- වස පෙවූ අයකුගේ සිරුරේ ලක්ෂණ සිරිපාලගේ තිබුණේ නෑ
- කියතක ආරවුලකට මිතුරන්ගෙන් පලිගන්න කළ බොරුව
- වස පොවා සිදු කළ මිනිස් ඝාතනයක් නොවන බව හෙළි කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය
මීට වසර දාහතරකට පහළොවකට පමණ ඉහතදී කෘමිනාශක ශරීරගත වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවු තිදරු පියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. කිසියම් පිරිසක් තමන්ට බලහත්කාරයෙන් වස පෙවූ බවට ඔහු වාට්ටු භාර වෛද්‍යවරයාට කීවේය. කිසියම් අයෙකුට බලහත්කාරයෙන් වස පොවා ඇතිනම් ලංකාවේ නීතිය අනුව එය මිනීමරුමකට තැත් කිරීමකි. මෙකී රෝගියාගේ සායනික පරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේර රෝගියා සිටි වාට්ටුවට ගියේය. ඒ වනවිටත් මෙම රෝගියා අසාධ්‍ය තත්ත්වයෙන් පසු විය.
“දොස්තර මහත්තයෝ 'සෝමේ, චුට්ටේ, පොඩ්ඩා එකතුවෙලා මට බලහත්කාරයෙන් වස පෙව්වා“ යැයි රෝගියා ඉතා අපහසුවෙන් කීවේය.්
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝගියාගේ මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඊට ඔහුගේ අත්සනද ලබා ගත්තේය. අධිකරණ වෛද්‍යවරයා රෝගියාගේ සායනික පරීක්ෂණ පැවැත්වු දිනට පසු දින ඔහු මිය ගියේය. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුයේ ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරාය.
අපරාධ නීතියේ සාක්ෂි පනතේ 32-1 වගන්තිය යටතේ මරණාසන්න අවස්ථාවකදී යම්කිසි පුද්ගලයකු විසින් ලබාදෙන ප්‍රකාශය ඉතා වැදගත් වන්නේය. මෙම රෝගියා විසින් මරණාසන්න අවස්ථාවේ ලබාදුන් ප්‍රකාශයත් සමඟ ඔහුගේ මරණය මිනීමැරුමක් බවට තීරණය විය. ඔහුට වස පෙවූ බව කියන පුද්ගලයින් සිවුදෙනා පොලිස් අත්අඩංගුවට ගැනිණි. පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන ලදී.
"අනේ සර් මේ මොන අපරාධයක්ද? අපි මේ මනුස්සයාට වස පෙව්වේ නැහැ. මේක බොරුවක්.“ පොලිස් ස්ථානාධිපති ඉදිරියේ සැකකරුවෝ එසේ ප්‍රකාශ කළහ. පොලිසිය ඔවුන් සිවුදෙනාට මිනීමැරිමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබීය. යම්කිසි පුද්ගලයකුට වස නාසයෙන් මුඛයෙන් සහ සමෙන් ශරීරගත විය හැක. එන්නත් කිරීමෙන් ද වස ශරීරගත කළ හැකිය.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි තීරණය කළේ කෘමිනාශක ශරීරගත වීම නිසා මොහු මියගොස් ඇති බවය. එය හෙළි වුයේ පශ්චාත් මරණ පරික්ෂණයේදීය.
මෙකි පුද්ගලයා මියගියේ තමන් විසින්ම කෘමිනාශක පානයකොට සිය දිවි හානිකර ගැනීමකින්ද? නොඑසේනම් කිසියම් පිරිසක් විසින් ඔහුට බලහත්කාරයෙන් කෘමිනාශක පෙව්වාද? මෙය අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. මක් නිසාදයත් කෙනෙකුට වස පෙවීම එතරම් පහසු කාරියක් නොවන බැවිනි.
