![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/02/01/6.jpg?itok=wils9Kpg)
“ට්‍රීක්... ට්‍රීක්...” “මැනේජර් මහත්තයා.. මම රෙස්ට් හවුස් එකේ දහඅට කාමරෙන් කතා කරන්නේ...” එම කාමරයේ ලැගුම් ගෙන සිටින්නේ අලෙවි විධායක නිලධාරියෙකි. ඇමතුම ලැබෙන්නේ ඔහුගෙනි.
“මේ... මම කාමරේ බැල්කනියේ... සූම් කොන්ෆරන්ස් එකකට ලොග් වෙලයි හිටියේ. මට එක සැරේ විලාපයක් වගේ මහ සද්දයක් ඇහුණා අල්ලපු කාමරෙන්... ගෑනු මනුස්සයෙක් අඬ අඬා කාටදෝ මොකක්ද විස්තරයක් කියනවා වගේ...” අලෙවි විධායකයාගේ කතාවෙන් මම ගල්ගැහුණා සේ විය.
“පොඩ්ඩක් ඒ සද්දෙ නවත්තන්න බලන්න බොස්.. අපේ ෆොරින් ක්ලයන්ට්ස්ලාත් ඒ සූම් කන්ෆරන්ස් එකට ලොග් වෙලයි ඉන්නේ. ඉතින් ඒ වගේ සද්ද ඇහෙන එක හරි නෑ...” එසැණින් වේටර් නිශාන්ත මගේ කාමරයට ඇතුළු වුණා.
“ඔව් සර්... අවුල මේකයි... ඒ කෝල් කරපු කාමරේට අල්ලපු කාමරේ ඉන්නෙ ඊයෙ හවස ආපු කපල් එකක්... ඒකෙ මහත්තයා එළියට ගිහිල්ලාලු... මම කීවා ඒ ගෑනු කෙනාට දවල් එකොළහවත් වෙද්දි අපට කාමරේ අවශ්‍යයි කියලා... මෙන්න බොලේ එතකොට ඒ ගෑනු කෙනා මහා සද්දෙන් මට හෑල්ලක් කියාගෙන අඬා වැටෙන්න පටන් ගත්තා... ඔව් සර්... ඒ ගෑනු කෙනා එක්ක ආපු මහත්තයා කවුදෝ මනුස්සයෙක් හම්බ වෙන්න උදේම බයික් එකෙන් පිටත් වෙලා ගියාලු... ඉතින් තාම ඇවිල්ලත් නැතිලු... දැන් ෆෝන් එකත් වැඩ නැතිලු... එහෙම කිය කියා මහ සද්දෙන් විලාප ගහන්න තියාගත්තා...“
“හරි ඔයා ආයෙමත් ගිහින් මම කීවය කියලා කියන්න.. අද දවල් ඉඳලා රෑ තුනකට වෙන කට්ටියක් ඔය කාමරේ මුදල් ගෙවලා රිසව් කරලා තියෙන නිසා අනිවාර්යයෙන් අපිට කාමරේ ඕනේ කියලා. මහත්තයා එන්න ලේට් වෙනවානම් කාමරෙන් චෙකවුට් වෙලා තානායමේ ලොබියෙ වාඩි වෙලා ඉන්න කියලාත් කියන්න...”
මගේ පණිවුඩය රැගෙන ආපසු හැරුණ නිශාන්ත විනාඩි දෙක තුනක් ගත වන්නට මත්තෙන් නැවත පැමිණියා.
“මාර වැඩේ සර්... ඒ ගෑනු මනුස්සයා කියනවා එයාගෙ අයියත් ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් නිසා අයියා අඳුනන වීල් ඩ්‍රයිවර් කෙනෙක් එහෙම එයා තානායමේ වාඩි වෙලා ඉන්නවා දැක්කොත් විනාසයිලු...”
“ඒකත් එහෙමද...? එතැනදි ඉතින් අපිට කරන්න දෙයක් නෑ... උපරීමේ දවල් දොළහ වෙනකම් කාමරේ ඉන්න දෙන්නම් කියන්න...”
මම අවසන් නිවේදනය නිකුත් කළා.
“මාර වැඩේ නේ සර්... මම ඒ ටික කීවා. ඒ ගෑනු මනුස්සයා වැළහින්න වගේ ආයෙමත් අඬා වැටෙන්න ගත්තා..”
