
ඉන්දියා ශ්‍රී ලංකා මාස්ටර් මලල ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් 4ක් රටට දිනා දෙයි
කොස්තාපල් 7578 ජේ.එම්. නිර්මලා සුභාෂිණී ජයවර්ධන ක්‍රීඩාවෙන් ලැබූ ජයග්‍රහණ අපමණකි
පොලිසිය පැමිණිලි විභාගයට වෙන්වූ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන දඟගෙයි ලන ආයතනයක් පමණක්ය යන හුදු මතය ගම් මට්ටමින් පමණක් නොව නගර මට්ටමින්ද තවමත් දුරලිය නොහැකි තරමට ඔඩු දිවූ සංකල්පයක් වී හමාරය. පොලිසියේද සිටින්නේ මනුෂ්‍යයින් බව බොහෝ දෙනෙකුට අමතකව තිබීම මෙම දුර්මතයට ප්‍රධානතම හේතුව බව අවිවාදයෙන්ම පිළිගත යුතුව තිබේ.
ඉතා කලාතුරකින් මනුෂ්‍යයෙකුට පිහිටන අපූර්ව වූ දක්ෂතාවන් පොලිසියේ සිටින එවන් මනුෂ්‍යයින්ටද පිහිටා තිබිය හැක. නමුත් එවන් හැකියාවක් උරගා බැලීමට සමාජයේ නිදහසේ වෙසෙන ඔබට මට මෙන් නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය වැනි ආයතනයක රාජකාරි කරන්නෙකුට නිදහසක් නොමැත. විසිහතර පැයේම මහජන ආරක්ෂාව වෙනුවෙන් සේවයට කැපව සිටින ඔවුහු තමන් සතු හැකියාවන් උපන් ගෙයිම වළලා, ඒ සියල්ල අමතක කර රාජකාරිය වෙනුවෙන් කැප වෙති.
රාජකාරි ස්ථානයේ ප්‍රධානීන්ගෙන් ලද නොමඳ සහාය හේතුවෙන් පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු 'ඉන්දියා - ශ්‍රී ලංකා මාස්ටර් මලල ක්‍රීඩා උලෙළේදී' ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් තමන් සහභාගි වූ සියලු තරග ඉසවුවලින් රන් පදක්කම් හතරක් දිනා ගනිමින් මෙරටට අතිමහත් වූ කීර්තියක් ගෙන ඒමට පොලිස් කොස්තාපල්වරියක් සමත් වූවාය.
ඉංගිරිය, බොරළුගොඩ පිටිසර ග්‍රාමයේ පදිංචිව ඉංගිරිය පොලිසිය නියෝජනය කරමින් මෙලෙස තරග බිමට ගොස් සුවිසල් ජයග්‍රහණයක් ලබා ගත් ඇයට රතු පලස් පාවඩ එළීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුවද සැබැවින්ම ඇය ලබාගත් ජයග්‍රහණය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම මහත් වූ අබිමානයකි.
ඇය නමින් ඉංගිරිය පොලිසියේ කොස්තාපල් (7578) ජේ.එම්. නිර්මලා සුභාෂිණී ජයවර්ධනයි. අවුරුදු 30 - 35 වයස් කාණ්ඩයෙන් තරග වැදුණු ඇය සහභාගි වූ තරග ඉසවු ගණන හතරකි. මීටර් 100 සහ මීටර් 200 දිවීම, දුර පැනීම මෙන්ම තුන් පිම්ම යනාදී ලෙස ඇය සහභාගි වූ ඉසව් හතරෙන්ම රන් පදක්කම් දිනා ගැනීම සැබැවින්ම පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසය අලුත් කරවමින් තැබූ ඉතිහාසගත වාර්තාවකි. ගෙල රන් පදක්කමින් සරසා ගැනීමට තරම් ඇය වාසනාවන්ත වූවද නිර්මලා මෙතෙක් පැමිණි දුර රන් මාලා පැලඳ, රෝස මල් ඇතිරූ මාවතක පැමිණි ගමනක් නම් නොවේ.