එහෙත් මියගිය පුද්ගලයා මිය යාමට ආසන්න අවස්ථාවේ දී තමන්ට පිරිසක් විසින් වස පෙවූ බවට කළ ප්‍රකාශය නිසා මෙය මහත් ආන්දොලනාත්මක සිද්ධියක් විය. ජීවත්ව සිටින අයෙකු කෘමිනාශක පානය කළ විට ආමාශයේ ඇතුළු පැත්ත රත් පැහැවි ලේ ලප හට ගනී. මිය යාමෙන් පසුව කිසියම් අයෙකුට වස පෙව්වේ නම් ආමාශය තුළ වස තිබිය හැකි වුවත් ග්‍රහණිය දක්වා වස ව්‍යාප්ත වන්නේ නැත. එමෙන්ම ආමාශයේ ඇතුළත ලේ ලප ඇති නොවේ. කෘමිනාශක ශරීරගත වු විට උදරය මොලොක් වී වලිප්පුව හටගෙන පෙණහැලිවල වතුර එකතුවේ. තව ද ආමාශය සහ ගලනාලය පිලිස්සීමට ලක්වේ. අධි සාන්ද්‍රණික කෘමිනාශකයන් පානය කිරීමෙන් ආමාශය තැම්බිම, පිලිස්සීම නිසා අමාශය සිදුරු වීම ද සිදු විය හැක.
කෘමිනාශක විශාල ප්‍රමාණයක් පානය කළේ නම් පැය කිහිපයක් ඇතුළත එම පුද්ගලයා මිය යයි. එහෙත් මෙම තිදරු පියා වස ශරීරගත විමෙන් පසු දින හතක් පමණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මේ තුළින් පැහැදිලි වන්නේ මොහුට ඉතා සුළු ප්‍රමාණයක් වස ශරීරගත වී ඇති බවය. යම් කිසි අයකු දිවි හානි කර ගැනීම සඳහා වස පානය කළේ නම් විශාල ප්‍රමාණයක් වස පානය කිරීම සාමාන්‍ය සිරිතයි. එහෙත් මියගිය පුද්ගලයාගේ වස ශරිරගතව තිබුණේ ඉතා සුළු ප්‍රමාණයකි. කිසියම් පිරිසක් විසින් වස පෙව්වේ නම් විශාල වස ප්‍රමාණයක් කිසියම් අයෙකුට පෙවිය නොහැකිය. මෙය මොහුගේ වාසියට හේතු වි තිබුණි. එහෙත් පළපුරුදු අධිකරණ වෛද්‍යවරයකුට සත්‍ය වසන් කළ නොහැකිය. ඉක්බිතිව අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය පුද්ගලයාගේ සිරුරේ බාහිර ලකුණු පරික්ෂා කළේය.
සාමාන්‍යයෙන් කාන්තාවකට වඩා පිරිමි අයෙකුට බලහත්කාරයෙන් වස පෙවීම ඉතා අපහසු කාරියකි. කායික දුබලතාවකින් සහ සිහිමඳ ගතියෙන් පසුවන අයෙකුට බලහත්කාරයෙන් වස පෙවීම එතරම් අපහසු නොවේ.
"කිසියම් පුද්ගලයෙකුට බලහත්කාරයෙන් වස පෙවීමේදී ඔහු දඟලනවා. ඔහුගේ ගෙල අතපය අල්ලාගෙන තමයි වස පොවන්න ඕන. එහෙම අවස්ථාවකදී එම පුද්ගලයාගේ ගෙලෙහි සිරුරේ නියපොතු පහරවල් හෝ සිරීම් තුවාල තිබෙන්න ඕන. වස සිරුරේ හැළෙන්න ඕන. කම්මුලේ ගෙලෙහි හැළෙන්න ඕන. නමුත් මෙකී පුද්ගලයාගේ සිරුරේ එවැනි ලක්ෂණ තිබුණේ නැහැ.“ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේර කීවේය.
කෘමිනාශකවලින් දැඩි දුර්ගන්ධයක් වහනය වන්නේය. එම නිසා වස යම්කිසි අයෙකුගේ නාසයට කිට්ටු කිරීමටත් පෙර ඔහු දඟලනු ලබයි. මේ නිසා කෙනෙකුට වස පෙවීම ඉතා අපහසුය.
