කෝටි 100කට විකුණන්න තැත් කළ මැණික් චෛත්‍යය සොයන්න එස්ටීඑෆ් කළ මෙහෙයුම | Page 2 | සිළුමිණ

කෝටි 100කට විකුණන්න තැත් කළ මැණික් චෛත්‍යය සොයන්න එස්ටීඑෆ් කළ මෙහෙයුම

 

ඓතිහාසික පුරාවස්තු කඩා බිඳ දමමින් නිධන් වස්තු සොරා ගැනීමේ සිදුවීම් පසුගිය දිනවලදී බොහෝ සේ විය. රඹුක්කන, දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කරගෙන ගියේ පසුගිය වසරේ පෙබරවාරි 11 වැනිදා රාත්‍රියේ හෝ 12 වැනිදා අලුයම් කාලයේය.

එසේම පසුගිය දෙසැම්බර් 14 වැනිදා අලුයම කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබුණු සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි ස්ථානයේ තිබූ සඳගල නමැති ඓතිහාසික පුරා වස්තුවද කිසියම් පිරිසක් ගලවාගෙන ගොස් තිබිණි.

මේ අතර මැණික් ගල් ඔබ්බවන ලද කුඩා චෛත්‍යයක් රුපියල් කෝටි 100කට විකිණීමට යද්දී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට හැකි වන්නේ ඉකුත් 9 වැනිදාය. මොරටුව කඳවුරේ නිලධාරින් විසින් එම චෛත්‍ය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ වේයන්ගොඩ, එස්ඇල්ලේ නිවෙසක සිටියදීය.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල්හි ඓතිහාසික මුහුදු මහා විහාරයට අයත් භූමියක තැන්පත් කර තිබූ නිධානයකින් ලබාගත් චෛත්‍යය හතරකින් එකක් වන එම චෛත්‍ය අනුරාධපුර යුගයට අයත් බවට පැවැසේ. පසුගිය කාලයේ පොතුවිල් මුහුදු මහා විහාරය ගැන වැඩි අවධානයක් යොමු වූයේ නිධන් කොල්ලකෑම් මෙන්ම මුහුදු මහා විහාරයට අයත් ඉඩම් කොල්ලකෑම් ගැන වාර්තා වීමත් සමඟිනි. මුහුදු මහා විහාරයේ සිදු වන නිධන් කොල්ලයකදී මෙකී චෛත්‍ය හා සමාන චෛත්‍ය හතරක් නිධන් හොරුන් ලබාගෙන ඇති බවත් එම චෛත්‍ය හතරෙන් එකක් වන මෙම චෛත්‍ය සෙන්ටිමීටර් 37ක් උසය. එහි වට ප්‍රමාණය සෙන්ටිමීටර් 76කි. චෛත්‍යයේ ගර්භය වටා බෝ කොළ හතරකි. එම බෝ කොළ හතරේ මැණික් ගල් හතරක් ඔබ්බවා තිබිණි. ඊට අමතරව චෛත්‍යයේ හතරැස් කොටුව ඇතුළත අඟල් දෙකක පමණ උසකින් යුත් නිල් පැහැති මැණික් ගලක් සහ දඹ රන්වලින් නිර්මාණය කර ඇති බවට සැල වන අඟල් දෙකක පමණ උසකින් යුත් හිඳි පිළිමයක්ද තිබිණි.

රුපියල් කෝටි සියයකට මිල නියම කරමින් වේයන්ගොඩ, නයිවල, යටගම, එස්ඇල්ලේ නිවෙසක විකිණීමට තිබියදී එම චෛත්‍ය පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොටුකර ගත්තේ ක්ෂණික මෙහෙයුමක් සිදු කරමිනි. පසුගිය ජනවාරි 09 වැනිදා පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකක III, මොරටුව කඳවුරේ නිලධාරීන්ට විශ්වසනීය තොරතුරක් ලැබිණි. ඒ ඔත්තුකරුවකුගෙනි.

“සර්... අම්පාරේ මුහුදු මහා විහාරයේ නිධානයකින් ගත්තු චෛත්‍යයක් විකුණන්න තියෙනවා... මැණික් ඔබ්බපු ඒ චෛත්‍යය රුපියල් කෝටි 100කට විකුණන්න හදන්නෙ... කීප දෙනෙක්ම ඇවිල්ලා බලලා ගිහිල්ලත් තියෙනවා...මේ චෛත්‍යය තියෙන්නේ වේයන්ගොඩ ගෙදරක...“

එස්ටීඑෆ් නිලධාරීන්ට ලැබුණු එම තොරතුර පිළිබඳව එම බළකායේ අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ වරුණ ජයසුන්දර දැනුවත් කිරීමත් ඔහුගේ උපදෙස් මත බුද්ධි, විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන කටයුතු බාර සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකරගේ අධීක්ෂණයෙන් මොරටුව කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකක III හි පොලිස් පරීක්ෂක ඉෂාර මෙන්ඩිස් සහ ඒ.එන්.ටී. කුමාර ඇතුළු නිලධාරි කණ්ඩායම විසින් තොරතුරෙන් කියැවුණු අදාළ නිවෙස සොයා ගියහ. එම නිවෙස පිහිටියේ වේයන්ගොඩ පොලිස් වසමේ අංක 161/17, සෙන්ට්‍රල් පාර්ක්, එස්ඇල්ල, යටගම ලිපිනයේයි. විශේෂ කාර්ය බළකා නිලධාරින් එම නිවෙස වටලන මොහොත වන විට නිවෙසේ සිටියේ තරුණයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිධානයකින් ලබාගත් එම චෛත්‍යය මුළුතැන්ගේ ඇතුළත තියා කහ වතුරෙන් නහවමින් සිටියෝය.