"මම මේ රන් පදක්කම් ගත්තේ මාව පුහුණු කරපු සර්ගෙ සපත්තු දෙක දාගෙන දුවලා...." ඇය පවසාලූ වදන් පෙළ කාරුණික හදවත් ඇත්තන්ගේ හද ගැස්ම මොහොතකට නතර කිරීමට තරම් සමත්ය. එවන් දුෂ්කරතා මැද කටු කොහොලින් පිරි දුෂ්කර මාවතක් ජය ගත් ඇයගේ උපන් ගම අනුරාධපුර, මහවිලච්චියයි.
"මගේ තාත්තා නෑ. පුංචි කාලෙම නැති වෙලා. මගෙ අම්මා තමා මගෙ හැමදේටම පස්සෙන් හිටියේ..." නිර්මලා සිය කතාව ආරම්භ කළේ එලෙසිනි.
අනුරාධපුර, මහවිලච්චිය තක්ෂිලා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු නිර්මලා පහ වසර ශිෂ්‍යත්වයෙන් පසුව ක්‍රීඩා අංශයෙන් පාසලට නැතුවම බැරි චරිතයක් වූයේ පය තබන තබන සියලු තරග ඇය ඉහළින්ම ජයගත් බැවිනි. පාසල් අධ්‍යාපනයෙන් පසු 2010 වසරේදී ආධුනික කොස්තාපල්වරියක ලෙස කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූ ඇය අවුරුදු තුනක් එහි ලැබූ මූලික පුහුණුවෙන් පසු ගාල්ල නාගොඩ පොලිසියට අනුයුක්ත කළාය. සුළු කාලයකට පමණක් නාගොඩට සීමා වූ ඇගේ සේවා ජීවිතයේ නව පිටුවක් පෙරළුණේ ජනාධිපති ආරක්ෂක අංශයේ ක්‍රීඩා අංශයට ඇතුළත් වීමෙන් පසුය. වසර හතරක් අවසානයේ 2014 වසරෙහිදී සිය උපන් ගම වූ විලච්චිය පොලිසියට ස්ථාන මාරුවීම් ලද නිර්මලා සිය ක්‍රීඩා ජීවිතයට එතැනින් තාවකාලික විරාමයක් තැබුවාය. ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය, නීති විරෝධී මත්පැන්, කාන්තා අතවර සිද්ධීන් ඇතුළුව එහිදී ඇය විසින් විමර්ශනයට දායක වූ අපරාධ සිදුවීම් රැසකි.
තම උපන් හැකියාවට තිත තබමින්, උපන් ගමේ නීතිය සාධාරණය වෙනුවෙන් කැපවීමක් කළ ඇය 2019 වසරේදී පොලිස් ශිෂ්‍යභට කණ්ඩායමේ උපදේශකවරියක් ලෙස කටයුතු කළාය. එහි අවුරුද්දක සේවා කාලයකින් පසු කළුතර කොට්ඨාසයේ තෙබුවන පොලිසියට මාරුවීම් ලද නිර්මලා 2020 දී සිය දිවි ගමනේ නව පිටුවක් පෙරළූයේ ඉංගිරිය පොලිසියට ස්ථාන මාරුවීම් ලැබීමෙන් පසුවය.
වසර ගණනාවක් නවතා තිබූ ඇගේ ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ වූයේ එතැන් සිටය. නිර්මලා සතු අපූර්ව වූ ක්‍රීඩා කුසලතාවන් මනාව හඳුනාගත් පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ඒ පිළිබඳව හොරණ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර දැනුවත් කිරීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට නැවත ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වීමට අවස්ථාව ලැබුණි.
වත්මන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රපාලගෙන්ද ඒ සඳහා ඇයට ලැබෙන්නේ මහත් අනුබලයකි. පසුගියදා ඇය අප රටට ලබා දුන් කීර්ති ප්‍රශංසා සියල්ල හිමි වීමට රාජකාරි ස්ථානයේ ප්‍රධානීන්ගෙන් ඇය ලද අනුග්‍රහය ප්‍රබල සාධකයක් බව සඳහන් කළ යුතුමය.
නිර්මලා සිය ක්‍රීඩා පුහුණු වීම් සිදු කරනුයේ පාණදුර නගර සභා ක්‍රීඩාංගණයේය.
එලෙස පුහුණුවීම් කිරීමට අවශ්‍ය ‘ඩෙක්ෂූස්‘ වර්ගයේ සපත්තු ඇයට නොමැත. එසේම තරග සඳහා සහභාගි වූ විට භාවිත කෙරෙන විශේෂිත සපත්තු යුගලක්ද ඇයට නැත.