“එහෙම කියලා බෑනේ...” මමත් වේටර් නිශාන්තත් කාමර පරිශ්‍රය වෙත ඇවිද ගොස් දහඅට කාමරයේ දොරට තට්ටු කළා. දොර විවර වුණා. දුක් වින්ද සලකුණු සහිත මුහුණකින් හෙබි, පෘෂ්ටිමත් අඟපසඟකින් යුතු හතළිස් වැනි විය පසු නොකළ පෙනුමැති ගැහැනිය විමතිය රැඳි දෑසින් මා දෙස බලා සිටියා.
“අපේ රෙජිස්ටරේ තියෙන ඔයාගෙ මහත්තයාගෙ නම සනත් නේද? කෝ එයා...?”
“අනේ ඔව් සර්... එයා උදේ හයට විතර කාමරෙන් පිටවෙලා බයික් එකෙන් ගියේ. මේ කිට්ටුව මුදලාලි කෙනෙක් හම්බ වෙලා එයා වැඩ ඉවර කරපු ගෙවල් වයරින් වැඩක සල්ලි වගයක් ඉල්ලගෙන එන්නය කියලා... අර බලන්න.. අද උදේට කාමරේට ගෙනැත් දුන්න කෑම... ඉතින් එයා උදේට කෑවෙ නැති නිසා මටත් කන්න විදියක් නෑ...”
“දැන් මේ උදේ කෑම නරක් වෙන්නත් ඇවිත් ඇති. මිස් මේ කෑම කාලා ඉන්න...” මම උපේක්‍ෂා සහගතව කීවා.
“කන්න බෑ සර්... මම දැන් පැය ගාණක් තිස්සේ කෝල් ගහනවා. සනත් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ...”
“හරි... අපි බලමු.. ඔයා අපිට දවල් දොළහටවත් කාමරේ බාර දෙන්න. අද අපේ කාමර ඔක්කොම කල්තියා බුක් වෙලයි තියෙන්නේ. මම ඒ බව ඔයාලාට කාමරේ දෙන වෙලාවෙදිත් කීවා...”
“..අනේ ඇයි ඔබතුමා මේ තනිවෙච්ච ගෑනියෙක්ව මෙහෙම එළවලා දාන්න හදන්නේ... අනේ මගේ ලොකු කෙල්ල මේ සැරේ උසස් පෙළ ලියනවා.. අතේ සත පහක් නෑ... ඔය සනත් කියන මනුස්සයා කාගෙන්දෝ සල්ලි වගයක් ඉල්ලලා දෙනවය කීව පොරොන්දුව නිසාමයි මං මේ රැය ගෙවන්න තානායමට ආවේ...”
“ට්‍රීක්... ට්‍රීක්...” සංවාදය අතරේම ඇගේ ජංගම දුරකතනය නාද වුණා.
“අම්මෝ ඇති... මෙන්න සනත් කතා කරනවා...” “හලෝ...සනත්... තමුන් කොහේද මේ වෙලාවෙ ඉන්නේ..?”
දුරකතනය එහා කෙළවරින් ඇසුණේ පුරුදු කටහඬ නොවේ.
“ආ...සනත් නෙමේද? එතකොට සනත්ගෙ ෆෝන් එකෙන් කතා කරන ඔයා මේ කවුද? කෝ අනේ සනත්? එයාට දෙන්නකෝ...” ගැහැනිය පින්සෙණ්ඩු වූවාය.
“සනත් මේ ළඟ ඉන්නවා. ඊට කලියෙන් කියන්න ඔයා දැන් කොහේද ඉන්නෙ...?”
“මං තානායමේනේ... එයා එනකම් උදේටත් නොකා මේ කාමරේට වෙලා බලා ඉන්නවා. ඔයා කවුද? අනේ සනත්ගේ ෆෝන් එක එයාට දෙන්නකෝ...”
“හරි... ඊට කලියෙන් බලන්න ඔය කාමරේ සනත් නිදාගත්ත කොට්ටෙ යට... පොඩි පාර්සලයක් තියෙනවද කියලා...“ වේටර් නිශාන්තත් මමත් තක්බීර් වෙලා මේ වෙන්න යන දේ බලා හිටියා.
“තියෙනවා... තියෙනවා.. පන්දාහෙ කොළේකුයි. අයිඩින්ටියයි... ලයිසන් එකයි..තව... බයික් එකේ ඉන්ෂුවරන්ස් එකද කොහෙදයි.. මොනවද තව රිසිට් වගයකුයි.. අනේ ඉතින් දැන්වත් සනත්ට දෙන්නකෝ...”
“බීප්.. බීප්.. බීප්..”