“කොහෙන්ද මේක හම්බ වුණේ...“ නිවෙසේ සිටි තරුණයන් දෙදෙනාගෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරිහු ප්‍රශ්න කළහ.

“සර්... අපිට මේක ලැබුණේ මඩකළපුවේ කෙනෙක්ගෙන්... ගිය දෙසැම්බර් 13 වැනිදා මඩකළපුවට ගිහිල්ලා අපි මේක අරගෙන ආවේ...“ යැයි පවසමින් එම තරුණයන් දෙදෙනා පැවැසූහ.

අනුරාධපුර යුගයට අයත් බවට සැකකරන එම ඓතිහාසික චෛත්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණේ චෛත්‍ය සඟවාගෙන සිටි නිවෙසේ පදිංචි 23 හැවිරිදි දොන් අබේසිරිදරගේ හසිත තරංග සමරකෝන් සහ 34 හැවිරිදි කුගේන්ද්‍රන් රාජේන්ද්‍රන්ය. ඔහු අංක 2, අඹකොටේ II, කෙංගල්ල යන ලිපිනයේ පදිංචිකරුවෙකි. මාසයක පමණ කාලයක් එම නිවෙසේ තබාගෙන රුපියල් කෝටි 100කට විකිණීම සඳහා තැත් කළ එම චෛත්‍ය ඔවුන්ට ලැබුණු ආකාරය අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පාපෝච්චාරණය කරන්නට පටන් ගත්තේය. ඒ අනුව සැකකරුවන් දෙදෙනා පවසන්නේ මෙවැනි කතාවකි.

හසිත තරංගගේ මව දේවාලයක් පවත්වාගෙන යන යන්ත්‍රමන්ත්‍ර, ගුරුකම් සිදුකරන අඳුන් මඟින් පේන කියන තැනැත්තියකි. ඇය මීට පෙරද නිධානයක් ලබාගැනීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේද සිටි තැනැත්තියකි. ඉකුත් දිනෙක මඩකළපුවේ යන්ත්‍රමන්ත්‍ර කටයුත්තකට ඇය එහි ගිය අවස්ථාවකදී එම තැනැත්තියට මෙකී නිධානය ගැන සැල වී තිබුණි. ඒ මඩකළපුවේ පදිංචි පිරිසක් සන්තකයේ මුහුදු මහා විහාරයේ නිධානයකින් ලබාගත් චෛත්‍ය හතරකින් එකක් තිබෙන බවටයි. ඒ අනුව හසිත සහ රාජේන්ද්‍රන් පසුගිය දෙසැම්බර් 13 වැනිදා මඩකළපුවට ගොස් එම පිරිස මුණ ගැසිණි.

“චෛත්‍ය හතරෙන් එකයි අපි ගාව තියෙන්නෙ...“ යැයි කියමින් නිධානයෙන් ලබාගත් එම චෛත්‍ය අදාළ පිරිස හසිතට සහ රාජේන්ද්‍රන්ට පෙන්වීය. ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙකී චෛත්‍ය වසර දෙදහසක් පමණ පැරැණි අනුරාධපුර යුගයට අයත් වූවක් බව සැල වන බවත් එම නිසා චෛත්‍යය වටිනාකමින් ඉහළ බවය.

“අපිට මේක විකුණලා සල්ලි දෙන්න... අපිට රුපියල් කෝටි 40ක් ඕන... තමුන්ලා කැමැති ගාණකට විකුණුවට අපිට කමක් නෑ...“ අදාළ පිරිස එලෙස පවසමින් ගනුදෙනුව ගැන කතිකා කරගැනීමත් සමඟ කිලෝග්‍රෑරෑම් 25ක් පමණ බරැති චෛත්‍ය ත්‍රිරෝද රථයකින් මඩකළපුවේ සිට වේයන්ගොඩ හසිතගේ නිවෙසට රැගෙන එන්නේ දෙසැම්බර් 13 වැනිදාය. එදින සිටම ඔවුහු මේ චෛත්‍ය විකිණීමට බොහෝ දෙනෙකුට පණිවිඩ ලබා දී තිබූ අතර කීප දෙනෙකුම පැමිණ එය බලා තිබිණි. එය විකිණීමට හසිත සහ රාජේන්ද්‍රන් මිල නියම කළේ රුපියල් කෝටි සියයක් ලෙසිනි. කීප දෙනෙක්ම පැමිණ බලා ගියත් ඒසා වටිනාකමක් එම චෛත්‍යයෙන් දිස් නොවන හෙයින් කිසිවෙක් එය මිලට ගෙන නොතිබිණි. එසේ විකිණීමට තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට සිය ඔත්තුකරුවකුගෙන් ලද තොරතුර ඔස්සේ මෙම මහා සොරකම අනාවරණය කරගැනීමට හැකි වූයේ සැකකරුවන් දෙදෙනා සමඟ චෛත්‍යයද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ භාරයට ගනිමිනි.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සැකකරුවන් දෙදෙනා සහ එම චෛත්‍ය වැඩිදුර විමර්ශන සඳහා වේයන්ගොඩ පොලිස් ස්ථානයට බාර දෙන්නේ ඉන් පසුවය. වේයන්ගොඩ පොලිසිය සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න නියෝග කළේ සැකකරුවන් දෙදෙනා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටය. චෛත්‍ය ලැබුණු ආකාරය පිළිබඳව අනාවරණය කරගැනීමට පොලිසිය කළ කරුණු දැක්වීම් අනුව මහේස්ත්‍රාත්වරයා විසින් හසිතගේ මවද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි. අනතුරුව ඇය අධිකරණයට ඉදිරිපත් කළද චෛත්‍ය ලැබුණ ආකාරය නිසි ලෙස අනාවරණය වූයේ නැත.

 

Comments