“මේ ගැන සාක්ෂි දෙන්න අධිකරණය මාවත් කැඳවුවා. තිදරු පියා මිය ගියේ වස ශරීරගත වීමෙන් බව මා ප්‍රකාශ කළා. එහෙත් මියගිය පුද්ගලයා මරණාසන්නයේ දී කළ ප්‍රකාශය සනාථ කරන්න කරුණු තිබුණේ නැහැ. කිසියම් පිරිසක් බලහත්කාරයෙන් වස පෙවූ බවට සනාථ කිරීමට කරුණු තිබුණේ නැහැ. ඇත්තෙන් ම මෙවැනි පරික්ෂණවලදී සිද්ධිමය කරුණු ඉතා වැදගත් මියගිය පුද්ගලයාගේ සිරුරේ බාහිර ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් වස පෙව්වාද? වස බිව්වාද කියා සොයා ගන්න පුළුවන්“ යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කීවේය.
මෙකී කතාවේ සත්‍ය තත්ත්වය අනාවරණය වන්නේ මේ අයුරිනි.
මියගිය තිදරු පියා අපි 'සිරිපාල' යැයි කියමු. හේ වඩු කාර්මිකයෙකි. සිරිපාලගේ කියතක් ඔහුට වස පෙවූ බව කියන සිවුදෙනාගෙන් අයෙකු විසින් ඉල්ලාගෙන තිබුණි. සති කිහිපයක් ගතවිය. කියත ගෙනවිත් දෙන ලෙස සිරිපාල කීප වතාවක්ම ඔහුට කීවේය. එහෙත් සිරිපාලට කියත ලැබුණේ නැත. මේ නිසා ඔහු දැඩි කෝපයට පත්ව සිටියේය.
“මම හම්බකරගෙන කන ආයුධ කාටවත් දෙන්නේ නැහැ. හිතවත්කමට තමයි කියත දුන්නේ“ සිරිපාල මේ අය හමුවී කීවේය.
“කියත දෙන්නේ නැහැ... අපි උල තියන්නද? පුළුවන් දෙයක් කරන්න“ මෙහි සිටි අයෙක් සිරිපාලට කීවේය.
මේ කතාවෙන් සිරිපාලට යකා නැග්ගෙය. කියත සම්බන්ධයෙන් දේපාර්ශ්වය අතර ඇතිවු ආරවුල ගැටුමක් බවට පත්වීමට වැඩි වෙලාවක් ගත වූයේ නැත. පිරිසේ සිටි අයෙක් සිරිපාලට පහරවල් කිහිපයක් ගැසුවේය. ආඩම්බරකාරයෙකු වූ සිරිපාල මේ නිසා දැඩි ලැජ්ජාවට පත්විය. සිරිපාලට පහර දුන් පුවත ළැව් ගින්නක් සේ ගම පුරා පැතිරී ගියේය. මේ නිසා සිරිපාල මානසිකව දැඩි පීඩාවකට ලක්ව සිටියේය. හේ වෙළෙඳසැලකට ගොස් කෘමිනාශක බෝතලයක් මිලදී ගත්තේය.
වස බෝතලයෙන් ස්වල්පයක් පානය කළ සිරිපාල නිවසට ගියේය. කොටින්ම කිවහොත් සිරිපාල වස පානය කළේ දිවි හානිකර ගැනීමේ අරමුණින්ම නොවේ.
“සෝමේ චුට්ටේ, පොඩ්ඩේ එකතුවෙලා මට පහර දීලා වස පෙව්වා.“ සිරිපාල බිරියට කීවේය. සිරිපාල රෝහල් ගතකොට දින හතකට පමණ පසු මිය ගියේය.
විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් මේ සම්බන්ධව විවෘත අධිකරණයේ දී ලබාදුන් සාක්ෂිය නිසා සිරිපාල කෘමිනාශක පානය කොට දිවි හානිකර ගැනීමෙන් ඔහුගේ මරණය වී ඇති බවට තීන්දු කෙරුණි. සාවද්‍ය නිගමනවලට එලඹීමෙන් නිර්දෝෂි පුද්ගලයින්ට පවා නීතියෙන් දඬුවම් ලැබීමේ අවස්ථා උදාවිය හැකි බව මේ තුළින් පැහැදිලි වන්නේය. ඒ විතරක් නොව අපරාධයක සුලමුල අනාවරණය කරගැනීමේ දී මෙන්ම සැබැවින්ම අපරාධයකට සම්බන්ධ නොවු පුද්ගලයින්ට කිසියම් අපරාධයක් සම්බන්ධව චෝදනා එල්ලවු අවස්ථාවන්වලදී ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යවෙන් ඉටු වන්නේ සුවිශේෂී වූ කාර්යභාරයකි.