිදු කරන අයුරු

- ජගත්ප්‍රියගේ සිරුරේ පිහි පහර හයක්
- මාවනැල්ල ඉහළ කෝට්ටෙන් ඇසුණු අනුවේදනීය කතාවක්

වුපියන්ට දරුවන් තරම් සහ දරුවන්ට මවුපියන් තරම් වටිනා වස්තුවක් මෙම මිහිතලය තුළ නැත. දස මාසයක් කුසේ දරා මෙලොවට දරුවෙකු බිහි කර ලේ කිරි කර පොවා මවක් දරුවෙකු ඇතිදැඩි කළ ද මුළු දවසම ගතේ දහඩිය හෙළා කුලී වැඩක් හෝ කර උපයාගන්නා මුදලින් පළමුව බිරියටත් දරුවන්ටත් කන්නට අඳින්නට ගෙනත් දෙන්නේ පියාය. මත්පැන් පානය කරන ලද ඇතැම් පියවරුන් බිරිය දරුවෝ හඳුනන්නේ නැත. ඇතැමුන්ට කියන කරන දෙවල් පවා මතකයක් ද නැත. එකී හේතුවෙන් ඇතැම් බිරින්දෑවරුන් දරුවන් පියා දකින්නට නොව කතා කරන්නට ද කැමැති නැත. බැරිම තැන අවසානයේ ඇතැම් දරුවන් පියාට පහර දෙති. අතපය කඩා දමති. ඉවසීම ඉක්මවා ගිය අවස්ථාවේ දී අහු වුණ එකකින් පහර දී ඝාතනය කරති. 

එවැනි සිදුවීමක් ඉකුත් 25 වැනිදා එනම් නත්තල් දා අලුයම මාවනැල්ල පොලිසියට 119 හදිසි අවස්ථා දුරකතන අංකයෙන් ඉහළකෝට්ටේ ගම්වැසියෙක් විසින් සිදු කරන ලද දැනුම් දීමකට අනුව 20 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් සිය පියාට පිහියකින් හය පොලකට ඇන ඝාතනය කර ඇති බවට පුවතක් වාර්තා වී තිබුණි. මේ කතාව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙසේය.

මාවනැල්ල පොලිස් වසමේ මාකෙහෙල්වල, ඉහළකෝට්ටේ, අංක බී/3/1 නිවෙසේ පදිංචි වගපේලිගේ සඳුන් උදයසිරි කුමාර ධර්මරත්ත නමැති 20 හැවිරිදි තරුණයා මාකෙහෙල්වල ප්‍රදේශයේ පාසලකින් 2019 වර්ෂයේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විෂයන් 6 ක් සමත් වී සම්මාන තුනක් ද හිමි කරගෙන සිටි ශිෂ්‍යයෙකි.

සඳුන්ගේ පියා වගපේලිගේ ජගත්ප්‍රිය ධර්මරත්නය. වයස අවුරුදු 43 කි. සඳුන්ට 23 හැවිරිදි වැඩිමහල් සහෝදරයෙක් සහ වයස අවුරුදු 11 ක බාල සහෝදරයෙක් සිටී. වැඩිමහල් සහෝදරයා විවාහ වී වෙනම පදිංචිව සිටින අවස්ථාවේ දී කලකට ඉහතදී ඔහුගේ බිරිය ඔහු හැර ගියේය. මහ ගෙදර නිවසේ පදිංචිව සිටියේ සඳුන්, සඳුන්ගේ මව, පියා සහ බාල සහෝදරයා පමණි. සඳුන්ගේ පියා කුලී වැඩවල නිරත වූ අයෙකි. සඳුන් සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් පසුව පාසල් ගමන නිමා කෙළේය. ඔහු ද පසුව කුලී වැඩවලට යොමු විය.

සඳුන්ගේ නිවස ඉදිකර ඇත්තේ ඉහළකෝට්ටේ උමං දුම්රිය ආසන්නයේ කඳු බෑවුමකය. නිවස ඉදිකර ඇත්තේ අඩකින්ය. ඒ කාමර දෙකක් පමණි. එක කාමරයක් සඳුන්ගේය. සෙසු කාමරයේ ඇඳේ සඳුන්ගේ මවුපියන් නිදා ගන්නේය. 11 හැවිරිදි බාල සහොදරයා ඉටි පැදුරක් මේසය යටට දමාගෙන නිදා ගනී. කුස්සිය වෙනම සෙල්ලම් පැලක් ලෙස ඉදිකර ඇත.

සඳුන්ගේ පියා 'ජගත්ප්‍රිය' කුලී වැඩක් කර උපයා ගන්නා මුදලින් එදිනෙදා නිවසට අවශ්‍ය හාල් තුන පහ එළවළු ටිකක් රැගෙන එයි. වැඩි මුදලක් විය පැහැදම් කරන්නේ සවස මත්පැන්වලටය. සෑම දිනකම මත්පැන් පානය කර රාත්‍රි හත අට වන විට නිවසට පැමිණෙන ජගත්ප්‍රියගේ බිරිය නිවසේ තිබුණු දෙයක් උයා පිහා තබන්නීය. වැඩිපුර නිවසේ හැදෙන්නේ බතක් සමඟ සම්බෝලයකි.