“අයියෝ... මොකද්ද ඒ කළ බලු වැඩේ... අනේ සනාත්...” ගැහැනිය විලාප නඟමින් හඬා වැටෙන්නට වුණා.
“සර්... සර්... ටක්ගාලා ඔෆිස් එකට යන්න... ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක්... ලොකු හදිසියක්ලු... ලයින් එකේ ඉන්නවා. කවුද කීවෙ නෑ...” පිළිගැනීමේ නිලධාරිනිය කාමරය අසලට දිවවිත් කීවා. මමත් නිශාන්තත් දහඅට කාමරයෙන් මගේ කාර්යාල කුටිය වෙත දිව ගියා.
“හලෝ... ඔව්... ඔව්...“
“රායිට්... මැනේජර් මහත්තයා. අපි පොලිසියෙන්... මීට පැය දෙක තුනකට කලින් ටවුමේ හාඩ්වෙයාර් කඩයක් ළඟ දෙන්නෙක් ගුටිබැට හුවමාරු කරගන්නා බවට වන් වන් නයින් ඇමතුමක් ආවා. ගිහින් බලද්දි කොන්ත්‍රාත්කාරයෙක් හාඩ්වෙයාර් මුදලාලි කෙනෙක් එක්ක සල්ලි චෙක් හුටපටේකට ගුටි ගහගෙන... කොන්ත්‍රාත්කාරයා උල් අයුධේකින් හාඩ්වෙයාර් මුදලාලිට අනින්නත් හදලා... අපි ඒ කොන්ත්‍රාත්කාරයව ඇරෙස්ට් කළා. මෑන් බයික් එකකින් ආවට එයා ළඟ ලයිසන් ඉන්ෂුවරන්ස්වත් නෑ. මුලින්ම කීවෙ ඒවා කිසි දෙයක් තමාට නෑ කියලා.
පස්සෙදියි ඇත්ත කීවේ. ලයිසන් ඉන්ෂුවරන්ස් විතරක් නෙමෙයි එයා එක්ක ආපු ගෑනු කෙනත් තානායමේ ඉන්නවය කියලා. ඉතින් අපිට ඒ ගෑනු මනුස්සයාගෙනුත් සමහර විට ඔබතුමාගෙනුත් ප්‍රකාශ සටහන් කරගන්න තියෙනවා. අපි මේ දැන් එන ගමන්. එතකම් ඔය ගෑනු මනුස්සයට සිද්ධිය කියන්නත් එපා. ඒ මනුස්සයව යවන්නත් එපා.“ එසැණින් පොලිස් ජීප් රිය තානායම් මිදුලේ නතර වුණා. එහි පසුපස අසුණේ සිට බිමට බට පිරිමියාගේ දෑතේ මාංචු යුගලය තානායම් මිදුලේ දිවා හිරු රැසින් දිලිසුණා.
“කියන්න මේ තැනැත්තියගෙ සම්පූර්ණ නම...“ පොලිස් නිලධාරියා කටඋත්තරය ලියාගන්නට සටහන් පොත දිග හැරියා.
“අනේ බුදු මහත්තයෝ... මගේ ලොකු දුව මේ සැරේ උසස් පෙළ ලියනවා...” ඇය නැඟූ විලාපය පාළු තානායම් ආලින්දයේ දෝංකාර දුන්නා. පොලිස් නිලධාරියා ඒ හඬට සාවධානව සවන් දුන්නා.
“අපි සිදු කරන්නේ හාඩ්වෙයාර් හිමිකරුවෙකුත් කොන්ත්‍රාත්කරුවෙකුත් අතර ඇතිවූ ආරවුලක් පිළිබඳ විමර්ශනයක් විතරයි... එහිදී තමුන් මේ සිද්ධියට පැටළෙන්නේ සැකකරුගේ රියැදුරු බලපත්‍රය, වාහන රක්‍ෂණ සහතිකය, හැඳුනුම්පත ආදිය ගැටුම සිදුවන අවස්ථාවේ තමුන් භාරයේ තිබුණු නිසයි. ඒ නිසා අපේ දෙපාර්තමේන්තුව, උසස් පෙළ ලියන ඒ දරුවට කිසිදු අගතියක් සිදුවන්න ඉඩ තියන්නේ නෑ...“ ඇගේ ඉකිබිඳුම කෙමින් නිවී ගියා.
එනිසාදෝ අපේ හිසට ඉහළින් කැරකෙමින් තිබූ තානායම් ආලින්දයේ සිවිලිම් විදුලි පංකාවේ හෝ හඬ අප කාටත් හොඳින් ඇසෙන්නට පටන් ගත්තා.