"ඒ එක සපත්තු ජෝඩුවක් රුපියල් තිස්දාහක් විතර වෙනවා. තරගවලට ගියාම දුවද්දි දාන්න සපත්තු දෙක මට දෙන්නෙ මට පුහුණුවීම් කරන සර්..." කළුතර පොලිස් කොට්ඨාසයේ විශේෂ කාර්යාංශයේ කළුතර දිස්ත්‍රික් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සොයිසා ඇගේ පුහුණුකරුය. පසුගියදා ඉන්දියාව පරදා ඇය ජයග්‍රහණ ලබා ගත්තේ ඔහු ලබා දුන් පාවහන් යුගල පැලඳය. “ඒ වගේම ඉංගිරිය පොලිසියට අනුයුක්ත පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිමල්සිරි සර්ගෙනුත් මට ලැබෙන්නෙ පුදුමාකාර සහයෝගයක්. මේ හැමෝම රාජකාරි වේලාවේදී මට උදවු කරනවා වගේම ගෙදරදී මගෙ සැමියාගෙන් මට ලැබෙන්නෙ වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක්...“ නිර්මලා පැවසුවේ සිනාවකින් මුව සරසාගෙනය.
මෙම ජයග්‍රහණයට අමතරව ඇය විසින් ලබාගත් ජයග්‍රහණ රැසකි. ඉන් ප්‍රධාන පෙළේ ජයග්‍රහණ ගැන සඳහන් කළහොත් 2010 වසරේදී පැවති එල්.එස්.ආර්. කලම්බෝ මැරතන් තරගයේ රටවල් 14ක් පරදා ඇය ප්‍රථම ස්ථානය ලබා ගත්තාය. එහිදී කිලෝ මීටර් 21ක් දුර දිව ගොස් ජයග්‍රහණය හිමිකර ගත් ජයවර්ධන හා දෙවන ස්ථානය දිනාගත් බෙල්ජියම් ක්‍රීඩිකාව අතර පැයකුත් විනාඩි 20ක වාර්තාගත කාල අන්තරයක් පැවතීම විශේෂයෙන් කැපී පෙනුණු කරුණක් විය. 2009 වසරේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු තරගාවලියේදී මීටර් 1500, මීටර් 5000 සහ මීටර් 10,000 යන තරග ඉසවු තුනෙන්ම ඇය දෙවන ස්ථානය දිනාගත්තාය. එසේම පොලොන්නරුවේ පැවති කාල්ටන් මැරතන් තරගයෙන් නිර්මලා දෙවන ස්ථානයත්, 2022 දෙසැම්බර්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය සේවා ක්‍රීඩා උලෙළේදී දුර පැනීම, තුන් පිම්ම යන ඉසවුවලින් තෙවන ස්ථානයත්, මිටර් 400 තරගයෙන් දෙවන ස්ථානයත් හිමි කර ගත්තාය.
"මම ඉන්දියාව පරද්දලා ගත්ත ජයග්‍රහණෙන් මට අවස්ථාවක් ලැබුණා එන පෙබරවාරි 10 ඉඳලා 13 වෙනකල් ඉන්දියාවේ බැංගලෝර්වල පැවැත්වෙන ප්‍රවීණයින්ගෙ මලල ක්‍රීඩා උලෙළට සහභාගි වෙන්න. ඒත් ඒකට යන්න ටිකට් එකම ලක්ෂෙකට වැඩියි...." නිර්මලා පැවසුවේ සුසුමක්ද හෙළමිනි.
පුහුණුකරුගේ සපත්තු යුගලෙන් තරග කළ, පුහුණුවීම් අතරතුර දැමීමට සුදුසු සපත්තු යුගලක්ද නොමැති, සුපිරි පෙළේ ධනවත් ක්‍රීඩකයින් ගන්නා පෝෂණ අතිරේක පවා අහිමි නිර්මලාගේ බැංගලෝර් සිහිනය මල්ඵල ගැන්වීමට සමත් අයෙකු වේ නම් එය සැබවින්ම මහත් සද් ක්‍රියාවක් සේම අප මවුරට ලබන මහත් භාග්‍යයක් බව සඳහන් කිරීම වටී.