සම්බෝලයකුයි බතකුයි හරි සාදා තබන බිරියට මොන යම් හෝ අඩුපාඩුවක් පෙන්වා දී ඇයට කෑ කෝ ගැසීම ජගත්ප්‍රියගේ සිරිතය. ඇතැම් දිනවල රෑ දහය එකොළහ වෙනකම් දෙදෙනාගේ අඩදබර එමටය. අල්ලපු කාමරයේ ඇඳේ සිටින සඳුන්ට මේ හේතුවෙන් කාලයක් තිස්සේ නින්දක් නැත. සඳුන්ගේ මව රාත්‍රී කාලයේ නඟන විලාපය, කෙඳිරි ගෑම, අධික වේදනාවෙන් පසු වීම, හඬා දොඩා වැලපීම කාලයක සිට සඳුන්ට ඉවසා දරා ගැනීමට නොහැකි විය. මවගේ වේදනාව යටපත් කරන්න සඳුන් කාමරයේ ඇති කැසට් යන්ත්‍රයේ යන ගීතවල ශබ්දය වැඩි කර ගන්නේය. ගීතවල රස අබිබවා මවගේ විලාපය, කෙඳිරි ගෑම ඉස්මතු වී එන හඬ සඳුන්ගේ සිතට දිනපතා වධ දුන්නේය.

ඉවසා දරා ගැනීමට බැරිම තැන සඳුන් අවස්ථා ගණනාවකදීම "දැන් ඇති හොඳටම දෙන්නාගේ සෙල්ලම් ටික... ඕක නවත්වලා බුදියගනිල්ලා" කියූ වාර අපමණය. කාලයක සිට සඳුන් නිදා ගන්නා ඇඳේ කොට්ටේ යට පිටරට නිෂ්පාදිත එළවළු කපන පිහියක් ද සඟවා ගෙන සිටියේ.

ඉකුත් 25 වැනිදා නත්තල් දා සඳුන්ගේ පියා හාල් එළවළු මල්ලක් රැගෙන රාත්‍රි 7. 30 පමණ නිවසට පැමිණියේය. එදා සඳුන්ගේ මව රාත්‍රී කෑමට සාදා තිබුණේ බතක් සහ සම්බෝලයකි. සුපුරුදු පරිදි පියා මවට දොස් නඟන්නට විය. රාත්‍රි 11.15 පමණ වන තෙක් ඉවරයක් නැත. සඳුන් තාත්තා සමඟ ගැටුමකට මුල පිරීය. ජගත්ප්‍රියත් අල්ලපු කාමරයේ සිටින පුතා සමඟ ආරෝවක පැටළුණි.

දෙදෙනාම කාමර දෙකෙන් එළියට ආවේය. සඳුන් ඇදේ කොට්ටය යට තිබුණු පිහිය ද රැගෙන ආවේය. පිහි පාරවල් කිහිපයක් ජගත්ප්‍රියට එල්ල විය. අඟල් 8 ක් පමණ දිග පිහි තලය ජගත්ප්‍රියගේ පපුවේ රැඳුණේය. පිහියේ මිට සඳුන් අතේය. " අම්මෝ මට පිහියෙන් ඇන්නා " කියාගෙන ජගත්ප්‍රිය මිදුලේ වැටුණේය. සඳුන් අල්ලපු ගෙදරකට දිව ගියේය. 

අසල්වැසියෙක් මේ සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි දුරකතන අංකයට සහ මාවනැල්ල පොලිසියට දුරකතන පණිවුඩයකින් දැන්වීය. 26 වැනිදා අලුයම 1ට පමණ මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චිගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.ඩී. රොෂාන්ත, උප පරීක්ෂක කරුණාරත්න බණ්ඩාර, සැරයන් රියදුරු සාලිය (34261) කොස්තාපල්වරුන් වන පුෂ්ප කුමාර (28262), සිල්වා (91278) යන නිලධාරි කණ්ඩායම සිද්ධිය වූ නිවෙසට ගොස් මූලික විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී. එහිදී කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ජී.එන්. ජයලාල් මලන්දෙණිය, පොලිස් පරීක්ෂක උපාලි ජයසේකර, සැරයන් ජයරත්න (39282) යන නිලධාරින් ද විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී. එහිදී පොලිස් නිලධාරින් දකින්නේ පුද්ගලයෙක් මිදුලේ වැටී සිටින අයුරුය. තිදරු පියාගේ ඝාතනයට පසුව සැකකාර දෙවැනි පුතා වන වගපේලිගේ සඳුන් උදයසිරි කුමාර ධර්මරත්ත අසල නිවසක සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. ඝාතනයට යොදා ගත් එළවළු කපන පිහියේ තලය සහ මිට වෙන වෙනම මිදුලේ වැටී තිබියදී පොලිසිය පසුව සොයා ගෙන තිබිණි.

පසුව 26 වැනිදා දහවල් මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අදාළ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කරන ලදී. ජගත්ප්‍රියගේ දේහය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා දේහය බිරියට භාර දෙන ලෙස සහ වෛද්‍යවරයාගේ වාර්තාව සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කෙළේය.

කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී තරංග බංඩාර නායකරත්ත විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. පිහියකින් ඇනීම නිසා මහා ධමනියට සිදු වූ කැපීමක් හෙතුවෙන් පපු කුහරය තුළට රුධිරය වහනය වීම නිසා ඇති වූ කම්පන තත්ත්වයක් මත ජගත්ප්‍රියගේ මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදි හෙළි විය.

පසුව සැකකාර තරුණයා ඉකුත් 27 වැනිදා මාවනැල්ල මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි. මාවනැල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයසිංහ නිලධාරියා සැකකාර තරුණායා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Comments